මොකද්ද මේ අද රැස්වුන ජාතික සභාව ?

මොකද්ද මේ අද රැස්වුන ජාතික සභාව ?

  • September 29, 2022
  • No Comment
  • 49
මොකද්ද මේ අද රැස්වුන ජාතික සභාව ?

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති ධුරයට පත්වු රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වුණේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් කළේය. එහෙත් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂ ඊට එකඟතාව පළ නොකළහ. අනතුරුව ජාතික ආණ්ඩුව පසෙක තබා, ජාතික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා විය.

ඒ අනුව ‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම සැප්තැම්බර් 29 වැනිදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකතුමා පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කළේය.

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී මොකද උනේ?

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

මෙම තීරණ ගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී ය.

රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද මීට එක්විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 2022.09.20 ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර බෙදීමකින් තොරව එය සම්මත විය.

ඒ අනුව දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා 2022.09.23 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජාතික සභාවේ පළමු රැස්වීමේන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයද ජාතික සභාවේ රැස්වීමට පැමිණ සිටි බවය.

මෙම සුබදායී පණිවුඩය ජාතික වශයෙනුත්, පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහාත්, ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු වීම සඳහාත් විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද ඔහු පැවසීය.

සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා ජාතික සභාව රැස්වීමට ද අද (29)පැවති රැස්වීමේදී තීරණය වී තිබේ.

ජාතික සභාවක් මොකටද?

අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ, ‘ජාතික සභාව’ පිහිටුවීමේ යෝජනාව විරෝධතාවයකින් තොරව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වන පරිදි ‘ජාතික සභාව’ පිහිටුවනු ලැබේ.

මේ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට 3ක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුන අතර එහිදී මේ සඳහා සියලු පක්ෂවල එකඟතාව ලැබිණි.

මෙම යෝජනාව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ‘ජාතික සභාවේ’ අධිකාර බලය සහ පොදු වගකීම් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ඉන් එකකි.

ආර්ථික ස්ථායීකරණයට කෙටි කාලීන එකඟතාවයන් ඇති කිරීම සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, තවත් වගකීමකි.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමද මීට පැවරේ.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ‘ජාතික සභාව’ ට හිමිවේ.

මෙහි ප්‍රධානත්වය කථානායකවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යතුමා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවක් ජාතික සභාවේ සාමාජිකයෝ වෙති.

සමගි ජනබලවේගය ඇතුලු පක්ෂ ගණනක සහභාගීත්වයක් නැහැ

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් අද පැවැත්වෙන ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කෙටි දැනුම් දීමක් මත පමණක් හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදි ගන්නා බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික සභාවට නැහැ”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පැවසීය.

ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී සැප්තැම්බර් 28 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ජාතික සභාව කියන කපටි, වංක යෝජනාවට අපේ සහාය නෑ “

“ජාතික සභාව කියන කපටි, වංක යෝජනාවට අපේ සහාය නෑ ” “ජාතික සභාව කියන කපටි, වංක යෝජනාවට අපේ සහාය නෑ ” යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ, “ජාතික සභාව” ගැන එදා විපක්ෂය කිව්ව. ඒකයි අද යෝජනා කරන එකයි. තුළ පරස්පරභාවයක් තිබෙනවා. විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කළා තමයි. නමුත් ඒ ජාතික සභාවේ ප්‍රධාන කරුණු ගණනාවක් අඩංගුයි. ඒ අනුව ගොඩනැගෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්ද? එහි පටන්ගැන්ම හා අවසානය සදහන් වුණා, හැබැයි දැන් මේ යෝජනා කරන ජාතික සභාවේ යම් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ එම ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම ගැන. මොකුත් සඳහන් නෑ.”

අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ, “ජාතික සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ යෝජනා අනුව තමයි එහි මූලික පත් කිරීම් සිදු වන්නේ. අගමැති පත් කිරීම, කැබිනට් මණ්ඩලය ඇතුළු පත්කිරීම් හා ඒ ඒ විෂය පථය මීට අදාළයි. හැබැයි මේ ඔක්කොම දැන් පත් කරල ඉවරයි. ජාතික සභාවේ මූලික හරය මේ යෝජනාව තුළ ගැබ්වී නෑ, පාර්ලිමේන්තුවට පැවරී තිබෙන මූල්‍ය වගකීම අනුව ආණ්ඩුව අය – වැය ඉදිර්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැබැයි ඒ මුදල් වියදම් කළ ආකාරය ගැන පරීක්ෂා විය යුතුයි. අඩුම තරමේ කෝප් සහ කෝපා සභාපති ධුරයන් වත් විපක්ෂයට ලබා නොදී ජාතික සභාවකට අපිට එන්නලු.”

“මේ ජාතික සභාව සම්පුර්ණ බොරුවක්” ජාතික ජනබලවේගය නායක අවධාරණය කළේය.

“අනිත් කාරණය තමයි. කෙටිකාලීන ආර්ථික අර්බුදය විසදීමේ වැඩපිළිවෙළ, එහෙම කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ටිකවත් පාර්ලිමේන්තුවට දෙන්නේ නැහැ. ඒව නොකියා අපිට කතා කරනවා ජාතික සභාවකට එන්න කියලා. ආණ්ඩුව කරන මේ යෝජනාව තුළ අවංකභාවයක් නොදී, යථාර්ථවාදයක් නෑ, අශ්වයා ගිය පසු ඉස්තාලය වහනවා වගේ දෙයක් තමයි මෙතැන තිබෙන්නේ. ඒ නිසා මේකට අපේ සහායෝගයක් ලබා දෙන්න. නැහැ. මේ තුළ කිසිම විසඳුමක් ආර්ථිකය වෙනුවෙන් ඇතිකර දී නැහැ.” අනුර කුමාර දිසානායක පැවසීය.

ජාතික සභාවක් හැදුවට වැඩක් නෑ. කෝ පොදු සැළැස්මක් ?

ජාතික සභාවට සහයෝගය නොදක්වන පාර්ශ්ව අතර ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම සහ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු උත්තර සභාගය ද වෙයි.

විමල් වීරවංශ කියා සිටියේ, “රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිතුමා වුණාම අපි ඇහුවා, ජනාධිපති වුණාම අපි ඇහුවා මොකද්ද ප්ලෑන් එක මොකද්ද සැලැස්ම අපට දෙන්න කියලා. දෙනවයි කිවුවා. මිනි බජට් එකක් ගේනවා කිවුවා. මිනි බජට් එකක්ද මොකද්ද ගෙනාවා. ප්ලෑන් එකක් නෑ.”

“මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ පීඩනයෙන් ගොඩඑන විදිය ගැන ආණ්ඩුවට තියෙන සැළසුම මොකද්ද කියලා දැනගන්න. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ දරුණු කඩා වැටීමෙන් මේ රට බේරගන්න ආණ්ඩුවට තියෙන සැළසුම මොකද්ද කියලා දැනගන්න.”

මනත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ, “සැළැස්මක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. සැළැස්මක් නැත්නම්, සැළැස්මක් නැතිව යන එදාවේල ටුවර්ස්වලට මේ අර්බුදයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේකත් එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න එපා.”

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *