ගාලුමුවදොර විරෝධය: මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

ගාලුමුවදොර විරෝධය: මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

  • October 10, 2022
  • No Comment
  • 41

ඊයේ කොළඹ ගාලුමුවදොරදී පැවැත්වූ ජනඅරගල විරු සැමරුමට පොලිසිය බාධා කිරීම පිළිබඳ විවිධ පාර්ශව වලින් මේ වන විට විවේචන එල්ල වෙමින් තිබේ.

අරගලකරුවන් පවසන්නේ, මෙය සාමකාමීව විරෝධතා දැක්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

ජනතාව විසින් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආරම්භ කළ අරගලයට මාස 06ක් පිරීම නිමිත්තෙන් එම කාලය තුළදී මිය ගිය පුද්ගලයින් සිහිකර මෙම විරු සමරුම සංවිධාන කර තිබුණි. එහෙත් ආරම්භයේ සිටම පොලීසියෙන් ඊට බාධා එල්ල විය.

පොලීසිය හා ජනවිරු සැමරුමට එක්වු ක්‍රියාකාරීන් අතර උණුසුම් වචන හුවමරු සිදුවන අයුරු දිගින් දිගටම දැක ගත හැකි විය.

දරුවන් ඇතැතිව සිටි මව්වරුන් මෙන් පියවරුන්ද ඇඳගෙන යාමට පොලීසිය තැත්කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසර්ණය විය.

පොලිසිය කියන්නේ මොකක්ද ?

පොලිසිය සඳහන් කළේ, ජනවිරු සමරුවට එක්වු 5 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.ඒ අතර සිටි 16 සිසුවා ඊයේ රාත්‍රියේම මුදා හැර තිබුණි.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් සිව් දෙනා අද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කරනු ලැබීය.

පොලිසිය පැවසුව්, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, අපහස වන ආකාරයට කටයුතු කිරීම ඇතුලු චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

ගාලුමුවදොරට ඇතුලුවීමේ තහනමක් නැති බවත් රැස්වීමක් කරන්නේ නම් අදාළ අංශ වලින් අවසර ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

පොදු භූමියක එවැනි රැස්වීමක් පවත්වන්නේ නම් අදාළ පළාත් පාලන ආයතන වලින් සහ පෙළපාලි යන්නේ නම් පොලිසියට පූර්ව දැනුම් දීමක් කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, විරෝධතා සඳහා ළමුන් රැගෙන යා නොහැකි බවයි.

මෙය පොලිසියේ වරද නොව දෙමව්පියන්ගේ වරද බවත් දරුවන් රැගෙන ගොස් ඇත්තේ, ආරක්ෂාව ලබා ගැනීමට බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙනත් පුද්ගලයෙකු අත සිටි දරුවා ඔහු අතට ගෙන ඇති බවත්,ළමුන් කෲරත්වය පත් කරීම, කායිකව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

‘කවදා හෝ වන්දිගෙවීමට සිදුවෙයි.’ – නීතීඥ සංගමයේ සභාපති.

ගාලු මුවදොර පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් දැඩිව විවේචනය කරනු ලැබීය.

ඔහු විමසා සිටියේ මෙවැනි හැසිරීම් සමඟ ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කිරීම පුදුමයක්ද? යන්න පිළිබඳවයි.

සාමකාමී උද්ඝෝෂණවලට පොලිසියෙන් ලැබෙන අසමාන ප්‍රතිචාර තුළින් පාලකයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යන්න පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.

“ජනඝෝෂා නඩුවේදී විනිසුරු මාර්ක් ප්‍රනාන්දු ප්‍රකාශ කළ පරිදි: “අද නීත්‍යානුකූල විසම්මුතිය සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීම මැඩලීමෙන් සිදු විය හැක්කේ, අනිවාර්‍යෙන්ම, වෙනත් දවසක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි.” අවාසනාවකට පොලිසිය සහ බලඅධිකාරිය කවදාවත් ඉගෙන ගන්නේ නැහැ.” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරනු ලැබීය.

නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ කවදා හෝ තම නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවනු තමා දැක ඇති බවයි. ඇතැමුන් වන්දි ගෙවූ අතර ඔවුන්ගේ උසස්වීම් ද අහිමි කරගත් බවත්, තවත් සමහරු අපරාධ ක්‍රියාවලට වැරදිකරුවන් වූ පසු සිර දඬුවම්වලට මුහුණ දීමට සිදු බවයි .

වන්දි ගෙවන අවස්ථාවලදී ඔවුන්ට එම අනීතික උපදෙස් ලබා දුන් කිසිවෙකු ඔවුන් ළග නොසිටින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේ,ඔවුන්ට තනිවම ඊට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

යුක්තියේ දැති රෝද සෙමෙන් නමුත් ස්ථිර වශයෙන්ම කැරකෙන බව මතක තබා ගත යුතු යැයි ද ඔහු අනීතික නියෝග පිළිපදින සියලුම පොලිස් නිලධාරීන්ට සිහිපත් කරයි.

Police detain demonstrators during a protest against the Sri Lankan government in Colombo on October 9, 2022.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

මෙම සිදුවීමට අදාළව ප්‍රධාන වගඋත්තරකරුවන් හත්දෙනෙකු නම් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කොට තිබේ. එම ලිපියේ වගඋත්තරකරුවන් ලෙස

01 ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, ස්ථානාධිපති, කොටුව පොලිස් ස්ථානය.

02 සහකාර පොලිස් අධිකාරී දිල්රුක්, කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසය.

03 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කොට්ඨාස භාර නිලධාරී, කොළඹ මධ්‍යම කොට්ඨාසය.

04 නියෝජ්‍ය පොලිස්පති, කොළඹ.

05 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත භාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොළඹ.

06 චන්දන වික්‍රමරත්න, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

07 එස් හෙට්ටිආරච්චි, ලේකම්, මහජන සාමය අමාත්‍යංශය නම් කොට තිබේ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ශ්‍රී ලංකා පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල බවට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටින ඔවුන් මින් ඉදිරියට සාමකාමී උද්ඝෝෂණවල මර්දනය කිරීමට කටයුතු නොකරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරන ලෙසද එමඟින් ඉල්ලා සිටියි.

දරුවන්ට හිරිහැර කරන ලදැ’යි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.

මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ ඔක්තෝබර් (09) පැවති ජනවිරු සැමරුමේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ අරගලකරුවන් පිරිසක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ගොස් අද පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.

පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

මේ අතර කොළඹ – ගාලුමුවදොර දී නීතිඥවරුන් සහ වෘත්තිකයින් පිරිසක් අද (ඔක්තෝබර් 10 වැනිදා) පස්වරු 3ට පැවැත්වීමට නියමිත විරෝධතාව වළක්වන්නැයි ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්‍ර්තාත් තිලිණ ගමගේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඊයේ ගාලුමුවදොරදී පොලිසිය විසින් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධාන කර ඇත.

මෙහිදී නීතිඥවරුන්ගේ සහ වෘතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පිරීස් ය.ඔහු පෙන්වා දුන්නේ සාමකාමීව විරෝධතා දැක්වීම අනූලංඝනීය අයිතිවාසිකමක් බවයි.

දේශපාලන පක්ෂ අවස්ථා ගණනාවකදී ගාලුමුවදොරට රැස්වී දේශපාලන රැස්වීම් පවත්වා ඇති බවද ජනධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

අන් අයගේ අයිතීන්ට බාධාවක් නොවන අයුරින් උද්ඝොෂණ කිරීමට බාධාවක් නොමැති බව කියා සිටි මහේත්ත්‍රාත්වරයා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම්, එය වැළැක්වීමට පොලීසියට බලය ඇති බවද පැවසීය.

මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

කොළඹ ගාලු මුවදොර ඔක්තෝබර් 9 වැනිදා පැවති සාමකාමී විරෝධතාව සහ සැමරුම පොලීසිය විසින් විසුරුවා හැරීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වයං මෙහෙයවීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු රෝහිණි මාරසිංහ නිවේදනය කළේ මෙම විරෝධතාවය පොලිසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේද යන්න පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් කැඳවා ඇති බවයි.

පැය 24 ක් තුළ එම වාර්තාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වෙත අද දින දන්වා යැවූ බව විනිසුරු රෝහිණි මාරසිංහ සඳහන් කළාය.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *