කෙළවරක් නැතිව මිනිසුන් මරණ නාඳුනන තුවක්කුකරු!

කෙළවරක් නැතිව මිනිසුන් මරණ නාඳුනන තුවක්කුකරු!

  • August 7, 2022
  • No Comment
  • 49

නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන ලැයිස්තුව තව තවත් දිගු වෙමින් තිබේ. තරමට සිදුවන ඝාතන රැල්ල රටේ නීතිය කුවක්කුකරුවන් අතට ගත්තා වැනිය. නාඳුනන යතුරුපැදි වෙඩික්කරුවන්ගේ ඝාතන රුල්ල සම්බන්ධයෙන් පොලීසිය කොතෙකුත් අවධානයෙන් පසුවුවද එකපිට එක සිදු කරන මහමග ඝාතන ඉහළ යමින් පවතී. කුඩු පාතාලය හා විවිධ සබඳතා ඇත්තන් මරා දමන නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්ක අතරට කොටිකාවත්තමුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් මහතා ගොදුරු වීම තාමත් අපහැදිලිය.

නාඳුනන ඝාතකයන්ගේ වෙඩි උණ්ඩය දේශපාලනඥයන් වෙතට එල්ල කිරීම සුබදායක නැත. ගැටලුකාරී එම ප්‍රහාරයේ ඉලක්කය හා තවත් තොරතුරු ඉදිරි පොලිස් විමර්ශනවලදී අනාවරණය කෙරෙනු ඇත.

කොටිකාවත්තමුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතා තවත් පුද්ගලයකු සමඟ මුල්ලේරියාව බැංකුව හන්දිය අසල මාර්ගය පසෙක කතාබහක නිරතව සිටියේය. වෙලාව පස්වරු පහට පමණ ආසන්න වෙමින් තිබියදී බැංකුව හන්දිය පසුකරමින් වේගයෙන් පැමිණි යතුරුපැදියකි. පාරේ පසෙක සිටි සුමුදු රුක්ෂාන් ඇතුළු දෙදෙනා ඉදිරිපිට නැවතූ යතුරුපැදියේ පසුපැදිකරු පිස්තෝලයක් දිගු කරනවාත් සමඟ කතාබහේ නිරතව සිටි දෙදෙනා හිස හැරුණු අත දුවන්නට වූහ. සැණෙකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළද ඉන් කිසිවකුටත් හානියක් නොවුණි. සුමුදු රුක්ෂාන් වේගයෙන් දුවගොස් තිබුණේ යතුරුපැදිය පැමිණි දෙසටය. ක්ෂණයකින් යතුරුපැදිය නැවත හරවාගත් වෙඩික්කරුවෝ සුමුදු රුක්ෂාන් ලුහුබඳින්නට වූහ.

මුල්ලේරියාව රෝහල වටා පාරෙන් ඇතුළට පිහිටි අතුරු පාරකට දුවගිය රුක්ෂාන් එහි වූ නිවෙසක් දෙසට ගියේ ආරක්ෂාව පතාය. ලුහුබඳිමින් සිටි තුවක්කුකරු ඔහු පසුපස පන්නා ගොස් නිවෙසේ පසුපස මිදුලේදී ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර නැවත පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් තිබුණි. මේ සිදුවීමේ ඇතැම් අවස්ථා පාරේ කෙළවරක තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබියදී වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය භාරයට ගැනිණි.

නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් (40) මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි. මුල්ලේරියාව උතුර අඹතලේ අංක 05 නිවෙසේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළේය.

ව්‍යාපාර කටයුතුවලද නිරතව සිටි සුමුදු රුක්ෂාන් මහතාට අයත් වැඩබිමක ඉදිරිපිට රැඳී සිටියදී ඔහුට පළමු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. පළමු වෙඩි පහරින් බේරී දුවගිය මන්ත්‍රීවරයා මීටර් 50 ක් පමණ දුවගොස් ඇති බවත් ඔහු පසුපස වෙඩික්කරු පන්නා ගොස් ප්‍රහාරය එල්ල කොට ඇති බවත් පොලිස් විමර්ශන අනාවරණය කරයි. වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවුණද හෙළි වූ තොරතුරු අනුව කියැවෙන්නේ දින ගණනාවක් ඔහු සමාජයට නිරාවරණය නොවී සිට ඇති බවකි. එල්ල වූ තර්ජනයක් හෝ පිටස්තර බලපෑමක් හේතුවෙන් එසේ සැඟවී සිටියේද යන්න තවමත් හෙළි වී නැත. යම් පාර්ශ්වයක් විසින් රුක්ෂාන් මහතාට ජීවිත තර්ජනයක් එල්ල කර තිබෙන්නට ඇති බව පොලීසිය සැක කරයි. මේ අතර පොලීසියට තොරතුරක් ලැබී ඇත්තේ පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු බව කියන ජිල්ලා නැමැත්තා විසින් සුමුදු රුක්ෂාන් මහතාට තර්ජනය කර ඇති බවය.

ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයා කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ ඥාතියෙකි. එමෙන්ම හිටපු පාතාල නායකයකු වන කරාටේ ධම්මික යන අයගේද ඥාති පුත්‍රයකු බව කියයි. පසුගිය 2 වැනිදා පස්වරුවේ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා බුද්ධි අංශ ඇතුළත් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සිටියි.

පසුගිය මැයි 30 වැනිදා සිට අගෝස්තු 04 වැනිදා දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 19 ක් පමණ සිදුව තිබේ. එහිදී ඝාතනයට ලක්වූ පිරිස 21 දෙනෙකි. මෙම ඝාතන අතරින් 15 ක් බස්නාහිර පළාත ආශ්‍රිතව වාර්තා වී තිබෙන අතර සිද්ධීන් හයක් දකුණු පළාතෙන් වාර්තා විය.

නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාර අතර ආසන්නම වෙඩි තැබීම 4 වැනිදා වාර්තා වූයේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදීය. එහිදී වෙඩි තබා තිබුණේ විත්ති කූඩුවේ රුඳී සිටි පුද්ගලයකු ඉලක්ක කොටගෙනය. එහෙත් වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුව නැති අතර වෙඩික්කරු පලා ගොස් තිබුණි.

මැයි 30 වැනිදා පටන් නාඳුනන තුවක්කුකරුවන් විසින් කරන ඝාතන සියල්ල විදෙස්ගත පාතාල අපරාධකරුවන්ගේ සැලසුම් මත ක්‍රියාත්මක බව පොලිස් විමර්ශන හෙළි කරගෙන තිබේ. මේ කාලය තුළදී ඝාතනය වූ පිරිසට අමතරව පුද්ගලයන් 12 දෙනකු තුවාල ලබා සිටින බව පොලිසිය අනාවරණය කරයි.

කාලයක පටන් සංවිධානාත්මක අපරාධකරුවන් හෝ පාතාල සාමාජිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරමයි. එය විදෙස්ගතව සිට මෙහෙයවන ප්‍රබලයෝ වෙති. ඔවුන්ගේ ඒකාධිකාරය තහවුරු කර ගැනීම සඳහා විරුද්ධවාදීන් ඔත්තුකරුවන් තැරුව්කරුවන් වැනි සහචරයන් අතර වන කෝන්තර මෙම වෙඩි තැබීමේ රුල්ලට හේතුව බව අනාවරණය වෙමින් පවතී. එහෙත් එය පාලනය නොවීම බරපතළ අනතුරක් බව සඳහන් කළ යුතුය.

සමන්ත ප්‍රදීප් විල්තෙර 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *