නිදහස උදෙසා ඇති වුණු ජන අරගල
- October 7, 2022
- No Comment
- 67
නිදහස තරම් අගනා වස්තුවක් තවත් නොමැති බව වටහා ගන්න නම්, නිදහස අහිමි විය යුතුය. රටක් වශයෙන් අප ඒ නිදහස අහිමි කර ගත්තේ 1815 මාර්තු මාසයේදී උඩරට සිංහලේ රාජ්‍යය ඉංග්‍රීසි කිරීටයට නතු කර දෙමිනි. සාමාන්‍ය පිළිගැනීම පරිදි සිංහලේ රාජ්‍යත්වය ආරම්භ වන්නේ විජයාවතරණයෙන් අනතුරුව ලෙස සලකන්නේ නම්, ඉන් මෙපිට ගෙවුණු සියවස් විසි පහකට ආසන්න කාලයක් පුරාවට මුළු මහත් දිවයිනේම රාජ්‍යාධිකාරී බලය යළි යළි හිමි නොවන පරිදි, සතුරු ජාතියක් අතට පත් වූ පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැක්කේ යට කී අවස්ථාවය. එය දෙදහස් පන්සිය වසරකට ආසන්න කාලයක ඉතිහාසයක් හිමි ඉපැරැණි සභ්‍යත්වයේ මළගම යනුවෙන් ව්‍යවහාර කිරීමේද වරදක් නැත.
1815දී අහිමි කර ගත් ස්වයංපාලන අයිතිවාසිකම හෙවත් දේශපාලනික නිදහස කෙතරම් වටිනා කාරණයක්ද? යන්න වටහා ගැනීමට එතැන් පටන් වැඩි කාලයක් අවශ්‍ය වූයේ නැත. උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී ඇති කර ගත් එකඟතා ඉතා නොබෝ කාලයකින්ම ඉටු නොවන බව පෙනී ගියේය. සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදද ඉංග්‍රීසින්ගේ අභිමතය පරිදි වෙනස් කළේය. මේ තත්ත්වය මත ඇති වූ තදබල නොසන්සුන්තාව ඉංග්‍රීසි පාලනයට එරෙහි මහා මේඝයක් සේ වර්ධනය වීමට ගත වූයේ ඉතා කෙටි කලකි. 1817 වර්ෂයේ මැද භාගය වන විට ඉංග්‍රීසි පාලනයට එරෙහි කැරැල්ලක ස්වරූපයෙන් එකී විරෝධතාව පැන නැංගේය.
අලුත් දෙවියන්
අවසන් රජු සතුරන් අතට පත් කර වසර දහ තුනක් යෑමට මත්තෙන්, උඩරැටියන්ට ශ්‍රී වික්‍රම රාජසිංහගේ අගය බරපතළ ලෙස දැනෙන්න විය. 1828 වර්ෂයේදී, එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රැඳවියකු වශයෙන් ඉන්දියාවේ ජීවතුන් අතර සිටියදීම, උඩුනුවර ප්‍රදේශයේදී ‘අලුත් දෙවියන්’ යන නමින් ඔහු දේවත්වයට පත් වන්නේ එබැවිනි. එසේ දේවත්වයට පත් වූ ශ්‍රී වික්‍රම සම්බන්ධයෙන් මේ ලේඛකයා පළ කළ ‘අලුත් දෙවි කතාව’ නම් කාව්‍යය අනුව ශ්‍රී වික්‍රම සතුරන් අතට පත් වීම නිසා, ලංකා රාජ්‍යය පත් වූ දුක්බර තත්ත්වය මැනැවින් කියාපායි. ඒ අනුව එහි කිවිවර වූ ‘සියාතු’ නමැති නොතාරිස් තැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ආරාධනා කරන්නේ කතරගම දෙවියන්ගෙන් වරම් ලබා ගත් දෙවියකු විලස නැවත ලංකාද්වීපයට පැමිණ රට ආරක්ෂා කර ගන්නා ලෙසිනි. ‘අලුත් දෙවියන්’ වශයෙන් ව්‍යවහාර කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවෙන් දේවාලයක්ද කරවා තිබේ. 1815දී සිදු කර ගන්නා ලද ඓතිහාසික වරද පිළිබඳ උඩරැටියන් තුළ පැවැති ස්වයං විවේචනය නිසා ඔවුන් බලවත් පසුතැවිල්ලකට පත්ව සිටි බව ඒ අනුව පැහැදිලි වෙයි.
ඉංග්‍රීසින් අතට රාජ්‍යය පාවාදී වසර 133කට පසුව 1948දී ඩොමිනීයන් තත්ත්වයක් යටතේ අපට ලබා දෙන ලද්දේ, ඒ වන විට ආර්ථික හා දේශපාලනික වශයෙන් දුර්වල වූ ලොම් හැලුණු කිරීටයක භෞතික බලපෑමෙන් තරමක් දුරට නිදහස් වූ අර්ධ ස්වයං පාලන අයිතිවාසිකමක් පමණකි. 1972 ජනරජකරණය තෙක්ම එම තත්ත්වය බලපැවතුණේ ය. 1972-1977 දක්වා පස් වසරක කාලය පමණක් ස්වාධීන පාලන ක්‍රමයක පහස ලබන්නට ලංකාවට හැකි වූ නමුත්, එහි ආරම්භයම අතිශය කටුක වූවක් බව අපි දනිමු. 1977 සිදු වූ ආර්ථික පෙරළියත් සමඟ, අදිසි යටත්විජිතකරණයකට ලක් වූ අපි එහි ප්‍රතිඵල අදටත් භුක්ති විඳිමු.
අතීතකාමී පසුබිම තුළ වුවත්, ‘සුද්දාගෙන් අප ලද නිදහස’ අවතක්සේරු කළ නොහැකි ය. එසේ කිරීම අප විසින් අපටම කර ගන්නා මදිපුංචිකමකි. 1948 පෙබරවාරි 04 වැනි දිනය වෙනුවෙන් සිහින දකිමින්, ලේ දහදිය මෙන්ම, ස්වකීය ප්‍රාණයද කැප කළ ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එහෙත් අප කතා කරන්නේ, යථොක්ත 1818 සහ 1848 විමුක්ති අරගල ගැන පමණකි.
ලංකාවේ නිදහස පතා සිදු කෙරුණු අරගල, නැඟී සිටීම්, අවස්ථා කිහිපයකදීම වාර්තා වේ. කොළඹ සහ මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන සාක්ෂ්‍ය වශයෙන් තබා මේ සංක්ෂිප්ත විස්තරය ඉදිරිපත් කරන්නේ, ලෝකයම සියතට ගත් බලවත් කිරීටයකට එරෙහිව හිස එසැවූ, ඒ නිර්භීත මිනිසුන්ට කරන උපහාරයක් වශයෙනි.
පළමු වෑයම : ඌවේ මහ කැරැල්ල (1817 අගෝස්තු – 1818 නොවැම්බර්)
පිළිමතලව්වේ (කනිෂ්ඨ) දිසාව, කපුවත්තේ අදිකාරම, ඇල්ලේපොළ දිසාව, උනම්බුවේ දිසාව, මොනරවිල කැප්පෙටිපොළ දිසාව, මුල්ලේගම දිසාව, ගලගොඩ දිසාව, බූටෑවේ රාල, කොහුකුඹුරේ රාල ඇතුළු තවත් බොහෝ රදල ප්‍රධානීන් පිරිසකගේ නායකත්වයෙන් වෙල්ලස්ස සහ බින්තැන්න ආශ්‍රිතව ආරම්භ වූ ඌවේ මහ කැරැල්ල හෙවත් වෙල්ලස්ස කැරැල්ල, අතිශයින් සාර්ථක කර ගත හැකිව තිබියදී, පාවාදීම් නිසා අසාර්ථක වූවකි. උඩරට ප්‍රභූ පවුල් රැසක්ද, උඩරට ගම්බිම් රැසක්ද මෙයින් විනාශයට පත් විය.
සිංහලේ නායකයන් අතට දළදාවද පත් විය. දොරේසාමි යනුවෙන් හැඳින්වූ (ව්‍යාජ) කුමාරයකු අලුත්වෙලදී ශ්‍රී රාජසිංහ යනුවෙන් අභිෂේක කරවන ලදී.
සංවිධානාත්මක යුද්ධයක්
අති විශාල රදල හා ජන සහභාගිත්වයක් ඇතිව සිදු වූ සංවිධානාත්මක යුද්ධයක ස්වරූපය ගත් වෙල්ලස්සේ විමුක්ති සටනේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත හැකි විය. කන්ද උඩරට යළිත් නිදහස් කර ගැනීමට අවස්ථා බොහෝමයක් තිබියදී සිදු වූ පාවාදීම් හේතුවෙන් එය පරාජයට පත් විය. කැරලි නායකයන් වශයෙන් සැලකුණු සිංහල ප්‍රධානීන්ගෙන් බහුතරයක් සාතිශය අයුරින් මරා දැමුණි. දේපළ රාජසන්තක කිරීම්ද සිදු විය. ඇතැමෙකු රටින් පිටුවහල් කෙරිණි.
දෙ වැනි වෑයම : වෙල්ලස්සේ දෙවැනි නැඟිටීම (1820 ජනවාරි)
1820 ජනවාරි මාසයේ වෙල්ලස්සේ වැදි පිරිසක් සමඟ එක් වූ, කුමාරසාමි නමැත්තකු යළිත් වෙල්ලස්සේ කැරැල්ලක් ඇති කළේය. ‘විමලධර්ම නරේන්ද්‍රසිංහ’ වශයෙන් තමා හඳුන්වා ගත් ඔහු, ද්‍රවිඩ පිරිසක්ද ඊට සම්බන්ධ කර ගත්තේය. බින්තැන්නේ දිසාව වූ මිල්ලව හෙවත් දුනුවිල දිසාව කැරැල්ල පාලනය කළේය. අත්අඩංගුවට ගනු ලැබූ කැරලි නායකයා මුරුසියට පිටුවහල් කරන ලදී.
තුන් වැනි වෑයම : තමන්කඩුවේ නැගිටීම (1820)
සිව් වැනි වෑයම : මාතලේ නැගිටීම (1823)
අලුවිහාරයේ වැඩ විසූ කහවත්තේ උන්නාන්සේ නමැති භික්ෂූන් වහන්සේ නමක විසින් 1823දී ඇති කරන ලද ඉංග්‍රීසි විරෝධයටද ජනතා සහභාගිත්වයක් ලැබුණේ නැත. මුල් අවස්ථාවේදී අලුවිහාරේ, ඇතිපොළ වැනි ප්‍රදේශාධිපතියන්ගෙන් ඊට රුකුල් ලැබුණද, ඔත්තුකරුවන්ගේ බලපෑමෙන් මේ නැගිටීම පාලනය විය. අත්අඩංගුවට පත් වූ කහවත්තේ උන්නාන්සේ 1823 අගෝස්තු මාසයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව, එම මාසයේ පස් වැනිදා මහනුවර බෝගම්බරදී එල්ලා මරා දැමිණි.
පස් වැනි වෑයම : හත්කෝරලේ නැගිටීම (1834)
කුරුණෑගල දිසාවේ රිදී විහාරවාසි තිබ්බොටුවාවේ උන්නාන්සේ, දඹෑවේ උන්නාන්සේ සහ කැටකුඹුරේ උන්නාන්සේ යන භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇති වෙන්න ගිය සත් කෝරලේ ඉංග්‍රීසි විරෝධයට මොල්ලිගොඩ (කනිෂ්ඨ) අදිකාරම, දුනුවිල දිසාව, රද්දේගොඩ ලේකම් යන රදල ප්‍රධානීන්ගේ සහයෝගය ලැබුණි. ලංකා රෙජිමේන්තුවේ ජා මුලාදෑනියකුද ඊට සහයෝගය ලබා දුන් බව පසුව හෙළි විය. ඔත්තුකරුවන් වෙතින් ලද තොරතුරු මත අත්අඩංගුවට ගනු ලැබූ කැරලි නායකයන් වෙනුවෙන් 1835 ජනවාරි 15 වැනිදා කොළඹදී නඩු විභාගයක් පැවැත්වූයේය. ජූරියේ තීරණය පරිදි ඔවුන් සියලුදෙනා නිදහස් කරනු ලැබිණි. එහෙත් ඒ වන විට දරන ලද සියලු තනතුරු අහිමි කෙරිණි.
සවැනි වෑයම : මාතලේ නැගිටීම (1842)
චන්දජෝති සීලවංස සරණංකර උන්නාන්සේ නම් භික්ෂූන් වහන්සේ නමක විසින් මාතලේ දිසාවබද පිරිසක් සමඟ එක්ව සැලසුම් කරන ලද ජනතා නැගිටීමක් ගැන ඔත්තු ලබා ගැනීමට ඉංග්‍රීසින්ට හැකියාව ලැබුණි. උන් වහන්සේට මරණීය දණ්ඩනය නියම කරන ලදී. එහෙත්, ආණ්ඩුකාර කොලින් කැමල් විසින් උන්වහන්සේට මරණීය දණ්ඩනය අහෝසි කර දාහතර වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදෙනු ලැබීය. කොළඹ සිරගත කරන ලද උන්වහන්සේ එහිදීම අපවත් වූහ.
සත් වැනි වෑයම : කොත්මලේ/දුම්බර නැගිටීම (1842-1843)
හඟුරන්කෙත ඩිංගි රාල, දාවිත් (පෑලියගොඩ දාවිත් හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා) යන අය විසින් කොත්මලේ, දුම්බර සහ හඟුරන්කෙත ආශ්‍රිතව ඉංග්‍රීසි විරෝධයක් ඇති කරන ලද නමුත්, පසුව අත්අඩංගුවට ගන්නා ලදී. නඩු විභාගයෙන් සියලුදෙනාම නිදහස් කරන ලද අතර, 1848 මාතලේ කැරැල්ල සඳහා පෙරමුණ ගත්තේද ඔවුන්ය. මේ අවස්ථාවේදී ගොංගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සහෝදරයා ලංකාවේ නම ගිය අපරාධකරුවන් වශයෙන් නම් කරන ලදී.
අට වැනි වෑයම : මාතලේ නැගිටීම (1848 ජූලි – ඔක්තෝබර්)
වීදිපැල්ලේ බණ්ඩා හෙවත් හඟුරන්කෙත ඩිංගි රාල, හැන්නදිගේ ෆ්‍රැන්සිස් හෙවත් පුරන් අප්පු, පෑලියගොඩ දාවිත් හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා, කරෝ අප්පු, දීනිස්, දූල්ලෑව දිසාව, ගන්නෑව කෝරාල, කඳපොළ බස්නායක නිලමේ, හැවැන්පොළ කෝරාල, කළුබණ්ඩා රටේ රාල, ගොලහැල දිසාව යනාදි පිරිසක් සහ දඹුලු විහාරාධිපති ගිරානේගම චන්දජෝති උන්නාන්සේ, ලුණුකඩවැල්ල විහාරාධිපති පිලිමතලව්වේ ධම්මදස්සි උන්නාන්සේ යන භික්ෂූන් වහන්සේ ඇතුළු නායකයන් බොහෝ පිරිසක් මේ කැරැල්ල සඳහා එක්ව සිටි නමුත්, පාවාදීම් සහ ඔත්තු ලබාදීම් හේතුවෙන් 1848 නොවැම්බර් මාසය වන විට කැරැල්ල පාලනය කිරීමට හැකියාව ලැබුණි. කැරලි නායකයන් බොහොමයක් මරා දමනු ලැබුණි. කැරැලි ආරම්භයේදීම පාහේ, කැරැල්ලට සම්බන්ධ යැයි සැක පිට කුඩාපොළ උන්නාන්සේ නමැති භික්ෂූන් වහන්සේ මරා දැමීම හේතුවෙන් ඇති වූ සමාජ ව්‍යාකූලත්වය පිට, කැරලි මර්දනයට නියෝග දුන් ආණ්ඩුකාර ටොරිංටන්, එම තනතුරෙන් ඉවත් කර, නැවත එංගලන්තයට ගෙන්වා ගන්නා ලදි. මින් පසු, නිදහස පතා සුද්දාට විරුද්ධව සිංහල මිනිස්සු නැගිට්ටේ නැත.