හාල් පරිප්පු වගේම පොතපතත් අත්‍යවශ්‍යයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති
- May 29, 2022
- No Comment
- 52
අටවක පුත්තු නවකතාවට 2008 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත් ලියනගේ අමරකීර්ති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. ඔහුගේ කුරුළු හදවත නවකතාව 2014 දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගත් අතර අහම්බකාරක නවකතාවට 2016දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය. නවකතාවට අමතරව කෙටිකතාකරණයේද කැපී පෙනෙන අමරකීර්ති පරිවර්තන හා ශාස්ත්‍රීය කෘති රාශියක කතුවරයෙකි.
නිර්මාණ කෘතිවලින් සම්මාන රාශියක් හිමිකරගත් ඔබ පසුගිය කාලයේ ශාස්ත්‍රීය කාති පර්වර්තනයට කාලය යෙදවූ බව පේනවා. ඒවට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?
ශාස්ත්‍රීය කෘති දෙකක් පරිවර්තනය කළා. මහාචාර්ය චාල්ස් හැලිසිගේ ”ඉතිහාසයක් තුළ සාහිත්‍යය” කෘතියට රාජ්‍ය සම්මානය ලැබුණා. ඒකෙ මුද්‍රණ දෙකකුත් ආවා. දෙවරක් පළවුණේ සම්මාන ලැබෙන්නත් පෙර. ඒ පොතට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ බව ඉන් පේනවා. ඉන්පස්සේ පරිවර්තනය කළ ”පිදුරු බල්ලෝ” කියන දර්ශනය පිළිබඳ පොතටත් හොඳ ප්‍රතිචාර තිබුණා. රළ නඟන මිනිස්සු කියන ප්‍රකට නාට්‍යයත් පරිවර්තනය කළා. ඒකටත් රාජ්‍ය සම්මාන ලැබුණා. මේ සියල්ල විදර්ශන ප්‍රකාශන.
ශාස්ත්‍රීය කෘතිවලට කාලය යෙදවීම නිසා නවකතා හෝ කෙටිකතා රචනයට ඉඩ ඇහිරුණාද… නැත්නම් කෘති පිටවීමට තිබෙනවාද?
අර වැඩ අතරෙ නිර්මාණශීලී ලේඛනයෙත් යෙදිලා ඉන්නවා. 2021 වර්ෂයෙත් කෙටිකතා පොතක් ආවා. දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා” කියලා. විදර්ශන ප්‍රකාශනයක්. ටික ටික වැඩකරන නවකතා දෙකක් තියෙනවා. ඒ දෙක නම් දැන් ටිකක් පැත්තකට තල්ලු වුණා. ”විශ්වවිද්‍යාලය යනු කුමක්ද?” කියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි හරය ගැන මානව ශාස්ත්‍ර විෂයයන් කේන්ද්‍ර කරගත් අධ්‍යයනයක් ලියලා ඉවරයි. කඩදාසි නැති නිසා බලාගෙන ඉන්නවා පළ කරන්න.
අද රටපුරා පාලකයන්ට එරෙහි අරගල. ලෝකයේ තරුණ අරගල ගැන නිර්මාණ කෘති ඇතුළුව සාහිත්‍ය කෘති රාශියක් පළ වී තිබෙනවා. අප රටේ පසුගිය කාලයේ පැවති කැරලි හා තරුණ නැගිටීම් ගැන පවා ලේඛකයන් එතරම් අවධානයක් යොමුකළ බවක් පේන්නෙ නැහැ නේද?
කාලයක් අපේ සාහිත්‍යකාරයො බොහෝ දෙනෙක් සමකාලීන දේශපාලන සවිඥානකත්වයකින් තොරව ඒ අයගේ මතකයේ තියෙන ගමක් ගැන ලිව්වා. දැන් බොහෝ දෙනෙක් 18-19 සියවස් කරා යනවා. ඒකෙන් එක්තරා අද්භූත රසයක් වගේ දෙයක් නවකතාවලට ගේනවා. සමහරු අද සිද්ධවෙන සියලු දේ සුද්දට බණින්න හෙවත් යටත් විජිතවාදයට බණින්න යොදාගන්නවා. සමහරු අද තියෙන ඇතැම් ප්‍රශ්නවල සමහර මුල ඒ යුගයේ හඳුනාගන්න හොඳ උත්සාහයක් ගන්නවා. කොහොම වුණත් අතිවිශාල ජීවිත විනාශයක් සිද්ධ වුන දේශපාලන අරගල ආදිය ගැන ඒවා සමාජයට කළ බලපෑමේ තරමට නිර්මාණ නැතිවෙන්න පුළුවන්. ඒව ලියන්න ඉඩ තිබුණ බොහෝ දෙනෙකු මරා දැමුණා. කලක් එල්.ටී.ටී.ඊ. නායිකාවක වුණු තමලිනී දක්ෂ ලේඛිකාවක් බව එයා ලියපු පොත් කීපයෙන් කෙටිකතාවලින් පේනවා.
දැන් අපේ රටේ සමාජ විඥානයේ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. විශාල පුරවැසි අවදි වීමක් තියෙනවා. අපේ රටේ දක්ෂම තරුණ කලාකාරයො මහපාරෙ අරගලවල. ඒවා ඇසුරින් වැඩෙන විඥානය නිර්මාණවලිනුත් ප්‍රකාශ වෙයි. මෑත කාලෙ මම කියෙව්වා කොරෝනා වංසගතය ආශ්‍රිත හොඳ කෙටිකතා කීපයක්ම. ඒ කියන්නෙ අපේ සමකාලීනත්වය නිර්මාණවලට එනවා. රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ සමාජ පසුබිම ඉතා දක්ෂ ලෙස හසුකර ගන්නවා.
අපට නිරීක්ෂණය වන්නේ බොහෝ සිංහල කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්යවරු වැටුපෙන් සෑහීමට පත්වී සිටින අතර ශාස්ත්‍රීය සේවයකට වෙහෙසවීමට කම්මැලි බවයි. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
සිංහල අංශවල කථිකාචාර්යවරුන්ටම චෝදනා කරන්නත් හොඳ නෑ. දර්ශනය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, දේශපාලන විද්‍යාව ආදී අනිත් තැන්වලත් වෙන රටවලට සාපේක්ෂව ශාස්ත්‍රීය කටයුතු අඩුයි. සිංහල අංශවල හිටපු අය තමයි ඉස්සර ඉඳලා ශාස්ත්‍රීය සහ කලා ලෝකෙ ප්‍රසිද්ධ. ඒ නිසා ඔය චෝදනාව කෙළින්ම එන්නෙ අපිට. ඒක එක අතකින් හොඳයි.
වැටුපෙන් සෑහීමකට පත්වන අයත්, ඉනුත් නොසෑහී තව මුදල් හඹා යන අයත් ඉන්නවා. ඒක කාලයක් අපේ විශ්වවිද්‍යාල හැඩගැහිලා තියෙන හැටිනෙ. සමහරු ඒ වගේ දේවල් හඹායාම නිසා ආචාර්ය උපාධි වැනි ඉහළ සුදුසුකම් නැතුව, මහාචාර්ය තනතුරු වැනි උසස්වීම් නැතිව, තමන්ගෙ ක්ෂේත්‍රය පෝෂණය කරන පොතපත නොලියා විශ්‍රාම යන අවස්ථා තියෙනවා. මේවා ගැන මමත් කාලයක් තරහකාරයො ඇති කර ගනිමින් කතා කරලා තියෙනවා. දැන් යම් තරුණ ආචාර්යවරුන් සහ ආචාර්යවරියන් පිරිසක් ඉන්නවා තමන්ගෙ වෘත්තිය වෙත කැපවුණු. සුනන්දා ප්‍රේමසිරි, දිලිනි ආරියවංශ, අපරුක්කේ සිරිසුධම්ම, හිනිදුම සුනිල් සෙනෙවි යනාදී අය හොඳ පොතපත පළකරලා තියෙනවා මම දැක්කා.
විශ්ව විද්‍යාලීය ආචාර්ය තනතුරේ අපට නොපෙනෙන පැත්ත මොක්කද?
විශ්වවිද්‍යාල ආචාර්ය ධුරය හොඳට කරනවා කියන්නෙ පිටට නොපෙනෙන වගකීම් රාශියක් තියෙන වැඩක්. නොයෙක් පරිපාලන වැඩ, කමිටු, සම්මන්ත්‍රන ආදිය තියෙනවා. නොයෙක් වාර්තා ලිවීම් ආදිය තියෙනවා. පශ්චාත් උපාධි කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පර්යේෂණ යෝජනා, රුකියාවලට හෝ ශිෂ්‍යත්වවලට අයදුම් කරන අයගේ රෙකමදාරු ලිපි ලිවිම, අනෙක් පර්යේෂකයන්ගේ ශාස්ත්‍රීය ලිපි විමර්ශනය කොට අදහස් පළ කිරීම ආදී. එහෙම වැඩකරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේ පිරිසකට නායකත්වය දෙමින් ඉදිරියෙන් යන වැඩේ අපි කරන්න ඕනෙ. ගොඩක් දෙනෙක් යම් දිසාවකට ඇවිදින කොට ඒ පැත්තට පාරවල් හැදෙනවා.
වත්මන් අර්බුදය හමුවේ පාඨකයන්ට පොතක් මිලදී ගැනීමටත් සටනක් කරන්න සිදුවෙලා. පොත් මිල ඉතාමත් ඉහළ ගිහින්. ඒ අවුල ඔබ දකින්නේ කෙසේද?
මේක ඉතාම භයානක හා අවාසනාවන්ත තත්ත්වයක්. එක්තරා ආකාරයකින් ගැඹුරු සංවාදයට බාධා කිරීමක්. මනුෂ්‍ය විඥානයේ පෝෂණය නැති කිරීමක්. මිල ඉහළ ගිහිල්ලා නෙමෙයි අලුත් පොත් පළ වෙන්නෙ නෑ. පිටරටවල මුද්‍රිත සියලුම පොත්වල මිලත් වැඩිවෙලා. මේ අර්බුදයට කලින් හොඳ විදේශීය නවකතාවක් රුපියල් 1200-2000 අතරේ තිබුණා. දැන් ඒ වගේ පොතක් රුපියල් 5000කට වැඩිවෙන්න පුළුවන්. අර්බුදයට කලින් රුපියල් 600ට විතර තිබුණ සිංහල නවකතාවක් දැන් රුපියල් 2000කට වැඩිවෙන්න පුළුවන්. ඒ විදියට සිංහල සාහිත්‍යයටත්, ග්‍රන්ථ කර්මාන්තයටත් ඉදිරියට යන්න බෑ. හාල්, පිටි, පරිප්පු, ගෑස් ආදිය අවශ්‍ය බව ඇත්ත. ඒ අර පොතපත, සංස්කෘතික අංග ආදිය කඩා වැටීමෙන් ඇතිවන බුද්ධිමය හා භාවමය දරිද්‍රතාව දීර්ඝකාලීන බලපෑම් ඇති කරනවා.
අලුත් අගමැතිවරයා දැනට කරන කතාබහවලින්වත් පේන්නෙ නෑ පොත් කර්මාන්තය කඩා වැටිම නිසා ඇති වී තිබෙන තත්ත්වය ගැන සංවේදීකමක්. මට ආරංචි හැටියට හැම ප්‍රධාන ප්‍රකාශක ආයතනයකම අලුත් පොත් තියෙනවා මුද්‍රණය කරන්න බැරිව. මම අවසන් කරලා තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන පොත ඉක්මනට ඇවිත් සංවාදයට බඳුන් වෙන එක අපේ රටේ අධ්‍යාපනයේ වර්ධනයට හේතුවෙයි කියල මම හිතනවා. කවදා ඒවා පළවෙයිද කියන්න බෑ. මේ තත්ත්වය තව ටික කාලයක් තිබුණොත් පුවත්පත් මුද්‍රණයත් නවතින්න පුළුවන්.
මේ දිනවල කඩදාසි ඉල්ලා ලේඛකයන්ට සහ පාඨකයන්ට විරෝධතා පා ගමන් යාමට සිදුවෙලා. රටේ සාහිත්‍යයට පාලකයන් හැමවිටම දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් නේද?
අපේ පාලකයන් බොහෝ දේවලට වැඩි සැලකිල්ලක් දක්වා නැති බව අවුරුදු හැත්තෑ ගණනක් තුළ වුණ කඩා වැටීමෙන් පේනවා. පොතපත, සාහිත්‍ය කලා ගැන එයාලගේ අවධානය කොහොමත් අඩුයි. තවමත් අපි දැක්කෙ නෑ කඩදාසි ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමක්. අපේ සංස්කෘතික හෝ අධ්‍යාපන ඇමැතිට පුළුවන් වෙන්න ඕන ඉන්දියාව වැනි රටවලට කතා කරලා තාවකාලික කඩදාසි ණයක් ගන්න. බංග්ලාදේශයේ විශාල කඩදාසි කර්මාන්ත පද්ධතියක් තියෙනවා. මම දැක්කා කොරෝනා නිසා එයාලට කඩදාසි විකුණගන්න බැරි තරමට අතිරික්තයක් ආවා. මිල අඩුවුණා කියලා. ආණ්ඩුව මැදිහත් වෙලා සහතික වෙලා පස්සෙ ගෙවන්න එහෙන් කඩදාසි ගේන්න පුළුවන්. ඇත්තටම ඒ වැඩේ බැංකුවලට සහ ආනයනකරුවන්ට බාරදුන්න නම් ආණ්ඩුවේ මැදිහත්වීම නැතිව වුණත් කර ගනියි.
කුසුම්සිරි