රනිල්-ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද? ජන නියමු කලාකරුවෝ ප්‍රශ්නකරති

රනිල්-ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද? ජන නියමු කලාකරුවෝ ප්‍රශ්නකරති

  • June 21, 2022
  • No Comment
  • 47

රනිල්-ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද? ජන නියමු කලාකරුවෝ ප්‍රශ්නකරති

එම මාධ්‍යහමුව සඳහා ජන නියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාස්තු විද්‍යාඥ සිතුමිණ රත්නමලල, නාට්‍යවේදී, කථිකාචාර්ය සංජීව ගුණරත්න යන කලාකරුවෝ සහභාගී වී සිටියහ.

එහිදී එම කලාකරුවන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පලවේ.

මර්දනය සහ රැවටිල්ල හැර කිසිදු විසඳුමක් මේ පාලකයන්ට නැහැ

ජන නියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කමල් පෙරේරා

“රටේ ජනතාව මත ආණ්ඩුව හෙළා තිබෙන මර්දනකාරී සහ පීඩාකාරී මරුපහරට එරෙහිව සමස්ත කලාකරුවන් වෙනුවෙන් ප්‍රකාශ කිරීමට ජන නියමු කලාකරුවෝ ඉදිරිපත් වෙනවා. මේ දවස්වල අසන්නට දකින්නට ලැබෙන සිත් සසල කරවන දර්ශන බහුලයි. ඉන්ධන සහ ගැස් පෝලිම්වල අසරණ අහිංසක ජනතාව මිය යනවා. අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල නැතිව දරුවන් සහ රෝගීන් මිය යනවා. කුසගින්න දරාගත නොහැකිව යාචකයන් වී සිටින පිරිස් අපි දක්නවා. අවශ්‍ය පොහොර නැතිව ගොවියෝ විලාප නගනවා. මුහුදු යන්න බැරිව ධීවරයෝ කන්නලව් කරනවා. තම දරුවන්ගේ කුස පුරවන්න බැරි මව්වරුන් සෝ සුසුම් හෙළනවා. අයිතිවාසිකම් ඉල්ලලා අරගල කරන්න තරුණයන් සහ ශිෂ්‍යයන් හට මර්දනය දියත් කර පැහැරගෙන යනවා. මෙවැනි පීඩාකාරී තත්වයක් තුළ රනිල්-ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද? මර්දනය සහ රැවටිල්ල හැර වෙන කිසිම විසඳුමක් මෙම පාලකයන් ජනතාවට දෙන්න සූදානම් නැහැ. “අවම බලය” කියන නියෝගය යටතේ ආරක්ෂක හමුදා සහ පොලිසිය අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන සියලුම ජන කොටස් මර්දනය කිරීමට ක්‍රියාකර තිබෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා දකින්න තියෙන්නේ මේ තත්වයයි.

තවදුරටත් අපි මර්දනය දරාගෙන සිටිය යුතුද කියලා ජනතාවගෙන් අහනවා. පීඩනය තවදුරටත් දරා නොසිට රනිල්-ගෝටා ජන පීඩක ආණ්ඩුව පළවා හැරිය යුතු බව අපි යෝජනා කරනවා. පසුගිය මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂගේ මැර කල්ලියක් ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කළ තරුණයන්ට පහරදී පලවා හැරියා. මේ දූෂිත පාලනය මේ භූමියෙන් ඉවත් කරන්න ජනතාව පෙළගැසී සිටියා. නමුත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රනිල් වික්‍රමසිංහ කියන චෞර නායකයා ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වුණා. මේ රටේ මර්දනීය නායකයන් දෙදෙනෙක් එක පිළට හිටගෙන ජනතාවට පීඩනය එල්ල කරනවා. මේ රටේ ආගමික නායකයෝ සහ සිවිල් ක්‍රියාකාරිකයෝ ඉල්ලා සිටි තාවකාලික ආණ්ඩුවක් පත්කර ගැනීම පැත්තකට දැම්මා. නමුත් සියලුම ජන නායකයෝ සහ ආගමික නායකයන් කළ ඒ ඉල්ලීම පැත්තකට දමා මැතිවරණය සම්පූර්ණයෙන්ම ආපස්සට දාලා. ජාතික සම්පත් සියල්ල ජාවාරම්කාර පිටරැටියන්ට විකුණමින් පාලනය ගෙනයනවා. ජනතාවගේ පීඩාව හඳුනන ඔවුන් සමග මහපොළොවේ සිටගෙන ඉන්න කලාකරුවෝ හැටියට අපි විශේෂ යෝජනාවක් කරනවා. මහජනතාව තනි තනිව පෝලිම්වල විරෝධතාව පානවා වෙනුවට සංවිධානාත්මකව පොදු විසඳුම් සොයන්න ඕනෑ. පෞද්ගලිකව විසඳුම් සොයන්න ගියොත් මර්දනය දියත් කරන්න ආණ්ඩුවට විශාල අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා සංවිධානය වීම හැර අපේ රටේ දැවෙන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙලා තිබෙන්නේ මර්දනකාරී ආණ්ඩුවට. ඒ අවස්ථාව අපි ඔවුන්ට නොදිය යුතුයි.

එකාවන්ව එකතු වෙලා මහා මැතිවරණයක් ලබාගැනීමේ අරමුණින් පෙළගැසිය යුතුයි. ජනතාව පෙළන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැක්කේ පොදු ජනතාවගේ පාලනයක් තුළින් පමණයි. අපි විශ්වාස කරන්නෙත් අපි පෙනී සිටින්නෙත් ඒ වෙනුවෙන්. මේ මර්දනය සහ පීඩනය හෙළා දකිනවා වගේම රටේ සියලු ප්‍රගතිශීලී ජන කොටස් සමග එකතු වෙලා ජන බලයක් ගොඩනඟා මේ ප්‍රශ්නයට විසඳුම් සොයමු කියලා ඉල්ලා සිටිනවා.”

අරගලය තියෙන්නේ ජනතාවගේ හදවතේ
ජන නියමු කලාකරුවෝ සංවිධානය – නාට්‍යවේදී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක

“මේ මොහොතේ කලාකරුවෝ පවා අත්අඩංගුවට ගැනීමට රනිල් සහ ගෝටාගේ ආණ්ඩුව ක්‍රියාකරමින් ඉන්නවා. අරගලය තියෙන්නේ ගෝල්ෆේස් පිට්ටනියේ විතරයි කියලා ඔවුන් හිතනවා නම්, බරපතළ වරද්දා ගැනීමක්. මේ වන විට අරගලය පවතින්නේ ජනතාවගේ හදවතේ. ජනතාවගේ මුළු ශරීරයේම. ලංකාව හැම පැත්තෙන්ම කඩා වැටිලා තියෙන්නේ. විශේෂයෙන් අධ්‍යාපනය ගත්තොත් පසුගිය අවුරුදු තුනටම පාසල් පවත්වා තිබෙන්නේ මාස තුනක වගේ කාලයක්. ඒ තරමට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාකප්පල් වෙලා තිබෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඉතාම බරපතළ අනතුරක තිබෙන්නේ. ගෝඨාභය – රනිල්ගේ ආණ්ඩුව ගෝඨාගෝගම මර්දනය කිරීමෙන් අරගලය නවත්වන්න හිතනවා නම්, එය කවදාවත් කරන්න බැහැ. පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා සෑම තැනකම මිනිස්සු ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන්. අපිට අහන්නට ලැබෙන්නේ ඉතාම ශෝකීජනක සිදුවීම්. තම දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව අම්මලා ඒ දරුවන්ව ගඟට දානවා. මේ තරම් පීඩාවට පත්වුණු ජනතාවක් ඉන්නේ. ඔවුන් ඉල්ලා සිටින දෙයක් තිබෙනවා. ගෝටා ගෝ හෝම් කියන්නේත් රනිල් ගෝ හෝම් කියන්නේත් ඒ ඉල්ලීමයි. ඒ විතරක් නොවෙයි සියලු මැර කණ්ඩායම්, හොර කණ්ඩායම් ගෙදර යැවීමෙන් තොරව මේ විනාශකාරී ක්‍රමය නතර කරන්න බැහැ.

ජනතාව තේරුම්ගත යුත්තේ පෝලිම්වල දිගු කාලයක් ඔවුන්ව රැඳවීමෙන් ඇතිවන මානසික ආතතිය මත ඔවුනොවුන් සමග ගැටීම් ඇතිකර ගැනීමට ආණ්ඩුව සලස්වා ඇති බවයි. මේ දක්වා පවතින අරගලය ඉතාම සාමකාමීව කරගෙන යනවා. ගෝටාගෝගම හෝ වෙනත් එවැනි අරගලවලදී මිනිස්සු ගල් කැටයක්වත් අතින් අරගෙන නැහැ. ඔවුන්ට විරුද්ධව ඉතා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ගෝටාගේ සහ රනිල්ගේ පොලිසිය දක්වමින් ඉන්නවා. තෙල් පෝලිමේ ජනතාවගේ පපුවට පිස්තෝලය තියලා නිහඬ කරන්න උත්සාහ කරනවා. ගෝටාගෝගමදී සමහර තරුණයන් අත්අඩංගුවට ගැනීමේ පොලිසියේ හැසිරීම අපි දැක්කා. ඉතාම මර්දනකාරී, ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් ඒ දේවල් කළේ. මේවා නිසා අරගලය දවසින් දවස ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් ගෙදර යන්න කියලයි අපි කියන්නේ. ජනතාවට තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න අවකාශය සකස් කර දෙන්න කියලයි අපි කියන්නේ. එසේ නොකර මේ තත්වය නවත්වන්න මර්දනය ගෙනත් වැඩක් නැහැ. ඒ නිසා ගෝටාභය – රනිල් වහාම ගෙදර ගිහින් මහා මැතිවරණයක් පැවැත්වීමට අවකාශයක් ලබාදෙන්න කියලා බලකරනවා. ජනතාවගේ ඉවසීමේ සීමාවක් එනවා. ඒ සීමාව වටහා නොගත්තොත් රනිල්-ගෝටා හොර මැර නඩයම වරද්දා ගත්තා වෙනවා.”

නම්බු පිටින් බැහැලා යන පාලකයෝ නැහැ – පව් නොදී බැහැලා යන්න
ජන නියමු කලාකරුවෝ සංවිධානය – සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ

“සෞභාග්‍යය උදාකරන්න ආව ආණ්ඩුව අද සමස්ත ජනතාවට දුර්භාග්‍යය උදාකරලා තිබෙන්නේ. ඒ ප්‍රමාණය වචනයෙන් විග්‍රහ කරන්න බැහැ. ආණ්ඩු ගණනාවක් රට අන්තිමටම බංකොලොත් වෙන තැනටම රටේ සම්පත් මංකොල්ලකෑවා. පාලකයන්ගේ සමීපතමයන්ට බදු සහන දීලා ජනතාවගේ ජීවන බර දවසින් දවස වැඩි කළා. ගොවි ජනතාව, ධීවර ජනතාව, ඔවුන්ගේ ආදායම් මාර්ගවලින් විතැන් කළා. සමස්ත ජනතාවගේම ජීවිත දවසින් දවස දුෂ්කර කරලා මේ රටම විශාලා මහනුවරක් බවට පත්කරලා තිබෙන්නේ. එහි ස්වරූපය විතරයි වෙනස්. විශාලා මහනුවර අන්තිමටම හිටියේ අමනුෂ්‍යයන්. මෙතන ආරම්භයේදීම සිටියේ පාස්කු ප්‍රහාරයේ ඉතා නින්දිත අමනුෂ්‍යයන්. ඔවුන් තමයි රට පාලනය කරන්නේ. මිනිස්සු පාලනය කරන රටක් නම්, මෙහෙම වෙන්න බැහැ. මේ රට දුර්භික්ෂයෙන් පමණක් නොවෙයි, සිදුවිය හැකි සියලුම ව්‍යසනයන් සිදු කර ඉවරයි.

මේ පාලකයන්ට කිසිම වගක් නැහැ. ඔවුන්ට සමෘද්ධිය, සෞභාග්‍යය තිබෙනවා. මේ දක්වා තමන්ගේ පසමිතුරා හැටියට පෙන්වාගෙන සිටි රනිල් වික්‍රමසිංහව ගෙනත් අගමැති ධුරය දුන්නා. පස්වතාවක් අසමත් වුණු කෙනෙක් නැවත අගමැති ධුරයේ තබා තමන්ගේ හොර මැරකම් වසාගනිමින් ඉන්නවා. මේ අර්බුදයෙන් ගොඩඑන්න රටට කිසිදු ප්‍රතිපත්තිමය මඟක්, සැලසුමක් ඉදිරිපත් කර නැහැ. පීඩනය තව තවත් උත්සන්න කර, ජනතාව මර්දනය කිරීමෙන් ඉදිරියට යන්නයි ඔවුන් බලන්නේ. ආණ්ඩුවක් පවත්වාගෙන යන්න නම් රටේ ජනතාවගේ විශ්වාසය තිබිය යුතුයි. අද ලෝකයේ කවර රටක්වත් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. අමනෝඥ තීරණ ගන්න ආණ්ඩුවට ලෝකයේ කිසිම රටක් ආධාර කරයි කියලා හිතන්න බැහැ. සාමකාමී උද්ඝෝෂණවල එකම බල කිරීම රනිල්-ගෝටා ආණ්ඩුව වහාම ඉවත් වෙන්න කියලයි. ලෝකය ඉල්ලා සිටින්නේ වහාම දේශපාලන ස්ථාවරත්වය හදාගන්න කියලයි. රාජ්‍ය නායකයන්, ලෝකයේ මූල්‍ය ආයතන සහ සංවිධාන කිසිවක් මේ ආණ්ඩුව පවතින තාක්කල් රට ගැන විශ්වාසය තබන්නේ නැහැ. විදේශගත ජනතාව ඩොලර් එවන්නේ නැති තැනට පත්ව ඉන්නවා. ඒ නිසා අපට එදා වේල ලැබෙන්නේ නැහැ. තවදුරටත් මේ රට අමුසොහොනක් නොකර බැහැලා යන්න. ඉස්සර අපේ කියමනක් තිබුණා, ‘නම්බුපිටින් බැහැලා යන්න’ කියලා. නම්බුපිටින් බැහැලා යන පාලකයෝ අද අපිට නැහැ. ඒ නිසා ‘පව්නොදී බැහැලා යන්න’ කියලයි අපිට කියන්න ඉතුරුවෙලා තිබෙන්නේ. සියලු ජනතාව එක හඬින් කියන්නේ “පලයව්” කියලයි. මහා මැතිවරණයකට යන්න සුදුසු අන්තර්වාර පාලනයකට බලය පවරලා ඉවත් වෙන්න කියලා ජන නියමු කලාකරුවෝ ආණ්ඩුවට බල කරනවා.”

කිසිදු ආකාරයකට ප්‍රචණ්ඩ නොවූ අයට පිස්තෝල එල්ල කළා
ජන නියමු කලාකරුවෝ සංවිධානය – මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාස්තු විද්‍යාඥ සිතුමිණ රත්නමලල

“ජනතාව විදිහට ඉතාමත් සැලකිල්ලෙන් මුහුණ දිය යුතු තත්වයකට රට පත්වෙලා තියෙනවා. අපේ ඇහැට පේන අතිශය දරුණු ආර්ථික ප්‍රශ්නයක ඉන්නවා. ඒ තුළින් පැන නැගුණු ප්‍රශ්න රැසකට මුළු රටේම ජනතාව පත්වී සිටිනවා. අපේ ආදායම් ලැබීමේ භේදයකින් තොරව සියලු දෙනාටම මේ ප්‍රශ්නවලින් වේදනාවට පත්වී සිටිනවා. අපේ දරුවන්ට නිසිලෙස ආහාර වේල ලබාදෙන්න බැරිවී තිබෙනවා. එයින් ඇතිවුණු ආවේගයන් යම් යම් තැන්වලින් පිටවෙනවා. ජනතාවගේ ඒ ප්‍රතිචාරවලට ආණ්ඩුව මුහුණ දෙන ආකාරය ඉතාම භයානකයි. ආර්ථික අර්බුදය පිටුපස්සේ විශාල දේශපාලන අර්බුදයක් සහ මේ ක්‍රමයේ අර්බුදයක් තිබෙනවා. ක්‍රමයේ අර්බුදයට විසඳුම් ඉල්ලා ගෝල්ෆේස් පිටියේ විරෝධතා පැවැත්වෙනවා. නමුත් අපිට ලැබෙන ආවේගයන් එක්ක තනි තනි පුද්ගල විරෝධතාවලට ගියොත් ආණ්ඩුව දැඩි මර්දනයක් දියත් කරනවා. කුරුණෑගල, මාස්පොතදී කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ හැසිරීමක් නොදැක්වූ, පොලිස් නිලධාරීන්ට “සර්” කියලා ආමන්ත්‍රණය කළ අයට පිස්තෝලය එල්ල කර, බෙල්ලෙන් ඇදගෙන ගියා. මිනිසුන්ට නොසැලකිය යුතු මට්ටමේ සියලු මානව ධර්මතා නොසලකා ඇදගෙන ගොස් බස්වලට පටවන ආකාරය අපි දැක්කා.

මේ තත්වය තනි තනි පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයක් නොවෙයි. ආණ්ඩුව සැලසුම් සහගතව දියත් කර තිබෙන්නක්. රඹුක්කනදී මිනී මැරුවේ මේ තත්වය නිසයි. දේශපාලන තන්ත්‍රය මෙහෙයවන මූලිකයෝ මිනී මරලා පුරුදු නැති අය නොවෙයි. ඒ නිසා තනි තනි විරෝධතා නොකළ යුතුයි. තනි තනි විරෝධතා කියන්නේ අරගලයක් නොවෙයි. අරගලයක් කරන්න නම්, සංවිධානය විය යුතුයි. පෝලිමේ තෙල් නොලැබුණාට තනියෙන් විරෝධය දක්වන්න එපා. මේ පත්වෙලා තිබෙන තත්වයෙන් ගොඩඑන්න නම්, සමස්ත ක්‍රමවේදයේම පරිවර්තනයක් සිදුකරන්න ඕනෑ. ඉතා සුළු ප්‍රමාණයක දේශපාලන ප්‍රභූ තන්ත්‍රයක් සහ ඔවුන්ට ආවඩන බදු හොරු සහ කොමිස් ගහන පිරිසක් රට මේ තත්වයට පත් කළා. එහි මූලිකයෝම දෙන්නා ගෝටාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහයි. මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනෑ. ඒ වෙනුවෙන් පාලකයන් විතරක් නොවෙයි අපිත් වෙනස් වෙන්න ඕනෑ. නමුත් මේ විනාශයේ මූලිකයෝම දෙන්නා ඉවත් විය යුතුයි.

මෙපමණ කල් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය යටතේ තවදුරටත් ගෙනියන්න බැහැ. මේ ක්‍රමය තුළම පිළියම් සොයනවා කියන්නේ බරපතළ ව්‍යාජයක්. ඒකට අහුවෙන්න එපා. ආර්ථික ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතිවලට ඩොලර් මිලියන ගණන් යොදවා ඔවුන්ගේ සුඛ විහරණය සලසා ගත්තා. ඒ දේශපාලන තන්ත්‍රය කියන්නේ රාජපක්ෂලා සහ රනිල්ලා විතරක් නොවෙයි. ඔවුන්ගේ පවුල් මේ සමස්තයේම ඉඳිමින් තවදුරටත් වරදාන වරප්‍රසාද ලබනවා. ඔවුන්ගේ අධි පරිභෝජනය නිසා අපේ රටේ උපදින දරුවන්ගෙන් 40%ක් මන්දපෝෂණයට ගොදුරු වෙලා. මේ රටේ ජනතාවගෙන් 95%කට වඩා අඩු ප්‍රමාණයක් ලෝකයේ සාමාන්‍ය පරිභෝජන මට්ටමට වඩා අඩු තැනක ඉන්නේ. මේ රටේ 5%කට වඩා අඩු ප්‍රමාණයක් රටේ අධි පරිභෝජනයක යෙදී ඉන්නවා. එක ගෙදරක වාහන දෙකක් තිබෙන ගෙවල් කොපමණ තිබෙනවාද? අනික් පැත්තෙන් දවසකට තුන්වේල කන පවුල් තිබෙන්නේ කීයද? ලෝකයට සාපේක්ෂව මේ රටේ මිනිස්සු අව පරිභෝජනයක ඉන්නේ. මේ නිසා මිනිසුන්ගේ පරිභෝජනය අඩුකර ගන්න කියලා කියන්න ලැහැස්ති වෙන්න එපා කියලා පාලන තන්ත්‍රයට කියනවා. අපි අපි එකතු වෙලා ස්වයං පාලන ක්‍රමයක් හදාගත යුතුයි. ආර්ථික අර්බුදයෙන් ගොඩයන තෙක් යම් ආකාරයකට අපිම සීමාවන් පනවා ගත යුතුයි. ගෝටා-රනිල්ට ඒ සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැහැ. රටක් රිම් එකට වැටුණාට පස්සේ රිම් එක හරි කරකවා ගන්න හැකිවෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාකයින්ටයි. මේ රටට ඩොලර් ගේන්නේ ඔවුනුයි. ඔවුන් රැක ගැනීම ගැන කිසිම අවධානයක් පාලකයන්ට නැහැ.

මේ නිසා මේ පාලනය පලවා හරින්න ඕනෑ. ගෝටා – රනිල් හොර හවුල මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බල කණු දෙකයි. ඉන් පස්සේ ඔවුන්ගේ පවුල් යාන්ත්‍රණය සහ ගජ මිතුරු යාන්ත්‍රණය ඉවත දැමීම සඳහා අන්තර්වාර පාලනයක් ගොඩනඟලා ජනතාව විසින් ගොඩනඟා ගන්නා පාලනයකට ඉඩ ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් මහා මැතිවරණයකට යාම හැර වෙන විකල්පයක් අපට නැහැ. අපට ආර්ථිකය ගොඩනැගීමේ සැලසුම් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවා. ඒ නිසා අපට අපේ රට හදාගන්න ඉඩදීලා බැහැලා යන්න.”

අපි ගෝටාභය රාජපක්ෂට ගෙදර ඉන්න කීවේ පසුගිය ජනාධිපතිවරණයේදීයි
ජන නියමු කලාකරුවෝ සංවිධානය – නාට්‍යවේදී, කථිකාචාර්ය සංජීව ගුණරත්න

“ජන නියමු කලාකරුවෝ සංවිධානයේ අපි, ගෝටාභය රාජපක්ෂට ගෙදර ඉන්න කියලා කීවේ පසුගිය ජනාධිපතිවරණයට කලින් ඉඳලා. ඔහුට ඇවිත් කරන්න පුළුවන් මේ දේ තමයි කියලා අපි දැක්කා. අද වෙද්දී ෆේල්වෙලා ඉන්න ගෝටාභය රාජපක්ෂ එක කාරණයකදී සමත් වුණා. ඔහු සමත් වුණේ පවතින දේශපාලන සංස්කෘතිය තවදුරටත් වංලගු නැහැ කියලා ඔප්පු කරන්නයි. ගෝටාභය ප්‍රමුඛ පිරිස සමත් වුණු එකම කාරණය මේකයි. ඔවුන් වටා හැමදාමත් හිටිය පිරිස සහ මෙතෙක් පැවැති දේශපාලන ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නිසා රට මේ තැනට වැට්ටුවා. ඒ හැර ලෝක ආර්ථික අර්බුදය නිසා රට මේ තත්වයට වැටුණා නොවෙයි. සැලැස්මක් නැතිකම, දේශපාලන නොහැකියාව, වගේම තමන් වටේ ඉන්න පිරිස නඩත්තු කරමින් ආර්ථික වාසි සලසාදීම නිසා මේ තත්වයට පත්වුණා. විශාල මූල්‍යමය මංකොල්ලකෑම් වගේම විශාල බදු වංචා සිදුකළා. ඒ නිසයි අද වන විට රට ඇතුළේ තිබුණු රුපියල් ටිකවත් නැත්තේ. ඩොලර් නැතිකම ඊට පස්සේ එන්නේ.

මේ රටේ ජනතාව විදිහට මේ තත්වය තවදුරටත් ගෙනියන්න අපි ඉඩ දෙනවාද? විවිධ පුද්ගලයන් පෙන්වමින් මේ තත්වය තවදුරටත් ගෙනියන්න ගෝටාභය – රනිල් උත්සාහ කරනවා. අරගලය පටන්ගෙන මාස දෙකකට වැඩියි. මේ කාලය තුළ රට ගොඩනැගිය හැක්කේ කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඔවුන් සමත්වී තිබෙනවාද? ඔවුන් තවදුරටත් ඔප්පු කර තිබෙන්නේ නොහැකියාව විතරයි. මේ තත්වයට හැඩගැසෙමින් කුණු වෙමින් අපි තවදුරටත් හිටියොත් වෙන්නේ අපි විසින් අපවම විනාශ කර ගැනීමයි. එක් වෘත්තියක්, එක් කණ්ඩායමක් විතරක් නොවෙයි රටේ සියලු දෙනාටම පොදුවේ ප්‍රශ්න රැසක් බලපා තිබෙනවා. රනිල්-ගෝටා තවදුරටත් එක දවසක් බලයේ ඉන්නවා කියන්නේ අපි අපේ ජීවිත නාස්තිකර ගැනීමයි. තෙල්, ගෑස්, විදුලිය තවදුරටත් තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන මේ ක්‍රමයට හැඩගැහෙනවා වෙනුවට, විනෝදයක් කරගන්නවා වෙනුවට මෙතන පොදු ප්‍රශ්නයක් තිබෙන බව අවබෝධ කරගත යුතුයි. ඒ අනුව පොදු සටනකට එකතු විය යුතුයි. තවදුරටත් එළියට ආවේ නැති අති බහුතරයක් දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දැන් එළියට එන්න කියලයි. සියලු දෙනා එකතු වුණොත් මොවුන් ඉතා ඉක්මනින් එළියට ඇදලා දාන්න පුළුවන්. අද තවදුරටත් “යන්න” කියලා කියන්නේ නැහැ. “දැන් හොඳටෝම ඇති, දැන් පලයල්ලා” කියලයි කියන්නේ.

අපි කුමන ක්ෂේත්‍රයක හිටියත් අපි හැමෝටම වගකීමක් තිබෙනවා. ගුරුවරයාගේ කාර්යය උගන්වන එක. ගොවියාගේ කාර්යය වගාකරන එක. මේ කිසිකෙනෙකුට තම තමන්ගේ කාර්යය කරන්න බැරිව තෙල් පෝලිම්වල ඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ රට වැටෙනවා. අපිට කල් මරන්න කාලයක් ඉතිරි වෙලා නැහැ. හැකි කෙනා කොහොම හරි රැකෙද්දි නැති බැරි කෙනා මැරී වැටෙනවා බලා ඉන්න බැහැ. ෆේල් වුණු ගෝටාභයට ගොඩයන්න තවත් කිසිම අවස්ථාවක් නැහැ. රනිල් පත්කිරීමෙන් ඔහුට පාස් වෙන්න කිසිම අවස්ථාවක් නැති බව ගෝඨාභය නැවතත් ඔප්පු කර ඉවරයි. ඔවුන්ගෙන් ඇමතිකම් අරගන්න ඇමතිලා එක්ක එකතු වෙලා නිලධාරීන් වෙන්න බලා ඉන්න අයට ජනතාවට තවදුරටත් වංචා කරන්න එපා කියලා ඉල්ලනවා. කරුණාකරලා මේ රටේ මිනිස්සු ගැන හිතලා නිලතල ගැන තණ්හාව නවත්වන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ පාලකයන් ගෙදර යවලා ජනතාවට නායකත්වය දෙන්න පුළුවන් පිරිසකට රට භාරදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ජන නියමු කලාකරුවෝ විදිහට අපිට හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා. සියලු දෙනාට හොඳින් ජීවත් විය හැකි රටක් ගොඩනඟන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කළ හැකි පිරිසක් අප සමග සිටිනවා. ඒ පිරිස බලයට පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි. ඒ සඳහා මැතිවරණයක් පවත්වන තෙක් අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ ලබාදිය යුතුයි. ජනතාව විසින් පත්කර ගන්නා නායකයින් මේ රට ගෙන යායුතු තැන ජනතාවත් එක්ක එකතු වෙලා තීරණය කරයි. ඊට ඉඩදීලා ගෝටාභය-රනිල් ගෙදර යා යුතුයි.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *