Duty Free සාප්පු වහන්න වෙයිද?
- August 21, 2022
- No Comment
- 40
ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන පාලක විසින් ආනයනය සීමා කර ඇති භාණ්ඩ විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංික ගුවන් මගීන්ට ද තමන්ගේ ගමන් බඩු සමඟ ගෙන ඒම පසුගියදා තහනම් කර තිබුණි. ඒ අතරේම ගුවන් තොටුපොළ තීරු බදු රහිත භාණ්ඩ වෙළෙඳාම බිඳවැටීමේ අවදානමක් ද මතුව ඇතැයි ඉකුත් සතියේ වාර්තා පළ විය. පසුගිය සතියේ දේශය අපි ද මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළෙමු.
එහි දිගුවක් ලෙසම ගුවන්තොට තීරු බදු රහිත වෙළෙඳාම පිළිබඳ සහ ඒ ආශ්‍රිතව සිදුවන අකටයුතුකම් පිළිබඳ ද මෙහිදී සුවිශේෂී අනාවරණක් සිදුවේ. ඒ උදෙසා අපි විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයකු සම්බන්ධ කර ගතිමු. ඔහු රේගූ විෂය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයන රැසක් සිදු කළ විශේෂඥයෙකි.
මෙරට ගුවන් තොටුපොළ තුළ දැනට සිදු කරගෙන යන තීරු බදු රහිත වෙළෙඳාම ඇසුරේ විවිධ නෛතික සීමාවලට යටත්ව ගුවන් මගීන්ට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත් එම භාණ්ඩ අදාළ වෙළෙඳසල් සහ ආයතන විසින් ආනයන කරනු ලබන්නේ තොග වශයෙනි. එම නිසාම ආනයනය කිරීමේ සීමා උදෙසා පනවා ඇති නව රෙගුලාසි තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණයට ද බලපැවැත්වෙයි.
විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ආකාරයට ගුවන් තොටුපොළ තීරු බදු සහිත භාණ්ඩ වෙළෙඳාම බිඳවැටීමේ අවදානමක් මතුව ඇත්තේ එබැවිනි. ඔහුගේ පැහැදිලි කිරීම අනුව සැබැවින්ම තීරණ ගැනීමේදී බලධාරීන් විසින් පෙන්නුම් කරනු ලබන දුර්වලතා මීට හේතුවක් වී පිළිබඳ යන්න අපට සැකයක් මතු වේ.
කෙසේ වෙතත් ඒ මහතා මෙහිදී සිය වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් තීරු බදු රහිත වෙළෙඳාම පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය කරයි.
“මේ තීරු බදු රහිත කඩසාප්පුවල බඩු විකුණන්නෙ සිල්ලරට බව ඇත්ත. නමුත් ඒවාට ඔවුන් භාණ්ඩ ගෙන්වන්නේ තොග වශයෙන්. රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර ආදියට තමා ලංකාවේ මේ වෙළෙඳපොළ ඇතුළේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඒ නිසාම ඔවුන් මේ වගේ විද්‍යුත් උපකරණ පනහ සීය තොග වශයෙන් ආනයනය කරනවා. මේ සීමා කිරීම ඇතුළේ ඒ සඳහා අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා තීරු බදු රහිත වෙළෙඳාම බිඳවැටීමේ අවදානමක් තිබෙනවා.”
මේ අතර ආනයන පාලක විසින් ආනයනය කිරීම සීමා කර ඇති භාණ්ඩ විදේශගතව ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට තමන්ගේ ගමන් බඩු සමඟ ගෙන ඒම තහනම් කිරීම පිළිබඳ මතුවන්නේ ගැටලුවකි. කෙසේ වෙතත් මෙම තීරණයට බලධාරීන් යොමු වී ඇත්තේ ත්‍යාග සහ ගමන් භාණ්ඩ ලෙස ගුවන් මගීන් වෙළෙඳ භාණ්ඩ රැගෙන ඒමේ අවදානම මහරවා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය.
එහෙත් විශ්‍රාමික රේගු නිලධාරියා මෙහිදී පෙන්වා දෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයකු විදේශයකදී උපයාගත් විදෙස් විනිමය භාවිත කොට තමන්ගේ හෝ පවුලේ පරිහරණය සඳහා මිලදී ගෙන ලංකාවට රුගෙන එන භාණ්ඩ සම්බන්ධ තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම උචිත නොවන බවකි.
“ඒ දේවල් තමන් උපයා ගත්ත විදේශීය විනිමයෙන් භාවිත කරලා ශ්‍රී ලාංකිකයෝ ගෙන එන භාණ්ඩ. ඒවා ගෙන ඒම තහනම් කරන්න කාටවත් බෑ. ඒක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. තමන්ගේ පාවිච්චියට ඔවුන්ට රැගෙන ආ හැකි භාණ්ඩ පරිමාව සම්බන්ධව කෝටාවක් තියෙනවා. ඒවා රැගෙන එන ගමන් බඩු සහ ත්‍යාග භාණ්ඩ විදියට යම් අයෙක් වෙළෙඳ අරමුණකින් භාණ්ඩ රුගෙන එනවා නම් රේගුවට ඒ සම්බන්ධව කටයුතු කරන්න නීති ප්‍රතිපාදන තියෙනවා.”
තමන් වෙනත් රටකදී උපයාගත් මුදලින් නෛතික සීමාවලට යටත්ව තම භාවිතය සඳහා යම් භාණ්ඩයක් රුගෙන ඒමට පුරවැසියන් සතු අයිතිය ආරක්ෂා කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම භාණ්ඩ සඳහා ලංකාව සතු විදේශ විනිමය වැය නොවෙයි. එසේම ඔවුන් වෙනත් රටවලදී උපයාගත් එම මුදල් සම්බන්ධ සීමා පැනවීම සදාචාරාත්මක ද නොවේ. එනිසාම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම තහනම සාධාරණ නොවන බවකි. සැබැවින්ම මෙම තහනම සඳහා ආනයන පාලක සතු බලය ඒ මහතා ප්‍රශ්න කරයි.
මේ අතර තීරු බදු රහිත වෙළෙඳාම සම්බන්ධව මෙම සංවාදයේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. මෙහිදී විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ රෑපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර වැනි විද්‍යුත් උපකරණ වෙනත් රටවල තීරු බදු රහිත වෙළෙඳසල්වල අලෙවි නොකරන බවකි.
“වෙනත් බොහෝ රටවල තීරු බදු රහිත වෙළෙඳසල්වල තියෙන්නේ සුවඳ විලවුන් වර්ග, ජනප්‍රිය වෙළඳ නාමවලට අයත් ඇඳුම් පැළඳුම්, වටිනා අත්බෑග්, අත් ඔරලෝසුව, විස්කි වර්ග, සිගරුට් ආදිය. අපේ වගේ ලොකු ලොකු විද්‍යුත් උපකරණ විකුණන්නේ නෑ. සාමාන්‍යයෙන් ලංකාවට එන විදේශිකයෝ ඔය ලොකු ලොකු දේවල් මිලදී ගන්නෙත් නෑ. විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට එන අවස්ථාවල තමයි යම් මිලදී ගැනීමක් සිදු වෙන්නේ. නමුත් විදෙස්ගත ශ්‍රමිකයන්ට මුවාවෙලා මෙම තීරු බදු රහිත වෙළෙඳසල් හරහා වංචනික කටයුතු රැසක් සිදු වෙනවා.”
ඔහු සඳහන් කරන පරිදි විවිධ ඒජන්තවරු ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ ඇති තීරු බදු රහිත වෙළෙඳසල් වෙත පෞද්ගලිකව මුදල් යොමු කරති. අනතුරුව ඔවුහු බ්‍රෝකර්වරුන් මගින් විදෙස්ගත වී සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධ කර ගනිති. ඔවුනට හිමි කෝටාව භාවිත කරමින් ඒජන්තවරුන්ගේ මුදලින් තීරු රහිත භාණ්ඩ ගුවන් තොටුපොළින් පිට වේ.
පසුගිය සතියේදීද මේ හා සම්බන්ධ සිදුවීම මාධ්‍ය වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් බහුතරය නීතියේ රුහැනට හසු නොවෙති. මෙහිදී සාමාන්‍ය කෙනකුට පෙනෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් අදාළ භාණ්ඩ සිය පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් ආකාරයකි.
නමුත් සැබවින්ම සිදුවන්නේ ඔවුනට සොච්චම් මුදලක් ගෙවා ඒජන්තවරුන් වංචනික ලෙස අධික ලාභ ලබාගැනීමේ අරමුණින් තීරු බදු රහිත භාණ්ඩ තමන් වෙත ලබා ගැනීමයි. සිය රාජකාරි අත්දැකීම් ඇසුරින් තීරු බදු රහිත වෙළෙඳාම තුළ සිදුවන අකටයුතුකම් රුසක් පිළිබඳ හිටපු රේගු අධ්‍යක්ෂවරයා අපවෙත තොරතුරු අනාවරණය කරයි.
“මීට අවුරුදු ගණනාවකට කලින් මම හිටියා රමඩා එකේ. කොම්පඤ්ඤවීදිය රේගුව තියෙන කාලේ දුර පළාත්වල මිනිස්සුන්ව අල්ලගෙන පාස්පෝට් එකේ තියෙන තීරු බදු රහිත වටිනාකමට බඩු ගන්නවා. ඇතුළෙන් එළියට ගෙනාවම ඒ බඩු ටික අර මිනිස්සු ගන්නවා. රස්තියාදු වුණාට අර දුර පළාත්වල මිනිස්සුන්ට කීයක් හරි ගෙවනවා. ගුවන් තොටුපොළේදි වෙන්නෙත් ඕකම තමා. මම සමහරු හරවලා යවලා තියෙනවා. භාණ්ඩ තහනම් කරලා තියෙනවා. හසුවුණු භාණ්ඩ අදාළ තීරු බදු රහිත වෙළෙඳසල්වලට රිටන් කරලා තියෙනවා. ඒත් ඒක අමාරු වැඩක් ඔය වගේ තැන්වල නිලධාරීන්ට තියෙන කාර්යබහුල බව එක්ක.”
දීර්ඝ සංවාදය අතර එය අවසානයේදී විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා යෝජනාවක් ද ගෙන එයි. ඔහු පවසන්නේ තීරු බදු රහිත වෙළෙඳාම රටට විදේශ විනිමය රුගෙන ආ හැකි මාවතක් බවට පත් කරගත හැකි බවයි.
“විදේශිකයන්, විශේෂයෙන්ම ඉන්දියානුවන් ආකර්ෂණය කර ගන්න තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණයක් කටුනායක ගුවන් තොටුපොළ අවට හෝටල් පහසුකම් සහිතව නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඉන්දියානුවෝ විශාල වශයෙන් සිංගප්පූරුවට සහ ඩුබායිවලට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් යනවා. අපිට ඔවුන් ආකර්ෂණය කර ගන්න පුළුවන්. ලංකාවේ තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණයක් නිර්මාණය කළොත් ගුවන් ගාස්තු අවම වීම, කාලය ඉතුරු වීම වගේ හේතු නිසා විශාල ඉන්දියානු ආකර්ෂණයක් බලාගන්න පුළුවන්. ලංකාවේ අයට මේ තුළ අවස්ථාවක් නොදී විදේශිකයන් ඉලක්ක කරගෙනම මේ වැඩේ කෙරෙන්න ඕනෑ. විශාල විදේශ විනිමයක් මේ හරහා රටට ගලා එයි.”
අප වෙත තොරතුරු සැපයූ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරනු ලබන යෝජනාවේ ගත යුත්තක් තිබේ. ඒ ගැන ඒ හා සම්බන්ධ බලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වෙතත් ආනයනය සීමා කිරීමේ කටයුතු සිදුව ඇති ආකාරය පිළිබඳ අපි මෙම ලිපියෙන් ප්‍රශ්න කර සිටියෙමු. ආර්ථික අර්බුදය හමුවේ යම් යම් දැඩි තීන්දුවලට රටක් ලෙස අපට එළඹීමට සිදුව ඇති බව සැබෑය. එහෙත් අවසාන වශයෙන් කිව යුත්තේ එම විසඳුම් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් නොවිය යුතු බවයි.
චමිඳු නිසල් ද සිල්වා