හැමෝම නායකයන් වන ගෝඨාගෝගම ‌නව ගම්මානය

හැමෝම නායකයන් වන ගෝඨාගෝගම ‌නව ගම්මානය

  • April 12, 2022
  • No Comment
  • 44

‘ගෝඨාගෝගම’ ශ්‍රී ලංකා සිතියමට එක්වූ අලුත්ම ගම්මානයයි. යහපාලන රජයේ නිවාස ඇමැතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් අලුතින් ඉදි කරනු ලැබූ ගම්මානවලට තැබූ අපබ්‍රංශ නම් නිසා ‘ගම්’ ගැන ඒ කාලයේ වැඩි කතා බහක් ඇති විය. දැන් යලිත් නව ගම්මාන කරලියට පැමිණ තිබේ. ඒ අරගලකරුවන් විසින් අලුතින් නම් තැබූ ‘ගෝඨාගෝගම’ නව ගම්මානයත් සමඟය.

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කෙරෙන ‘ගෝඨා ගෝ හෝම්’ සටන පටන් ගත්තේ කොතැනින්දැයි යන්න ගැන විවිධ අදහස් ඇත. විවිධ පිරිස් එහි  මාතෘත්වය හෝ පීතෘත්වය ගන්නට උත්සාහ කරන ආකාරයද දක්නට ලැබේ. නමුත් සැබෑලෙසම ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨයට නිශ්චිත හිමිකරුවෙක් කිව නොහැකි අතර එය ජනතාව අතරින්ම පැමිණි සටන් පාඨයකි. එවැනි සටන් පාඨයක් ආවේ වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසාය. ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ විහිළු සපයන්නකු බවට පත්වීමට පටං ගත්දා සිටම ගෝඨාභය ඉල්ලා අස්විය යුතුය යන සටන් පාඨය සමාජ මාධ්‍යවල සංසරණය විය. ඒ ‘ගෝඨා ෆේල්’ සටන් පාටයද සමඟය.

කෙසේ වෙතත් තේල් සහ ගෑස් අර්බුදයත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළයෑමත්, විදුලිය විසන්ධි කිරීමත් නිසා මහජනතාවට ගෝඨා පමණක් නොව මේ ආණ්ඩුවද එපා වෙන තැනට තල්ලුවිය. කොහුවල දී තරුණයන් පිරිසක් නිහඬ විරෝධතාවයක් ආරම්භ කළේ විදුලි අර්බුදයට විරෝධය දක්වමිනි. ඒ වන විට විවිධ ප්‍රදේශවල එක්කෙනා දෙන්නා ප්‍රසිද්ධියේ ගෝඨාභයට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබිණි. කොහුවල විරෝධතාවය ඒ විරෝධතා සියල්ලන්ගෙන්ම කැපී පෙණිනි. ඒ කොළඹට තදාසන්න පැත්තක ඇති විරෝධයක් නිසාත්, විරෝධතාවය සංවිධානය කළ පිරිස ජනමාධ්‍යයට සම්බන්ධ සහ සමාජ මාධ්‍යවල සක්‍රීයව කටයුතු කළ පිරිසක්වීමත් නිසාය. ඊට ලැබුණු ප්‍රචාරය රට පුරා තනිවම විරෝධය පළ කළ කණ්ඩායම්වලට ලොකු තල්ලුවක් විය.

රට පුරා විවිධ තැන්වල විවිධ ආකාරයට වර්තමාන අර්බුදයට විරෝධය පළ කෙරුණු අතර ඒවා දේශපාලන පක්ෂ හෝ සංවිධාන හෝ කිසියම් ‘අදිසි හස්ථයක්’ විසින් මෙහෙයවනු ලැබූ විරෝධතා නොවීය.

මාර්තු පස් වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවස වැටලීම ද මෙම විරෝධතා මාලාවේ වැදගත් සංධිස්ථානයක් වූ අතර එහි උච්ඡතම අවස්ථාව වූයේ කොහුවල විරෝධතාවයට මාසයක් පිරෙන දිනයේ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති ජුබිලි කණුව මංසන්ධියේ විරෝධයයි. මාර්තු 31 වැනිදා පැවැති විරෝධතාවයෙන් පසු පාගමනින් උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයාගේ නිවස අසලට පැමිණි අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වූහ. 5000කට අධික පිරිසක් එම ස්ථානයේ සිටි අතර එය සම්පූර්ණයෙන්ම සාමකාමී විරෝධතාවක් විය.

සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව ලවා පහර දීමෙන් පසු මෙම සටනට නීතිඥවරුන් ඇතුළු වෘත්තිකයෝ රැසක් සම්බන්ධ වූහ. මර්දනය මගින් විරෝධතා නතර කළ හැකි බව ආණ්ඩුව සිතුවද රතුපස්වල මෙන්ම මිරිහානේද පහරදීමෙන් පසු විරොධතා තවත් තීව්ර විය. රට පුරා විශාල පිරිසක් ගෝඨා ගෝ හෝම් විරෝධයට එක්වූහ. ගෝඨා ගෝ හෝම් විරෝධය ගෝඨා ගෝ ජේල් දක්වා තවත් වර්ධනය විය.

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව දහස් ගණනින් කොළඹ පැමිණ විරෝධතා පවත්වන්නට වූහ. උද්ඝෝෂණ මාලාව නතර කිරීම සඳහා ආණ්ඩුව විසින් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය දැමුවද එය නොතකා දිවයින පුරාම උද්ඝෝෂණ පැවැත්විණි. සමාජ මාධ්‍ය අවහිර කරමින් උද්ඝෝෂණ නතර කිරීමට උත්සාහ කළද එයද අසාර්ථක විය. ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්තියේ අවසානය වූයේ නොනවතින ජන රැල්ලක් බවට ගෝඨා ගෝ හෝම් සටන් පාඨය වර්ධනය වීමය. රට පුරා දහස් ගණනක් පාර බැස විරෝධතා දැක්වූ අතර පාරට බැසීමට නොහැකි විශාල පිරිසක් නිවාසවල කළු කොඩි දමා විරෝධය පළ කළහ.

දිනපතා ගාලු මුවදොර ඇතුළු ප්‍රදේශ රැසක පැවැති විරෝධතාවය අප්‍රේල් 09 වැනිදා ගාලුමුවදොරට කේන්ද්‍ර ගත විය. අප්‍රේල් නව වැනිදා සෙනසුරාදා උදෑසන වන විට දහස් ගණනින් ගාලු මුවදොරට එක්රැස්වූහ.   නොනවතින විරෝධතා මාලාවක් ගාලුමුවදොර පැවැත්වීමට උද්ඝෝෂකයෝම තීරණය කළහ. විවිධ සංවිධාන මෙම විරෝධතාවට සහභාගී වුවද සමස්ථ උද්ඝෝෂණ මෙහෙයවීමට කිසිම නායකයෙක් නොවීය. උද්ඝෝෂකයෝ සියලු දෙනා විකෙ නායකයෝ වූහ. විටෙක විරෝධතා මෙහෙයවන්නෝ වූහ. විවිධ ප්‍රදේශවලින් පැමිණි මහජනයා විවිධාකරයට විරෝධතාවයේ නිරත වූහ. පිරිසක් සටන් පාඨ කියද්දී තවත් පිරිසක් හෝන් නාද කළහ. තවත් පිරිසක් සංගීත භාණ්ඩ වාදනය කළහ. තවත් පිරිසක් ගීත ගායනා කළහ. අභිරූපන රංගන ඇතුළු විවිධාකාරයේ කලා සහ සංස්කෘතික අංග රැසක්ද විරෝධාතාවට එක්වී තිබිණි.

සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හෝ බේදයක් නොවීය. උද්ඝෝෂණයට සහභාගී වූ සියලු ජාතිකයන්ගේ සහ ආගමිකයන්ගේ ප්‍රධානම සටන් පාඨය වූයේ ‘ගෝඨා ගෝ හෝම්’ පමණි. ජාතිවාදී හෝ ආගම්වාදී සටන්පාට කිසිවක් නොවීය.

අප්‍රේල් නම වැනිදා රාත්‍රියේද දහස් ගණනක් ගාලු මුවදොර පිටියේම රැය පහන් කළහ. 10 වැනිදා උදෑසන වන විට ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ උද්ඝෝෂකයන් පිටව යනු ඇතියි සිතුවද ආණ්ඩුව නොසිතූ පරිදි දහස් ගණනක් ගාලු මුවදොරට ඇදී ආහ. උද්ඝෝෂකයන්ට වතුර සහ කෑම බීම ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් විසින් ස්වේච්ඡාවෙන්ම සපයනු ලැබීය. අප්‍රේල් 10 වැනිදා රාත්‍රී වන විට උද්ඝෝෂකයෝ ගාලුමුවදොර පිහිටි උද්ඝෝෂණ ස්ථානයේ කඳවුරු බැඳෙගෙන නැවතුණ අතර ඊට සමගාමීව උද්ඝෝෂකයන්ට ආහාර, බෙහෙත් මෙන්ම වැසි කබා ඇතුළු වෙනත් ද්‍රව්‍යද බෙදාදීමට තවත් පිරිසක් ස්වේච්ඡාවෙන්ම එකතු වූහ.‍

අවසානයේ උද්ඝෝෂණ ස්ථානය එකම ගම්මානයක් බවට පත්වූහ. ආණ්ඩුවෙන් උද්ඝෝෂණ ස්ථානය ලෙස නම් කළ ප්‍රදේශයේ ‘ගෝඨාගෝගම’ බවට පත් විය. භාෂා තුනෙන්ම ‘ගෝඨාගෝගම’ ලෙස නාම පුවරු පවා සවි කෙරිණි. පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිට ගාලු මුවදොර අනෙක් කෙරවල දක්වා විරෝධතා පවත්වද්දී තවත් පිරිසක් ‘ගෝඨාගෝගම’ සිට උද්ඝෝෂකයනට අවශ්‍ය ද්‍රව්‍ය සැපයූහ. වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් පැමිණ වෛද්‍ය සේවා ආරම්භ කළහ. නොමිලයේ ගිලන් රථ ද සපයා තිබේ. ආහාරපානවලට අමතරව තවත් සමහරු අරගලය ගැන ලොවට කියන්නට අවශ්‍ය ‘ඩේටා කාඩ්’ බෙදති. වෙසක් පොසොන් ඇසල දැන්සැල් සියල්ල බක්මහේ වුවද ගෝඨාගමට පැමිණ තිබේ.

ඇතැම්මුන් පවුල්පිටින් ගෝඨාගමවිත් පදිංචි විය. ‘මේ සටන ඉවර වෙනකම් අපි යන්නේ නෑ. අපි මෙතනම ඉන්නවා.’ බොහෝ දෙනෙක් කඳවුරු බැඳගනිමින් කීහ.

අද ගාලුමුවදොර සටනේ හතරවැනි දිනයයි. උදේ දිවා රාත්‍රී ලෙස පමණක් නොව මහා වර්ෂාව මධ්‍යයේද වැල නොකැඩී දහස් ගණනින් පිරිස් ගෝඨාගෝගමටත් ගාලු මුවදොරටත් පැමිණෙති. අගමැතිවරයාගේ ‘ජාතිය ඇමතීමේ’ නාඩගමෙන් පසු පිරිස් අඩුවෙතියි සිතුවද ඊයේ රාත්‍රී අගමැතිගේ කතාවෙන් පසු පැමිණෙන පිරිස ඉතාම වැඩි අගයක් ගැනීම විශේෂත්වයකි.

අරගල බිම දැන් සංස්කෘතිකාංග, කලා කටයුතු මෙන්ම දේශපාලනයද කියාදෙන එකම දේශපාලන පාසලක් බඳුවී හමාරය. සාම්ප්‍රදායික සටන් පාඨ කියමින් සාම්ප්‍රදායික චින්තනයේ සිටිමින් දේශපාලනය කළ පක්ෂවලට ද දැන් වෙනස් ලෙසකට සිතීමට සිදුවී තිබේ. ඇතැම් විට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ටද ගෝඨාගෝගම දේශපාලන පාසලෙන් පාඩම් ඉගෙන ගැනීමට සිදුවනු ඇත. රටේ තරුණ තරුණියෝ සාම්ප්‍රදායික දේශපාලනය උඩු යටිකුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා ලබමින් සිටිති.

පිරිසක් මෙම සටනේ  නායකත්වය ගැනීමට අර අදිති. තවත් පිරිසක් සටන කඩාකප්පල් කිරීමට අර අදිති. තවම ඒ දෙකම සාර්ථක වී නැත. හේතුව උද්ඝෝෂකයෝ සියලු දෙනා නායකයන් වන බැවින් සහ ඔවුන්ගේ හික්මීම නිසාය. නායකයන් කෙසේ වෙතත් නොනිදන ගාලු මුවදොර අරගලයට වචනයකින් හෝ සහාය දක්වන සියලුම දෙනාගැන ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු ඇත.

තරිඳු ජයවර්ධන (Satahan)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *