මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි.

  • November 2, 2022
  • No Comment
  • 30

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය: මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉෂ්ට කරන්නේ කවදා ද?

නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉෂ්ටවීම පෙනෙන තෙක් මානයක නැතැ යි, එවැනි කෲර අපරාධයන්ට ලක්වූ මාධ්‍යවේදීහු පෙන්වා දෙති.

මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සැලකීමේ දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, නිමල රාජන් සහ ධර්මරත්නම් සිවරාම් ඝාතනය, පුවත්පත් කතුවරයෙකු වූ උපාලි තෙන්නකෝන්, මාධ්‍යවේදී පොද්දල ජයන්ත, කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ කෲර වධහිංසා සහ ප්‍රගීත් එක්නැලිගොඩගේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම කැපී පෙනෙයි.

ඒ සියල්ල මෙරට මෑතකාලීන ඉතිහාසය තුළවූ සිදුවීම් ය.

එහෙත් මෙරට යුද වකවානුවේ සිට ගත්කල ඝාතනයට හා කෲර වධහිංසාවන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුව දීර්ඝ ය.

ඉන් අඩකටත් වඩා වැඩි පිරිසක් නිහඬව සිය වෘත්තිය ඉටුකළ ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ වෙති.

End of Twitter post, 1

“අද වෙනතුරු කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ”

තමාට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත BBC සිංහල සේවය සමග මෙලෙස සිය මතකය ආවර්ජනය කළේ ය.

“මට මේ අපරාධය සිද්ධවෙලා අවුරුදු 13ක් වෙනවා. අද වෙනතුරු කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ,” ඔහු පැවසීය.

“මගේ ජීවිතාරක්ෂාව පතා මම ජීවත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝක්වල. දැන් මෙහෙට ශීත සෘතුව ළඟාවෙමින් තියෙනවා. එතකොට මගේ පාදයේ ලෝහමය ආධාරයකින් තමයි මම නැඟිටලා ඉන්නේ. සිද්ධියෙන් පස්සේ බද්ධ කරලා තියෙන්නේ එහෙම යි. එතකොට ශීත සෘතුව කියන්නේ ඒ මාස කිහිපය පුදුමාකාර ශාරීරික වධහිංසාවකට ලක් වෙනවා. ඒ ශල්‍යකර්මය කරලා තියෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒ පරිසරයට උචිත විදිහට තමා ඒ ලෝහමය ආවරණය දාලා තියෙන්නේ,” පොද්දල ජයන්ත සඳහන් කළේ ය.

“ඒ ශාරීරික වධහිංසාවට වඩා මම අතිවිශාල මානසික වධබන්ධනයට ලක්වෙලා. අවුරුදු 13ක් ගෙවිලාත් මට ඒක මනසින් අයින් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ ජංගම වධකාගාරය, සුදු වෑන් රථයේ. පැහැරගෙන ගිහිල්ලා වධ තිස්දෙක දෙනකොට මට හිතුණ දේ තමයි මේ මොහොතේ, මීළඟ නිමේෂයේ මාව මරණවා කියන අදහස. ඒ අත්දැකීම මට තිබුණේ. ඒ ඇතිවෙච්ච මරණ බය, ඒක වචනයේ පරිසමාප්ථ අර්ථයෙන් කාටවත් විග්‍රහ කරන්න බැරිවෙයි. කවුරුවත් ඒ අත්දැකීම නොලබපු කෙනෙක් ඒක දන්නෙත් නැහැ. ඒ මානසික පීඩාව, මේ අවුරුදු 13නම කොතරම් කවුන්සිලින් ගත්තත් මට අයින්කරගන්න බැරිවෙලා තියෙනවා,” ඔහු සඳහන් කළේය.

“ලංකාවේ ඔය අපරාධෙට විරුද්ධව යහපාලන ආණ්ඩුව ආවේම ඇඩ්වර්ටීස්මන්ට් පත්තරවල පුරෝ පුරෝ. අපට ගහලා හිංසා පීඩා කරපු සංවේදී ඡායරූප පළකළා. ඒ තමා ඒගොල්ලන්ගේ කැම්පේන් එක පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යවල. එහෙම ආපු අය කිසිදෙයක් ඒ අවුරුදු ගාණ තුළ කළේ නැහැ. ඊළඟට ඒ වධක ආණ්ඩුව ඒ අපරාධ කරපු අය බලයට එනකම්ම කිසිදෙයක් කළේ නැහැ,” ඔහු පෙන්වා දුන්නේ ය.

පොද්දල ජයන්ත සඳහන් කළේ මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ පිළිබඳ කරුණු සෙවීමටත්, වින්දිතභාවයට පත් මාධ්‍යවේදීන්ට වන්දි ලබාදීමටත් කමිටුවක් පත්කර තිබූ බව යි.

“මම දන්නේ නැහැ ලසන්න වික්‍රමතුංග වගේ මනුස්සයෙකුට වන්දිය කීය ද කියලා තීන්දු කරන්න ඒගොල්ලෝ කවුද කියලා?” ඔහු විමසා සිටියේ ය.

“වරද කළේ කවුද කියලා හොයන්නේ නැතිව, වරදට දඬුවමදීමේ උත්සාහයන් රජයට වාර්තා කරන්නේ නැතිව, වරදට ගොදුරුවෙච්ච මිනිස්සුන්ට වන්දියක් දෙන්න හැදුවා.”

“අපේ ජීවිතවල වටිනාකම කොච්චරද කියලා තීන්දු කරන්න බලය කවුද දුන්නේ කියලා ඒ කමිටුවෙන් මම ඇහුවා. ඒගොල්ලන් කළේ ඒක. ඒ තමයි යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය,” ඔහු ප්‍රකාශ කළේ ය.

“වන්දිය නෙමේ කතන්දරය, දණ්ඩමුක්තිය දෙන්න හොඳ නැහැ,” ඔහු අවධාරණය කරයි.

“දැන් සන්ධ්‍යා එක්නැළිගොඩ බලන්න? මේ වෙනකොට යන්න ඕනේ සියලු තැන්වල ගිහින්, උසාවි ගානේ ගිහිල්ලා, ගිහිල්ලා අන්තිමට කොන්ඩේ බූගාල දේවාල ගානේ යනවා. ඒකට වරදක් කියන්න බැහැ මිත්‍යාව පස්සේ යනවා කියලා. ඒ ගැහැණියට යන්න තැනක් නැහැ. ඔය සමාජය අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දීලා අපරාධකරුවන් එක්ක ඩීල් ගහලා, අපරාධකරුවෝ රකින්න ක්‍රියා කළා හැරෙන්න කිසිදෙයක් වුණේ නැහැ.”

ස්වාධීන කොමිසමක් පත්කරන්න!

පොද්දල ජයන්ත පෙන්වා දෙන්නේ අපරාධකරුවන්ට දඬුවම් නොකරන පූර්වාදර්ශයක් මෙරට තුළ ක්‍රියාත්මක බව යි.

“ලසන්ත වික්‍රමතුංග කියන්නේ ලංකාවේ හිටිය විශිෂ්ට ගවේශනාත්මක මාධ්‍යවේදියෙක්. මරලා දැම්මා වෙච්ච කිසි දෙයක් නැහැ. එතකොට අනිත් අය කල්පනා කරනවා අපිටත් මේ ඉරණම ද කියලා. ඒ පූර්වාදර්ශය තමා තියලා තියෙන්නේ. පේනවානේ ලසන්තලාට වෙච්ච දේ කියලා.පැත්තකට වෙනවා. ඒක තමයි අද ඔය සමාජය නිර්වින්දනය වෙලා තියෙන්නේ. මේ වගේ නරක පූර්වාදර්ශ එනකොට ඒක ඉබේම වෙනවා,” පොද්දල ජයන්ත පෙන්වා දුන්නේ ය.

“අපරාධයක් කළොත් ඒ අපරාධකරුවට වහාම නිතීය ක්‍රියාත්මක වෙනවා කියන පූර්වාදර්ශය වෙනුවට ඒ අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය හිමිවෙන පූර්වාදර්ශයක් අපේ සමාජයේ තියෙනවා.”

ජේෂ්ඨ මාධ්‍යවේදි පොද්දල ජයන්ත පවසන්නේ මෙම අපරාධවලට යුක්තිය ඉටුකළ යුතු බව යි.

“වහාම මේවා ගැන විශේෂ කොමිසමක් පත්කරලාහරි, විශේෂ අධිකරණයක් පත්කරලාහරි මේ අපරාධවලට දඬුවම් කරන්න. අඩුම ගානේ ජනමාධ්‍යයට වෙච්ච දේ ගැන සාධාරණ, ස්වාධීන කොමිසමක් දාලා මේ ටික හොයන්න. මොකද රටේ ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින මුරබල්ලා. මේක නැතිවුණායින් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල නැතිවෙලා යනවා ජනමාධ්‍යවලට මුඛවාඩම බැඳලා කොන්ක්‍රීට් දාලා වැහුවට පස්සේ.”

“ජනමාධ්‍ය විවරව තියෙන්න ඕනේ, බයසැක නැතිව රටේ වෙන සියලු දේවල් එලියට එන නිදහස් මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒක සිදුනොවුණහොත්, ඒක මරලා දැම්මට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මුළුමනින්ම ඉවරෙට ඉවර වෙනවා, ඒක ගැන ඇස් ඇරගෙන ඉන්න මුර බල්ලව නිර්වින්දනය කරලා මරලා දැම්මට පස්සේ.”

“කරපු අපරාධවලට ඉස්සෙල්ලා අඩුම ගානේ දඬුවම් කරලා ඉන්න ඕනේ. එතකොට ඉදිරියට එන තරුණ පිරිස බිය සැක නොමැතිව තමන්ගේ වෘත්තියේ නිරතවෙයි. එතකොට ඉබේම ප්‍රජාන්ත්‍රවාදය රැකෙනවා,” ඔහු යෝජනාකර සිටියේ ය.

වසර 22කට පෙර ඝාතනය කළ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවේද ?

ලොවපුරා මාධ්‍යවේදීන් සුරක්ෂිත ද?

2006 සහ 2020 අතර කාලයේ දී ලොව පුරා මාධ්‍යවේදීන් 1200කට අධික පිරිසක් ඝාතනයවී ඇත. මෙම ඝාතන 10න් 9කට ආසන්න ප්‍රමාණයක් අධිකරණමය වශයෙන් නොවිසඳී ඇතිබව යුනෙස්කෝ දත්ත අනාවරණය කරයි.

2020-2021 දී ලොව පුරා මාධ්‍යවේදී ඝාතන 117ක් යුනෙස්කෝව සමස්තයක් ලෙස වාර්තාකර තිබේ.

සතුටට කරුණක් වන්නේ, පසුගිය වසර 14 සමග සැසඳීමේ දී අඩුම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇත්තේ 2021 වර්ෂයේ දී වීම යි.

2020 වර්ෂයේදී ලොවපුරා මාධ්‍යවේදීන් 62ක් සහ 2020 වර්ෂයේ දී මාධ්‍යවේදීන් 55 දෙනෙකු ඝාතනයට ලක්ව ඇත.

2021 දී, මාධ්‍යවේදීන්ට එරෙහිව විශාලතම මාරාන්තික ප්‍රහාර සංඛ්‍යාවක් (ඝාතන 23) සහ ඝාතනවලින් 42%ක් වාර්තා වන්නේ ආසියා සහ පැසිෆික් කලාපයෙනි.

ලතින් ඇමරිකාව සහ කැරිබියානු කලාපය පිළිවෙලින් දෙවන සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි.

යුනෙස්කෝව පෙන්වා දෙන්නේ දණ්ඩමුක්තිය ඝාතන ඉහළයෑමට තුඩු දී තිබෙන බව ය. බරපතල මානව හිමිකම් උල්ලංඝන, දූෂණ සහ අපරාධ වසන්කිරීම මඟින් දණ්ඩමුක්තිය සමස්ත සමාජයටම හානිකරන බව යුනෙස්කෝව පෙන්වා දෙයි.

යුනෙස්කෝව ලොව පුරා ආණ්ඩු, සිවිල් සමාජය, මාධ්‍ය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අදාළ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ගෝලීය ප්‍රයත්නයන්ට එක්වන ලෙස යි.

සෑම වසරකම මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසක් ඝාතනය වන අතර, මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් දඬුවම් නොලබා නොවිසඳුණු අපරාධ ලෙස පවතින බව IFJ හෙවත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය අනාවරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොම ද?

දේශසීමා විරහිත වාර්තාකරුවෝ සංවිධානය (Reporters Without Borders) නිකුත් කරන මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයට (2022 World Press Freedom Index) අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකාව පසුවන්නේ 146 වැනි ස්ථානයේ ය. ඒ ගෝලීය ලකුණු 42.13ක් හිමිකර ගෙන ය.

2021 වසරේ දී ලංකාව 127 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මාධ්‍ය නිදහස අතින් 2022 වසරේ දී ශ්‍රී ලංකාව තවත් ස්ථාන 19ක් පහත වැටී ඇත.

2022 PRESS FREEDOM INDEX

මෙරට මාධ්‍ය නිදහස පිළිබඳ ගැටළු 2009 දක්වා පැවති සිවිල් යුද්ධය සමග බැඳී පවතින අතර, තවමත් දඬුවම් නොලබන අපරාධ ලෙස ඉන් බොහෝමයක් පවතින බව දේශසීමා විරහිත වාර්තාකරුවෝ සංවිධානය අනාවරණය කළේ ය.

මාධ්‍ය කේෂත්‍රය විවිධත්වයෙන් තොරවීම සහ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් මත බෙහෙවින් රඳා පැවතීම නිසා පුවත්පත් කලාව අවදානමට ලක්ව ඇතැ යි ද එම සංවිධානය පැවසීය.

මේ අතර දේශසීමා විරහිත වාර්තාකරුවෝ සංවිධානයට අනුව 2022 වසරේ දී ජනමාධ්‍යවේදීන් 46 දෙනෙකු හා මාධ්‍ය සේවකයින් 4 දෙනෙකු ලොවපුරා ඝාතනයට ලක්ව ඇත.

ලොවපුරා මාධ්‍යවේදීන් 508 දෙනෙකු සහ මාධ්‍ය සේවකයින් 21 දෙනෙකු ඇතුළුව 529 දෙනෙකු බන්ධනාගාර ගතකර ඇතැ යි ද දේශසීමා විරහිත වාර්තාකරුවෝ අනාවරණය කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *