‘පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ඉවත් කර ගන්න’ – හියුමන් රයිට් වොච්

‘පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ඉවත් කර ගන්න’ – හියුමන් රයිට් වොච්

  • October 17, 2022
  • No Comment
  • 36

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය අද (ඔක්තෝබර් 17 වැනිදා ) අවධාරණය කළේය.

A lawyer holds a placard as policemen stand guard during a protest against the Prevention of Terrorism Act (PTA) law, which allows for the prolonged detention of suspects without trial, near the Presidential Secretariat in Colombo on October 10, 2022.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, පනත් කෙටුම්පත මගින් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබා දෙන බවත් එමගින් රැඳවියන් අපයෝජනයට ලක්වීමේ විශාල අවදානමක් ඇති බවයි.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

“මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කාමීන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක්” මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් රඳවා තබා ගැනීමට අවසර දෙනු ඇතැයි හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලබන්නේ හමුදා කාර්ය මණ්ඩලයක් සහිත “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා බව හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කළේය.

මානව හිමිකම් ක්‍රියාකාරීන් යෝජිත පනත් කෙටුම්පත දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ යෝජිත කෙටුම්පත මගින් “පුනරුත්ථාපනය” සඳහා යැවීමේ පදනම විස්තර නොකරන බවයි.

මෑත කාලීන රජයේ ප්‍රතිපත්ති මගින්, වැරදිකරුවන් නොවූ පුද්ගලයන් බලහත්කාරයෙන් “පුනරුත්ථාපනය” සඳහා අත්තනෝමතික සහ නොපැහැදිලි බලතල සපයන බව හියුමන් රයිට් වොච් අවධාරණය කළේය.

“ශ්‍රී ලංකා රජයේ යෝජිත ‘පුනරුත්ථාපන’ ප්‍රයත්නයන්, චෝදනා ගොනු කිරීමකින් තොරව පුද්ගලයින් අපයෝජනාත්මක ලෙස රඳවා තබා ගැනීම වැනි දෙයකට වඩා වැඩි දෙයක් නොවන බව පෙනී යනවා,” හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවාය.

“පුනරුත්ථාපන පනත් කෙටුම්පත තවත් වධහිංසාවලට සහ අයුතු ලෙස සැලකීමට සහ නිමක් නැති රඳවා තබා ගැනීමට පුළුල් ලෙස දොර විවර කරනු ඇත.” ඇය සඳහන් කළාය.

හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය මීට පෙර අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සඳහා බලහත්කාර “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන භාවිතා කර ඇති බවයි.

2009 දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පසුව, පරාජයට පත් වූ බෙදුම්වාදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් ලෙස ආණ්ඩුව විසින් හඳුනාගත් දහස් ගණනක් ජනයා මිලිටරිය විසින් පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල රඳවා තබන ලද අතර, ඇතැමුන් වධහිංසාවට සහ ලිංගික හිංසන ඇතුළුව වෙනත් අපයෝජනයන්ට ලක් කළ බව කියනු ලබන බවද හියුමන් රයිට් වොච් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

යුද්ධය අවසන් වී වසර 13කට පසුවද වත්මන් පනත් කෙටුම්පත මගින් “හිටපු සටන්කාමීන්” “පුනරුත්ථාපනය” කිරීමට නැවත වරක් උත්සාහ කරන බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, පුනරුත්ථාපන පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමට අවසර දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දිගු ඉතිහාසයක් ඇති නීතිවල නවතම පියවරයි.

Lawyers and civil rights activists take part in a protest against the Prevention of Terrorism Act (PTA) law, which allows for the prolonged detention of suspects without trial, near the Presidential Secretariat in Colombo on October 10, 2022.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “අන්තවාදී” ලේබලය අලවා ඇති සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉලක්ක කිරීමට මෙම නීතිය යොදා ගත හැකි බවද හියුමන් රයිට් වොච් අවධාරණ කරයි.

නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණ අධීක්‍ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ සලසන පුනරුත්ථාපන පනත් කෙටුම්පත යටතේ, රජයේ නිලධාරීන් “සද්භාවයෙන්” ක්‍රියා කළහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා අපරාධ වගකීමෙන් ආරක්ෂා වනු ඇති බවයි.

නිර්වචනය නොකළ “අවම බලය” භාවිතා කිරීමට ද පනත් කෙටුම්පත මගින් නිලධාරීන්ට බලය ලබා දෙන බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.

තවත් විධිවිධානයක් අනුව, “සාධාරණ හේතුවක් නොමැතිව” පහරදීම්, තුවාල කරන, අයහපත් ලෙස සලකන, හෝ පුනරුත්ථාපනය යටතේ සිටින ඕනෑම කෙනෙකුට හිතාමතාම නොසලකා හරින නිලධාරියෙකුට මාස 18ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, රැඳවියන්ට හානි කිරීමට “සාධාරණ හේතුවක්” තිබිය හැකි බව යෝජනා කරන බවද හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

එම සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර නීතිය මගින් වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

සැප්තැම්බර් 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෙනම පනත් කෙටුම්පත මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යැයි කියන පුද්ගලයින් අනිවාර්යයෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇත.

හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” යලි යලිත් සංසන්දනය කර ඇති “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී දැනටමත් අපයෝජන කර ඇති නීති සහ භාවිතයන් මෙම නව නීතිය යටතේ තවත් නරක අතට හැරෙනු ඇති බවයි.

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් යැයි කියන අය සඳහා බලහත්කාරයෙන් “පුනරුත්ථාපනය කිරීමේ” ක්‍රමයක් දැනටමත් ශ්‍රී ලංකාව සතුව ඇතැයි පෙන්වා දෙන හියුමන් රයිට් වොච්, එය සන්නද්ධ හමුදාවන් විසින් කලින් හිටපු සටන්කරුවන් “පුනරුත්ථාපනය කිරීම” සඳහා භාවිතා කරන ලද ස්ථාන දෙකක පවත්වාගෙන යන බවද පෙන්වා දුන්නේය.

“ඇබ්බැහිවීමට” ලක්වන සිටින , වෛද්‍යමය වශයෙන් සුදුසු ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන රැඳවියන්ට සාමූහික දඬුවම් ඇතුළුව බලහත්කාරයෙන් ශ්‍රමය සහ අයහපත් ලෙස සැලකීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති බවත්, ජුනි මාසයේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකුගේ මරණය “චිකිත්සකයින්” ලෙස ක්‍රියා කළ හමුදා සහ ගුවන් හමුදා සැරයන්වරුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවත් හියුමන් රයිට් වොච් සඳහන් කළේය.

ඇබ්බැහි වීම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ සෑම විටම ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර කළ යුතු අතර ඇබ්බැහි වීම මූලික වශයෙන් සෞඛ්‍ය තත්වයක් ලෙස සැලකිය යුතු බව හියුමන් රයිට් වොච් පෙන්වා දුන්නේය.

2017 දී අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකා හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා සම්බන්ධ වීම සහ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳව කනස්සල්ල පළ කළ බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

මත්ද්‍රව්‍ය නීතියේ යෝජිත සංශෝධනයේ සාක්ෂි ප්‍රමිතීන් දුර්වල කිරීමට සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ ඇතැම් අපරාධ නඩු වල සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිපාදන ඇතුළත් වේ.

ජාත්‍යන්තර නීති ප්‍රමිතීන්ට පටහැනිව සහ 1976 සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තහනමක් පනවා තිබියදීත්, ශ්‍රී ලංකාව ඇතැම් මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය දිගටම පනවා ඇති බවද හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ යෝජිත මත්ද්‍රව්‍ය විරෝධී සංශෝධන නීති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික අයිතිවාසිකම්වලට පහරදීමේ නවතම පියවර බව හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි.

කොළඹ මහජන රැස්වීම් සීමා කිරීම සඳහා රාජ්‍ය රහස් පනත භාවිතා කිරීමට ගත් උත්සාහය, එම ක්‍රියාව නීති විරෝධී බවට පුලුල් විරෝධතා මධ්‍යයේ ඔක්තෝම්බර් මස මුලදී ඉල්ලා අස්කර කර ගත් බවද හියුමන් රයිට් වොච් සඳහන් කළේය.

ජනාධිපති වික්‍රමසිංහ අපවාදාත්මක සහ මර්දනකාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට දැඩි ලෙස අවශ්‍ය ආර්ථික ක්‍රියාමාර්ගවලට මුළු හදවතින්ම පිටුබලය දීම දුෂ්කර කර වන බව මීනාක්ෂි ගංගුලි සඳහන් කළාය.

විදේශීය ආණ්ඩු ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා සහාය දෙන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු නමුත් බරපතල මානව හිමිකම් කඩ කරන අයට එරෙහිව ඉලක්කගත සම්බාධක සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා පියවර ගන්නා බව බවද අවධාරණය කළ යුතු බව හියුමන් රයිට් වොච් අවධාරණය කළේය.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *