ක්‍රෙඩිට් කාඩ් සහ වැඩිවන පොලිය

ක්‍රෙඩිට් කාඩ් සහ වැඩිවන පොලිය

  • August 28, 2022
  • No Comment
  • 39

ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික පීඩනය රටේ පැවැත්ම පමණක් නොව ජනතාවගේ එදිනෙදා කටයුතුද අවහිර කර තිබේ. විශාල පිරිසක් ණය කාඩ්පත්, තාවකාලික අයිරාවලින් වියදම් ආවරණය කර ගනිති. ඔවුන් වෙත පනවන පොලි ප‍්‍රතිශත වැඩිකර ඇති අතර වාණිජ බැංකු පනවන අධික පොලී අනුපාත අනුමත කරන්නට ශ‍්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. අලුත් නිවේදනය අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලදී අය කරන වාර්ෂික පොලිය සියයට තිස් හයකි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වී ඇති වකවානුවක ණයවර කාඩ්පත්වලටද අධික පොලියක් නියම කිරීම ගැටලුවකි. 

වසර පහක පමණ කාලයක සිට මුදල් පරිහරණය අවම කරන අදහසක් මහ බැංකුව ක‍්‍රියාවට නංවයි. එදිනෙදා ගනුදෙනුවලදී කාඩ්පත් භාවිත කරන සේ උපදෙස් නිකුත් කර තිබේ. තම ගිණුමේ ඇති මුදල් ප‍්‍රමාණය දක්වා පරිහරණය කළ හැකි කාඩ්පත් විශේෂයක් ඇති අතර ණය කාඩ්පත් අනුව බැංකුව අනුමත කරන මුදල් ප‍්‍රමාණයක් දක්වා ණය පදනමකින් මිලදී ගැනීම් කළ හැකිය. මෙකී ණය කාඩ්පත්වල ගනුදෙනු කොන්දේසි අනුව සම්පූර්ණයෙන්  පියැවිය යුතුය. නොගෙවන සෑම රුපියලක් පාසා අතිරේක දඩ මුදලක් හා වාර්ෂික පොලියක් අය කෙරේ.

• මුදල් හුවමාරු නැති සමාජයක ඉරණම

මහ බැංකුවේ යෝජනාවකට අනුව මුදල් භාවිතය අවම කරන පියවරකට අවතීර්ණ වී ඇත. ඉදිරියේදී මුදල් පරිහරණය අවම විය හැකිය. මුදල් ගෙවීම වෙනුවට කාඩ්පත් බහුල වේ. එය ආරක්ෂාවට සුදුසු පියවරකි. අනෙක මුදල් මුද්‍රණය සඳහා වැයකරන අධික මුදල ඉතිරි කරගත හැකිය. භාවිතය එක පැත්තකින් දිරි ගන්වන අතර අනෙක් පැත්තෙන් මුදල් වෙනුවට කාඩ්පත්වලින් හෝ අන්තර් ජාලයෙන් කරන ගනුදෙනු සම්බන්ධව පහසුව ඇති කළ යුතුය. අද පවතින සංකීර්ණ වාණිජ මුහුණුවර අනුව බැංකු හෝ මුල්‍ය ආයතනවල හැසිරීම කණගාටුදායකය. කාඩ් පත් සඳහා සම්බන්ධතා ගාස්තුවක් තිබේ. අන්තර් ජාල ගනුදෙනු කරන පහසුකම ලබාගතහොත් තවත් ගාස්තු අය කිරීමකි. ගිණුම පවත්වාගෙන යෑම සඳහා අවම ශේෂයක් නියම කරන බැංකු අඩුම තරමින් කාඩ්පත භාවිත කිරීමේදී ටෙලර් යන්ත‍්‍රවලින් අය කරන ගාස්තුව හෝ ඉවත් නොකරන්නේ ඇයි?

අන්තර්ජාල ගනුදෙනු ජන ජීවිතයේ පහසුව ඇති කරයි. විදුලිය, ටෙලිකොම්, ජල බිල්පත් ගෙවන්නට ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කළ හැක. අඩුම තරමින් බිල්පත් නිකුත් කිරීමට පවා නොහැකි තරමට දුෂ්කර වී ඇති කාලවකවානුවක ක්‍රෙඩිට් කාඩ්වලට විශේෂ අවස්ථා ඇති කළ යුතුය. පාරිභෝගිකයන් අදාල ආයතනවලට නොපැමිණ නිවසේ සිට බිල් ගෙවන්නට හුරු වෙති. එහෙත් අද පවතින පසුබිම අනුව මෙවැනි මුදල් හුවමාරුවකට පහසුව ඇති කාඩ්වලට අධික ගාස්තු අය කරන අතර නියමිත දිනට නොගෙවීම මත ඉසිලිය නොහැකි පොලියක් අය කරයි. මහ බැංකුව ජනතාව මුහුණ දෙන මෙම පීඩනය ගැන නොසලකන්නේ මන්ද?

• හත් අවුරුද්දකට කලින් වූ පොරොන්දුවක්

ආර්ථික අර්බුදයක තරම පිළිගන්නා මහ බැංකුව ගනුදෙනුකරුවන්ට සහන සපයන ලෙස සිය වාණිජ බැංකු පද්ධතියට උපදෙස් නිකුත් කර ඇත. එම නියමය අනුව ආර්ථික ගැටලු මත ණය හෝ පොලීය ගෙවා ගත නොහැකි ණයකරුවන්ට සහන දෙන වැඩ පිළිවෙළක් යෝජනා කර තිබේ. බැංකුවලින් ලබාගත් ණය නිසි පරිදි ගෙවාගත නොහැකි ව්‍යවසායකයෝ දස දහස් ගණනකි. එය කොවිඩ්-19 වසංගතයෙන් ඇති කරන ලද අතුරු ප‍්‍රතිඵලයකි. ආර්ථිකය බලවත් දුෂ්කර තැනකට පත්ව ඇති අතර ජනී ජනයා පමණක් නොව ව්‍යාපාර පවා සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ පා සිටී. ඇතැම් ආයතනවලට සිය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි වී තිබේ.

ව්‍යවසායවලට සහන දෙන ආණ්ඩුව මැදි ආදායමක් සහිත ජන කොටස් භාවිත කරන ණයපත් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. 2015 ජනාධිපතිවරණය සමයේ දින සියයකින් ඉටුකරන වැඩ සියයක් ගැන රට තුළ මහත් උනන්දුවක් පැවැතිණි. එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ඉදිරිපත් කරන ලද කරුණු සියය අතරින් විසි හත්වැනි කාරණය බවට පත්ව තිබුණේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ එකකි. පිරමීඩ, ක්‍රෙඩිට් කාඩ් හෝ ෆිනෑන්ස් සමාගම්වල නොයෙක් පොරොන්දුවලින් අපහසුවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට සහනයක් දෙන බව එහි සඳහන් විය. බලයට පත් වූ පසු එකී පොරොන්දුව ඉෂ්ඨ කළේ නැත. ක්‍රෙඩිට් කාඩ් ණයවලින් බ්ලැක් ලිස්ට් වී සිටි දහස් ගණනක් අසරණ භාවයට පත්වූහ.

දැන් පවතින තත්ත්වය එයටත් වඩා සංකීර්ණය. වැඩ කරන ජනතාවගේ ආදායම අහිමි වී තිබේ. අතිකාල දීමනා කපා හැර ඇති අතර නිසි පරිදි වැටුප හෝ ලැබෙන්නේ නැති අවස්ථා ඇත. පොදු අපේක්ෂක සංකල්පය ඉදිරියට ගෙනැවිත් යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන සංකල්පය ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂයට නැවත විධායක බලය හිමි වී තිබේ. වසර හතකට කලින් කරන ලද සඳහන ගැන නැවත සිතා බැලීම උචිතය.

• ජනතාව මුහුණ පා ඇති බරපතළ ඉරණම

මහ බැංකුව හෝ ආණ්ඩුව ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ඉරණම ගැන ගැඹුරින් අවධානයක් යොමුකර නැත. 2018 ඔක්තෝබර් මාසය වනවිට මෙරට කාඩ්පත් හිමියන් නොගෙවා තිබුණ ණය ප‍්‍රමාණය රු. බිලියන 101.3 ක් බව අනාවරණය වෙයි. 2022 මාර්තු මාසය වනවිට එය රුපියල් බිලියන 138.8 ක් දක්වා වැඩි වී තිබේ. මාර්තු දක්වා වසරේ මුල් කාර්තුවේදී වැඩි වී ඇති ණය ප‍්‍රමාණය බිලියන 5.5 කි. ගෙවී යන මෙම වසරේ තත්ත්වය ඉතාම නරක තැනක බව උපකල්පනය කළ හැකිය. වසර හතරක් තුළ මෙරට පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ් මගින් ණය වී ඇති තරම හිතා ගැනීම අපහසු නැත.

ණය ගෙවා ගත නොහැකි වූ පිරිස ගෙවන පොලිය සැලකිය යුතු මුදලකි. සියයට තිස් හයක වාර්ෂික පොලිය සම්පූර්ණ මුදලෙන් තුනෙන් එකකි. අවුරුදු තුනක් ණය නොගෙවා සිටියහොත් මෙම ක්‍රෙඩිට් කාඩ් ණය ප‍්‍රමාණය දෙගුණවීම වැළැක්විය නොහැක. සාමාන්‍යයෙන් එපමණ කල් ගත නොවේ. නොගෙවන මාසයක් පාසා මාසයකට රු. 2,600 බැගින් දඩ මුදලක්ද එයට එකතු වේ. මෙම ණය ගැතිභාවය මෙරට පරිභෝජනය අවහිර කරන බව පෙන්වා දිය යුතුය. එය නිෂ්පාදන හා සේවා අංශ පිරිහීමකටද වක‍්‍රව බලපාන හේතුවකි.

2015 වසරේදී මෙරට විසි දෙනකුගෙන් එක් අයකු ක්‍රෙඩිට් කාඩ් ණයපත් භාවිතා කරන බව වාර්තා වී තිබුණි. දැනට රට පුරා සංසරණය වන ක්‍රෙඩ්ට් කාඩ් ප‍්‍රමාණය ලක්ෂ 16 ඉක්මවා ඇති බව දැක්වෙයි. මෑත භාගය වනවිට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළ කරුණක් වූයේ ලෝකයේ යම් ස්ථරයක් මෙම ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවල අත්අඩංගුවට පත්ව ඇති බවය. තමන්ට උපයන්නට නොහැකි තරමට වියදම් කරන අතර කරන ලද වියදම ගෙවාගත නොහැකි පිරිසක් බිහිවී තිබේ. එයට අනුව ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන සියදෙනකුගෙන් හැට දෙනකු තමන්ගේ මාසික බිල්පත සම්පූර්ණයෙන්ම ගෙවා දමයි. නොගෙවන සියයට හතළිහෙන් සියයට පහළොවක් කලාතුරකින් සම්පූර්ණ බිල ගෙවන නමුත් ඉතිරි ප‍්‍රතිශතයක් කිසිසේත් තමන්ගේ මාසික බිල නිසි ආකාරයට ගෙවන්නේ නැත. මෙම දත්ත අදට ගණන් බැලීම වගකිව යුතු අංශවල යුතුකමකි. ජීවන වියදම ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති රටක මැදි ආදායම් ලබන ජන කොටස ණය උගුලෙන් ගලවා ගැනීමට පියවර ගත යුතුය.

 සාරා කන්දෙගොඩ

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *