- October 9, 2022
- No Comment
- 49
කඩුගන්නාවේ මාර්ග කෞතුකාගාර 2 බලමු….
කඩුගන්නාව දුර්ගය සිසාරා විහිදී තිබෙන පරිසරයේ සුන්දරත්වයත් අප්‍රකටව පවතින ඓතිහාසික වෙහෙර විහාර ගැනත් පසුගිය සති කිහිපයේදී අපි මේ ලිපි පෙළින් දැනුවත් කළෙමු. අද ඔබ රැගෙන යන්නේ පෙර කී ස්ථානවලට වඩා වෙනස්” සෙංකඩගල රාජධානියට පිවිසීමට පෙර අවශ්‍යයෙන්ම ඔබ කඩුගන්නාවේදී මග නොහැරිය යුතු තවත් වැදගත් ස්ථාන දෙකක් වෙතය. සැබවින්ම එදා දුෂ්කර වූද මනරම් වූද මේ දුර්ගයෙන් වෙන්ව පැවති උඩරට රාජධානියේ පිවිසුම පහතරට හා එක යායට යාකළ ඒ ඓතිහාසික සාධක සීරුවට තබා ඇත්තේ එහිය. ඒ ඔබේ දෙනෙත් ගැටි ගැටී මගහැර යන කඩුගන්නාවේ දුම්රිය සහ මහා මාර්ග කෞතුකාගාරයේය. ඒ තුළ ඇත්තේ මේ රටේ ගමනාගමනයේ සුවිශේෂී පෙරළියක් කළ මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම හා බැඳි ඉතිහාස කතාවය. නුවර – කොළඹ මාර්ගය ඉදිකිරීමේදි රසවත් ප්‍රවාද ඇති කඩුගන්නාව අමතක කර ඒ කතාවට පිවිසිය නොහැකිය.
කාටත් එක සේ වැදගත් එම ඉතිහාසය සිංහලයේ අවසන් රාජධානිය වන කන්ද උඩරට 1815 දී බ්‍රිතාන්‍යය ජාතිකයන් අතට පත් වීම දක්වා දිවෙන්නේය. ආක්‍රමණිකයන් වුවද බ්‍රිතාන්‍යයන් විසින් මේ රටේ සිදු කළ විශාල පෙරළියක් වන්නේ මෙරට මහා මාර්ග ඉදිකිරීමේදී කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීමේ වැඩ ඇරඹීමය. සුදු ජාතිකයින් විසින් ඉදිකළ පළමු මහා මාර්ගය වන්නේද කොළඹ නුවර පාරය. එය ඉදිකිරීම උඩරට සහ පහතරට අතර පැවති ගමනාගමන දුෂ්කරතාව මගහැරී විශාල සමාජ සංස්කෘතික පෙරළියකට මග පෑදිණ. එහෙත් ඇත්ත කතාව නම් සුද්දන්ට අවශ්‍ය වූයේ මං මාවත් තනා මේ රටේ මිනිසුන්ගේ ජීවිත පහසු කිරීම නම් නොවේ. සුදු ජාතිකයන් මේ මාර්ගය ඉදිකිරීමේ ඕනෑකම ඇතිවන්නේ දේශපාලන සහ වෙළඳාමේ පරමාර්ථයන් මතය. ඉන් එකක් වන්නේ උඩරටින් එකතු කරගන්නා කුළු බඩු අස්වැන්න නැව්ගත කිරීම සඳහා කොළඹට ගෙනයෑමත් පරිපාලන කටයුතු සඳහා කොළඹ සමග ඉක්මන් සහ පහසු මාර්ගයක අවශ්‍යතාව ය.
ඒ හා බැඳි තවත් කතාවක් නම් 1815 ත් 1818 අතර ඇතිවුණු උඩරට කැරැල්ලත් සමග ඉක්මන් අවශ්‍යතාවයකට කොළඹින් යුද හමුදාව කැඳවීමට පහසු මාර්ගයක අවශ්‍යතාව ඉංග්‍රීසි ආණ්ඩුව වටහාගෙන තිබීමය. ඒ කුමක් වෙතත් එදා මේ ඓතිහාසික රාජකාරිය භාරව ඇත්තේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට ය. බාන්ස් ආණ්ඩුකාරවරයා එය කඩිනමින් කරගෙන යෑමේදී මේ මාර්ගයේ ඇති ඉතා දුෂ්කරම සහ රමණීයම පරිසරයට අයත් කොටස වන කඩුගන්නාව දුර්ගය හරහා සෙංකඩගලට පිවිසීමේ ඉදිකිරීම් භාර කර තිබෙන්නේ කැප්ටන් ඩෝසන් නම් ඉංජිනේරුවරයාටය. දැන් අපි මේ ගමන් කරමින් හිඳින කඩුගන්නාවේ ගල විද ඒ ඇතුළතින් දිවෙන මාර්ගය 1820 දී ඇරඹීමේ නියමුවා වන්නේ ඔහුය. කැප්ටන් ඩෝසන් කඩුගන්නාව ගල විද සෙංකඩගලට එබීම යනු ඇත්තෙන්ම හුදු මාර්ගයක් ඉදිකිරීමට එහා ගිය සිදුවීමක්ය. දළදාව සිංහලයන් සතුව පවත්නා තෙක් හෝ කඩුගන්නාව දුර්ගයේ ගල තිබෙන තාක් විදේශීය ආක්‍රමණියකුට සෙංකඩගල යටත් කරගැනීමට නොහැකිය යන විශ්වාසය එදා සිංහලයන් තුළ තිබුණේය. කැප්ටන් ඩෝසන්ට කඩුගන්නාවේ ගල සුණු විසුණු කර මාර්ගය තැනීමේ ශක්තිය තිබුණ ද ගල විද ඒ තුළින් නුවර මාර්ගය ඉදිකිරීමේ හේතුව එය බව සඳහන්ය.
එයත් සමග සිංහලයන් තුළ පැවති සෙංකඩගල යටත් කරගැනීමේ මතය බිඳී ගියේය. මහා මාර්ගයක් හා බැඳි මේ අපූරු ඉතිහාසය නිර්මාණය කළ යන්ත්‍ර අදටත් කඩුගන්නාව පසුකර නුවර දෙසට යන විට මහා මාර්ගයට දකුණු පසින් ස්ථාපිත කිරිබත්කුඹුරේ මහා මාර්ග කෞතුකාගාරයේදී ඔබට දැකබලා ගත හැකිය. මහා මාර්ග ඉදිකිරීමේ ප්‍රාථමික තාක්ෂණික අවධියේ යොදාගත් අලි ඇතුන් ලවා ක්‍රියා කළ ගල් රෝල්” ගල් අඟුරු වාෂ්ප එන්ජින් යන්ත්‍ර සූත්‍රද එහි ප්‍රදර්ශනය කර තිබෙන්නේය. එහි තිබෙන එවකට දුර මැනීමට භාවිත කළ සැතපුම් දැක්වීම සඳහා යොදා ගත් සංකේත මෙවලම් මේ අතරින් සිත්ගන්නාසුලුය. එදා මාර්ග තැනීමේ සේවකයන් භාවිතා කළ ජංගම ලැගුම් ගෙය” අශ්වයින් හෝ ගල් අඟුරු භාවිතයෙන් වතුර සහ භාණ්ඩ ප්‍රවාහනය කළ වැඩබිම් රථ දකින විට අතීතයේදී කොළඹ නුවර මාර්ගය තැනීමට කෙතරම් වෙහෙසක් ගන්නට ඇත්දැයි අපට අනුමාන කළ හැකිය. නමුත් කැප්ටන් ඩෝසන් පසුපසට ගියේ නැත. ඒ කැප කිරීම් නිසාම 1830 දශකය වන විට මේ මාර්ගයේ වැලි අතුරා ආසියාවේ පළමු අශ්ව කෝච්චිය ධාවනය කිරීමේ ඓතිහාසික ගෞරවය හිමිව තිබෙන්නේද කොළඹ නුවර මාර්ගයට ය. එවැනි වික්‍රමයට උර දුන් කැප්ටන් ඩෝසන් මේ මාර්ගය ඉදිකිරීමේ අවසන් අදියරේදී නාගයකු දෂ්ට කර ඒ විෂෙන් මිය ගිය බවට ජනප්‍රවාදයේ කතාවක් ඇත. ඔහු මිය ගියේ දරුණු උණ රෝගයක් නිසා බවද කියන්නේය.
අකාලයේ මියැදුණු ඒ ධෛර්යවන්ත මිතුරා සිහිවීමට ඔහුගේ යහළුවන් ස්මාරක කුලුනක් ඉදිකළේය. මනරම් කඩුගන්නාව දුර්ගය පසු කරන විට ඔබ දකුණු පසින් දකින්නේ කැප්ටන් ඩෝසන් සිහිවීමට ඉදිකළ එම ඩෝසන් කුලුනය. එම කුලුනේ ඉහළට නැගි විට මුළු කඩුගන්නාව සිසාරා ඇති දර්ශනීය පරිසරය එක ස්ථානයක සිට දැකගත හැකිය.ඩෝසන් කුලුන දැක අප ආපසු පැමිණියේ කඩුගන්නාව නගර මධ්‍යයේම ඇති මෙරට දුම්රිය ඉතිහාසයේ ජීවමාන සාධක ඇති දුම්රිය කෞතුකාගාරයටයි. එහි ඇති කෞතුක වටිනාකම විශ්මිතය. දුම්රිය සේවයට යොදා ගත් වසර 150 වඩා පැරණි යන්ත්‍ර සූත්‍ර සහ මෙවලම් ඉතා සුරක්ෂිත අයුරින් තබා තිබේ.
දුම්රිය ලංකාවට හඳුන්වා දුන් සුදු ජාතිකයන් එය ඇරඹීමේ පරමාර්ථය උඩරට කෝපි වගාව වැනි අපනයනික වතු වගාවන් පහසුවෙන් කොළඹට ප්‍රවාහනය කිරීමය. 1845 වසරේදී එයට මූලිකත්වය ගත්තේ කොල්වින් ආණ්ඩුකාරවරයා ය. ඒ වෙනුවෙන් එම වසරේදීම ලන්ඩන් නුවර ලංකා දුම්රිය සමාගම නම් සමාගමක් පිහිටුවා ඇත. නමුත් පළමු දුම්රිය මාර්ගයක් තැනීමේ කටයුතු මහ පොළව තුළ යථාර්ථයක් වූයේ වසර 1845 දී සර් හෙන්රි වෝඩ් ලංකා ආණ්ඩුකාර ධුරයට පත්වීම නිසාය. ඔහු එංගලන්තයේ සිටි එස්. මුර්සම් නමැති දක්ෂ ඉංජිනේරුවා ලංකාවට ගෙන්වා දුම්රිය මග ඉදිකිරීමේ මැනුම් කටයුතු ඉටු කළේය. එය අවසානයේ ලංකාවේ පළමු දුම්රිය මග ඉදිකිරීමේ පස්පිඩැල්ල කැපුණේ වසර 1858 අගෝස්තු 03 දා මාළිගාවත්ත දුම්රිය අංගනය අසලදීය. නමුත් මේ ඉදිකිරීම් වියදම වැඩි නිසා ලන්ඩනයේදී ටෙන්ඩර් දමා ෆෙඩ්රික් ෆේවිල් නමැති ව්‍යාපාරිකයකුට දුම්රිය මග ඉදිකිරීම භාර විය. ඔහු නිපුණතා ඇති ඉංජිනේරුවන් දක්ෂ වැඩබිම් කම්කරුවන් ගෙන්වා කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මග සකස් කර 1864 දෙසැම්බර් 27 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබමින් ලියෝපොල්ඩ් වර්ගයේ වාෂ්ප දුම්රිය කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය කරවිය. එදා මේ මංගල දුම්රිය ගමනේ ආරාධිතයා වී තිබෙන්නේ ඒ වන විට ලංකාවට පැමිණ සිටි බෙල්ජියමේ ඔටුන්න හිමි බ්‍රැන්ට් ආදිපාදවරයායි. ඉන් වැඩි කලක් යන්නට පෙර කඩුගන්නාවේ ගිරි දුර්ග මැඬ පර්වත විනිවිද ගොස් මහනුවර දක්වා වූ දුම්රිය මඟේ දර්ශනීයම කොටස නිමා කර 1867 අගෝස්තු පළමු දා මගීන් සමග මහනුවරට දුම්රියක් ධාවනය කළේය.
මා දැන් සිටින්නේ ඒ අපූරු ඉතිහාසයේ කොටසක් වූ දුම්රිය මෙවලම් සහ යන්ත්‍ර සූත්‍ර ඇති කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ ය. මීට වසර එකසිය පනහකට පෙර හා පුරා කියා අඩි දෙකහමාරක පළල සහිත රේල් පීලි දෙකක් දුම්රිය ධාවනය කරවිමට උපකාර වූ කාබයිට් ලාම්පු” දුම්රිය නියාමක ලාම්පු” පැරණි සංඥා ලාම්පු ආදී මෙවලම් මෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අදටත් භාවිත 1874 දී එඩ්වඩ් ටයර්ඩ් හඳුන්වා දුන් ඉතා සුරක්ෂිත ටැබලට් ක්‍රමයේ ආකෘතියක් ද එහිදි දැකිය හැකි වේ. එහි දෙවන කුටියට ඇතුළු වෙනවාත් සමග ඔබ දකින්නේ දුම්රිය ස්ථාන කිහිපයක් ආරම්භ කළ දිනය සහ ඒවායේ නාම පුවරුය. ඒ ආසන්නයේ ඇත්තේ එදා ගල් අඟුරු වාෂ්ප දුම්රියන් සඳහා භාවිත කළ නාම පුවරු ය. උඩරට මැණිකෙලා” යාල් දේවිලා හෝ රුහුණු කුමාරිලා යනුවෙන් අද භාවිත කරන කාන්තා නම්වලින් එදා දුම්රිය හඳුන්වා නැත. එදා දුම්රිය ඇන්ජිමේ නාම පුවරුවල ප්‍රදර්ශනය වී ඇත්තේ ශාන්ත ජෝසප්” සෙන් තෝමස් වැනි ජනප්‍රිය පාසල්වල නම්ය. ඒ ආසන්නයේ තිබෙන ගිනි නිවීමට භාවිත කළ පැරණි උපකරණය සිත්ගන්නාසුලු එකකි. තඹ සහ පිත්තලවලින් නිර්මාණය කර තිබෙන එම උපකරණයේ වතුර සමග ග්ලාස් ඇසිටි රසායන සංයෝගය කර ගිනි නිවීම සඳහා භාවිතා කර තිබේ.
මෙහිදි ඔබට දැකගත හැකි වටිනාම කෞතුක භාණ්ඩයක් වන්නේ “හිරු තැටිය” හෙවත් ඉපැරණි කාල ගණක යන්ත්‍රයයි. ලංකාවේ පළමු දුම්රිය ගමනේදී වෙලාව බැලීමට යොදා ගත් එය දැනට ශ්‍රී ලංකාවේ සුරක්ෂිතව ඇති එකම හිරු තැටිය ලෙස හැඳින්වේ. ඒ ආසන්නයේ ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනය වන අයුරු දැක්වෙන භූ සැලස්මක් නිර්මාණය කර ඇත. මෙම කෞතුකාගාර ගොඩනැගිල්ලෙන් එපිටට එන විට ලංකාව ගෙනා ලීයෙන් නිෂ්පාදිත පළමු දුම්රිය මැදිරිය” ගල් අඟුරු දුම්රිය එන්ජිම” පුංචි කෝච්චිය” අශ්වයන් ප්‍රවාහනය කළ දුම්රිය මැදිරි ආදි වටිනා කෞතුක යන්ත්‍ර සූත්‍ර කිහිපයක් දෑසින් දැක මේ රටේ යටගිය ඉතිහාසය උගත හැකිය. නොමැති නම් ජනප්‍රිය කියමනක් වන අඟුරු කකා වතුර බිබී කොළඹ දුවපු පළමු යකඩ යකා දැන් විවේක ගන්නා ස්ථානය දැකිය හැකිය.
ඉතා කනගාටුවට කරුණ වන්නේ එහි වන පළමු දුම්රිය මැදිරිය සහ ගල් අඟුරු වාෂ්ප එන්ජිම වැනි කෞතුක වටිනාකමක් සහිත යන්ත්‍ර දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරික බලවතෙක් සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ මුවාවෙන් කොළඹට රැගෙන යෑමට සැලසුම් කර තිබීමය. ඒ පිළිබඳ පසුව සටහන් කරන්නට තබා මා කෞතුකාගාරයේ අවසන් කොටස වන පැරණි දුම්රිය මැදිරියක් තුළ ස්ථාපිත ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය දැක්වෙන වටිනා වාර්තා වැඩසටහනක් නැරඹුවෙමි. දුම්රිය කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන්නන්ට මග පෙන්වන සුසන්ත සිරිවර්ධන මහතා එම ඓතිහාසික තොරතුරු කාටත් කියා දෙන අයුරු සිත්ගන්නාසුලු බව මතක් කළ යුතුමය. සෙංකඩගල රාජධානියට ඇතුළු වීමට පෙර එවැනි සාරගර්භ ඉතිහාසයක් කඩුගන්නාව අවටදී දැකගත හැකියැයි මම ද මීට පෙර නොසිතුවෙමි. බසයෙන් දුම්රියෙන් හෝ පුද්ගලික රථයකින් කඩුගන්නාව තරණය කරන විට ඔබත් එය මග නොහරින්න.
තිස්ස ගුණතිලක – ඉරිදා දිවයින
ඡායාරූප – Heritage Lanka Photography