මැතිවරණ ප්‍රතිසංස්කරණවලට මාස 6ක් නැත්නම් ජනමත විචාරණයක් – ජනාධිපති

මැතිවරණ ප්‍රතිසංස්කරණවලට මාස 6ක් නැත්නම් ජනමත විචාරණයක් – ජනාධිපති

  • September 11, 2022
  • No Comment
  • 48

තමා පාර්ලිමේන්තුව කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන් අනතුරුව ඔවුන්ට මාස 6ක් ඒ සඳහා ලබාදෙන බවත් එසේ නොකළොත් තමා ජනමත විචාරණයකට ගොස් රටේ තීරණය විමසන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

“මම පාර්ලිමේන්තුව එක් වරක් කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙනවා. ඊට මම ඔවුන්ට මාස 06ක් දෙනවා. එසේ නොකළොත් මම ජනමත විචාරණයකට ගොස් රටේ තීරණය විමසනවා”

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත් කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවලට මුවාවී එම කරුණු සඳහටම කල් දැමිය නොහැකි බව ද සඳහන් කර තිබේ.

අද (11) පෙරවරුවේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය හමුවූ විට ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එමෙන්ම විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදුකරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත්කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත් පොත හඳුන්වාදීමට නියමිත බවත්, ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටින් ස්ථාපිත කර ඇති බවත් පැවසීය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජනපදයේ ද සහාය අපේක්ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

බැංකු ක්ෂේත්‍රය සාපේක්ෂ දුර්වලතාවයන් සහිතව ගෙන යන අතර එහෙයින් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ක්‍රම කමිටුව, බැංකු හා මූල්‍ය පිළිබඳ කමිටුව ඇතුළත් ආර්ථික කමිටු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කාරක සභාව නිර්මාණය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ සේවාවක් ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ වික්ටර් අයිවන් මහතාගේ යෝජනාව පරිදි ජන සභා ක්‍රමය ශක්තිමත් කරමින් බිම් මට්ටමේ ජනතාවගේ අදහස් රටේ ප්‍රතිපත්ති සඳහා දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවත්, එමගින් ග්‍රාම සේවා වසම් 14,000ක ජන සභා 14,000ක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළ ද, දළදා මාළිගාවට පහරදීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රැකියා ඉලක්ක කරගත් ප්‍රායෝගික උපාධි වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ප්‍රජා විශ්වවිද්‍යාල හෝ ජාත්‍යන්තර
විශ්වවිද්‍යාලවල දායකත්වය තමන් අපේක්ෂා කරන බව නියෝජිත පිරිසට පැවසීය.

රටේ මූලික පරිපාලන ඒකක 14,000 දක්වාම දිවෙන ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහනක් නුදුරේදීම ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති හෙයින්, ගොවීන් සඳහා ඩොලර් මිලියන 40ක් ලබාදීමට පියවර ගැනීම පිළිබඳ සමන්තා පවර් මහත්මියට ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

සහල් සහ වෙනත් බෝග හා ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ නිලධාරීන්ගේ දායක්තවය අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාර්ථක මහ කන්නයේ වගාවක් වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ද පැවසීය.

මහ කන්නය අපේ රටේ ප්‍රධාන කන්නය වන හෙයින් එය සාර්ථක කර ගැනීමෙන්, අනතුරුව එළැඹෙන යල කන්නය ද සාර්ථක කර ගත හැකි බවත් ඒ අනුව 2023 සාර්ථක කෘෂි අස්වැන්නකට යොමු කර ගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ අදහස්වලට නිසි අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජනයක් ලබා දීමට සැලසුම් කර ඇති අතර‍ ඒ සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් පස් දෙනෙකුට එක් කමිටුවක් නියෝජනය කිරීමේ හැකියාව හිමි වේ.

ඔවුන්ට ප්‍රධාන වාර්තාව සම්පාදනයට ඍජුව දායක විය නොහැකි වුවත් ඒ වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි. මෙය ලෝකයේ පළමු වතාවට සිදුවන අතර ඒ සඳහා යොවුන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමත් පහසුවක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දූෂණ විරෝධි පනත සක්‍රීය කරමින් කාන්තා සාමානාත්මතාවය සහ සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්පාදනයට පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති සහ එය පිටුපස සැඟවුණු හස්තයක් තිබෙන බව සඳහන් කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහායන් සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ සහාය ලබා ගැනීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු සහ කොපමණ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරගත හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමටත්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් ප්‍රතිසංස්කරණ සැලසුම් සමාලෝචනය කඩිනම් කිරීමටත්, උතුරු සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථිකයේ සුවිශේෂි මර්මස්ථානයක් බවට පත්වන ත්‍රිකුණාමල සංවර්ධන යෝජනා ක්‍රමය සහ ඒ හා බැඳුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *