ඉරාන කාන්තාවන්ගේ ජීවිතය එදා සහ අද…!
- October 3, 2022
- No Comment
- 73
මේ බීබීසී පර්සියානු සේවයේ ඉරාන-බ්‍රිතාන්‍ය නිවේදිකාවක වන රානා රහීම්පූර්ගේ මතකයන් ය. මීට සමාන මතකයන් ඇත්තේ ඇගේ පවුලට පමණක් නොවේ.
1979 ඉස්ලාමීය විප්ලවයට පෙර, වර්ථමානයේ මෙන් කාන්තාවන්ට තම හිසකෙස් වැසීමට සහ විනීත “ඉස්ලාමීය” ඇඳුම් ඇඳීමට බල කරන නීතියක් ඉරානයේ තිබුණේ නැත.
“ඉරානය නිදහස් රටක්. කාන්තාවන්ට කැමති ඕනෑම දෙයක් ඇඳීමට ඉඩ තිබුණා” ඇය පවසන්නී ය.
ඇය මෙලෙස සිය මතක ආවර්ජනය කරන්නේ, ඉස්ලාමීය ඇඳුම් නීති රීති බලාත්මක කිරීම සඳහා සිටින ඉරානයේ ඊනියා සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසි දෙ හැවිරිදි කාන්තාවක් මිය යාමේ සිදුවීමත් සමඟ, ඉරාන නගර රැසක විරෝධතා පැවැත්වෙන මොහොතකදී ය.
රහීම්පූර් උපත ලැබුවේ විප්ලවයෙන් පසුව වුවත්, ඇගේ දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ අත්දැකීම් ඇසුරෙන් මෙන් ම ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කිරීමෙන් ඇය ලද අත්දැකීම්වලින්, ෂා බලයෙන් පහ කිරීමෙන් පසුව තම රටෙහි ඇති වී ඇති පරිවර්තනය වටහා ගෙන තිබේ.
බීබීසී ලෝක සේවයේ කාන්තාවන් පිළිබඳ තොරතුරු වර්තාකරිනියක වන ඉරාන මාධ්‍යවේදිනී ෆෙරනාක් අමිඩි සඳහන් කරන ආකාරයට, මෙම පරිවර්තනය, මුල් කාලයේදී, ඇඳුම් පැළඳුම්වලින් ඔබ්බට ගිය පරිවර්තනයක් විය.
“විප්ලවයට පෙර අපි ස්ත්‍රී පුරුෂ භේදය නො සළකා හැරීමට පුරුදු වී සිටියෙමු. නමුත් 1979 න් පසු පාසල් ගැහැනු – පිරිමි ලෙස වෙන් කරන ලද අතර, එකිනෙකාට ඥාතිත්වයක් නො මැති කාන්තාවන් සහ පිරිමින් එකිනෙකා හා මිත්‍රශීලිව කටයුතු කර හසු වුවහොත් අත්අඩංගුවට ගනු ලැබිණි.”
“මම නව යොවුන් වියේදී මිතුරන් පිරිසක් සමඟ පීසා අවන්හලක සිටි නිසා ඉරාන සදාචාර පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා.”
“1979 ට පෙර, රාත්‍රී සමාජශාලා සහ විනෝදාස්වාද ස්ථාන තිබූ අතර මිනිසුන්ට කැමති පරිදි සමාජශීලි වීමේ නිදහස ලැබී තිබුණි.”
විප්ලවයට පෙර කාලයේ චිත්‍රපට ද, එකල කාන්තාවන්ට බටහිර හෝ වඩා සාම්ප්‍රදායික ඇඳුම් අතුරින් තමන්ගේ කැමැත්ත තෝරා ගැනීමේ ඉඩ තිබූ බවට සාක්ෂි සපයයි.
“ඒවායේ ඔබට විවිධ ඇඳුම් විලාසිතාවන් දැකීමට හැක. ඇතැමුන් කළු වේල් හෝ ශරීරය ම වැසෙන සාම්ප්‍රදායික ඇඳුම් හැඳ සිටිති. එහෙත් ඒ ඔවුන්ට රිසි පරිදි මිස රජයට අවශ්‍ය ආකාරයට නොවේ.”
රාජ වංශයක්
1979 විප්ලවයට පෙර ඉරානය පාලනය කරනු ලැබුවේ, කුමන්ත්‍රණයකින් බලයට පත් වූ පැහැලවි රාජවංශය විසිනි.
1926 දී කුමන්ත්‍රණයේ නායක රේසා ඛාන්, ‘රේසා ෂා පැහැලවි’ නමින් කිරුළු පැළඳි අතර ඔහුගේ පුත් මොහොමඞ් රේසා පැහැලවි ඔටුන්න හිමි කුමරු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පසුව, ඔහු අවසන් ‘ෂා’ බවට පත් විය.
‘සහමුලින් ම ප්‍රතිසංස්කරණය කරන ලද ජීවිත: කාන්තාවන් සහ ඉරාන ඉස්ලාමීය විප්ලවය’ කෘතියේ කතුවරයා වූ හේලේ එස්ෆන්ඩියාරි සමඟ කෙරුණු ගුවන් විදුලි සංවාදය ඇසුරෙන්, විල්සන් චින්තන මධ්‍යස්ථානය විසින් 1997 දී ලිපියක් සම්පාදනය කෙරිණි.
1978 දී ඉරානය හැර ගිය එස්ෆන්ඩියාරි, වසර 14 කට පසු ආපසු පැමිණෙන්නේ විප්ලවය නිසා කාන්තාවන්ට සිදු වූ බලපෑම විමර්ශනය කිරීමට ය.
“ඉරානයේ කාන්තා ව්‍යාපාරය ආරම්භ වූයේ 19 වැනි සියවසේ අගභාගයේදී, ව්‍යවස්ථා විප්ලවය අතරතුර දී කාන්තාවන් පාරට බැසීමත් සමඟ” බව එම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා කියා සිටියේ ය.
ඉන් පසුව බොහෝ දෙනෙක් ගැහැනු ළමුන් සඳහා පාසල් විවෘත කිරීම, කාන්තා සඟරා පළ කිරීම වැනි සමාජ ව්‍යාපෘති ආරම්භ කළ හ.
මෙම කාන්තා පිබිදීම ටෙහ්රාන් අගනුවරදී ආරම්භ වූ අතර, එය අනෙකුත් පළාත් හා සම්බන්ධ කිරීමට ගත් උත්සාහ හේතුවෙන් කාන්තා ව්‍යාපාරය වර්ධනය විය.
හිස් ආවරණය කිරීමේ ඉස්ලාමීය සිරිත
20 වන ශතවර්ෂයේ ආරම්භයේ සිට ම, රටේ නායකත්වය දිනාගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට කාන්තා ඇඳුම් පත් ව තිබිණි.
“නූතන ඉරානයේ පියා වන රේසා ෂා පැහැලවිගේ යුගයේදී, 1936 වන තෙක් ම ඉරානය හිස් ආවරණ නිල වශයෙන් අහෝසි කර නො තිබිණි” යි යනුවෙන් කතුවරයා සඳහන් කළේ ය.
වසර ගණනාවකට පෙර, රේසා ෂා පැහැලවි විසින් ඉස්ලාමීය හිස් ආවරණ ප්‍රසිද්ධියේ ඇඳීමෙන් වැළකීමට මෙන් ම, සාම්ප්‍රදායික දිගු ඇඳුම වෙනුවට හිස වසන සළුවක් පැළඳීමට කාන්තාවන් උනන්දු කර තිබේ.
“ඉස්ලාමීය හිස් ආවරණය නිල වශයෙන් අහෝසි කිරීම, කාන්තාවන්ගේ ජයග්‍රහණයක් පමණක් නොව, ඛේදවාචකයක් ද විය. මන්ද යත්, 1979 දී හිස් ආවරණ අනිවාර්ය කළ ඉස්ලාමීය ජනරජයේ දී මෙන් ම මෙහිදී ද ඔවුනට සිය තෝරා ගැනීමේ අයිතිය අහිමි කෙරුණි.”
මෙහිදී බොහෝ කාන්තාවන්ට “වේල් නොමැතිව පාරේ යෑමට බල කෙරුනි, එයින් ඔවුන්ට නින්දාසහගත බවක් සහ නිරාවරණය වූ හැඟීමක්” ඇතිවිය.
කෙසේ වෙතත්, අවසාන ෂාගේ පියා, කාන්තාවන්ට ධනාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කළ බව ද එස්ෆන්ඩියාරි පවසයි.
ධවල විප්ලවය
1941 දී ඔහුගේ පුත් මොහොමඩ් රීසා බලයට පත් වූ අතර, අමිඩි පවසන්නේ ඔහුගේ පාලන සමයේදී රට නවීකරණය වීම ආරම්භ වූ බවයි.
එම ක්‍රියාවලිය ධවල විප්ලවය ලෙස හැඳින්වුණු වූ අතර එය, 1963 වසරේදී කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන් ම, පිරිමින්ට හා සමාන දේශපාලන අයිතිවාසිකම් ද ලබා දුන්නේ ය.
ඊට අමතරව ටෙහ්රානයෙන් පිට පළාත්වල අධ්‍යාපන ප්‍රවේශය වැඩි දියුණු කිරීමට කටයුතු කෙරිණි.
එමෙන් ම ඔහුගේ පාලන සමයේදී, විවාහය සහ දික්කසාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පවුල් ආරක්ෂණ නීතියක් සම්මත කරන ලදී.
නීති සම්පාදනය හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් පුළුල් වූ බවත් අමඩි පවසන්නී ය.
“පවුල් ආරක්ෂණ නීතිය ගැහැණු ළමයින් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 13 සිට 18 දක්වා ඉහළ නැංවූ අතර දික්කසාද වීමේදී කාන්තාවන්ට වැඩි වාසි අත්කර දීමට සමත් විය.”
එමෙන් ම එයින් පිරිමින්ට විවාහ විය හැකි කාන්තාවන් ගණන එකකට සීමා කෙරිණි.
“කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මේ සියල්ල ඉතා ප්‍රගතිශීලී තීරණ විය”
ෂා, ඒකාධිපතියෙකු වූ නමුත්, ප්‍රගතිශීලී තීරණ ගන්නා නායකයෙකු වූ අතර, ඔහු බටහිර සංස්කෘතියට ලැදි වූ හෙයින් ජීවන රටාවට හුරු ක්‍රමයක් ඉරානයේ ස්ථාපනය කිරීමට උත්සහ කළේ ය.
දෛනික ජීවිතය
කාන්තාවන් බලතල සහිත තනතුරුවලට පැමිණිය හ. “අපිට කාන්තා ඇමතිවරු, විනිසුරුවරු හිටියා,” රහීම්පූර් සිය මතකය අවදි කරමින් පවසයි.
එහෙත් ධවල විප්ලවයේ පොරොන්දු ඉටු නො කරමින්, ‘කාන්තාවන් තවමත් සාම්ප්‍රදායික භූමිකාවන්ට සීමා වී සිටින බව අමිඩි පවසන්නී ය.
එමෙන් ම පාර්ලිමේන්තුවේ කාන්තාවන් සිටි බව ඉස්මතු කරන අතරේ ම, ‘ඔවුන් දේශපාලනයට එතරම් සක්‍රීයව සහභාගී නොවූ බවත් සඳහන් කිරීමට ඇය අමතක නො කළා ය.
“නමුත් ඒ මීට අඩ සියවසකට පමණ පෙර යුගයක් බව අප මතක තබා ගත යුතු ය. ඒ කාලයේ ඉරානයේ පමණක් නොව, ලොව පුරා ම කාන්තාවන්ට එතරම් දේශපාලන බලයක් හිමි වී තිබුණේ නැත.”
එය එසේ වූවත්, ඇගේ සමකාලින කාන්තාවන් රැසක් ම සමාජයේ විශාල කාර්යභාරයන් ඉටු කළ බව ඇයට මතක ය. “ඔවුන්ට විචිත්‍ර සමාජයීය පැවැත්මක් තිබුණි” යි ඇය සිහිපත් කරන්නී ය.
කාන්තාවන්ගේ සැලකිලිමත්භාවය
මොහොමඩ් රේසාගේ බිරිඳ වන ෆාරා පැහැලවි රැජින, ඉරානයේ කලාව හා සංස්කෘතිය කෙරෙහි ඇති කළ බලපෑම ඇති විශාල බවත් අමිඩි පෙන්වා දෙයි.
1950 ගණන්වල ආරම්භ වී 1960 සහ 1970 දක්වාම පැවති ඉරානයේ කලාවේ සමෘද්ධිමත් යුගය, නිව් යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඉස්ලාමීය කලා අංශයේ මරියම් එක්ත්‍රියා සහ ජූලියා රූනි විසින් සම්පාදනය කරන ලද ලිපියකට මාතෘකාව වී තිබේ.
“මෙම දශක කිහිපය තුළ, ඉරානය ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයට විවර විණි”යි එහි සඳහන් ව තිබේ.
එලෙස එම දශකයේදී ඉරානයේ කලාව සංවර්ධනය වීමට මූලිකම හේතුව වූයේ එම කාලයේදී ඉරානය අත්විඳිමින් තිබූ ආර්ථික සමෘද්ධියයි.
නමුත් ඉරානය සතුව ඛනිජ තෙල් විශාල ප්‍රමාණයක් තිබුණද, ඇති බහුතරයක් ඉරාන වැසියන්ට ඉන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී තිබුණේ ද නැත.
ෂා සහ ඔහුගේ බිරිඳ කලාවට සහයෝගය දුන්නද, මෙම අසාධාරණ ධනය බෙදී යාමේ යථාර්ථයට ඉරාන කලාකරුවන් අන්ධ වූයේ නැත. එමෙන් ම ඊට විරුද්ධ වූවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත්ව සිටිය හ.
මෙම කතුවරුන්ට අනුව නහිඩ් හැගගාඩ් යනු, විප්ලවයට පෙර වසරවලදී, කාන්තාවන්ට සිදු විය හැකි දේ පිළිබඳව සිය කණස්සල ප්‍රකාශකළ කලාකාරියන් අතුරින් කෙනෙකි.
“රජය විසින් දැඩිව හසුරුවනු ලබන, පුරුෂ මූලික සමාජයකදී කාන්තාන්වන්ට ඇති විය හැකි බිය සහ ආතතිය ඇගේ චිත්‍ර හරහා ඇය ඉදිරිපත් කළා ය.”
උරෙන් උර ගැටී
1971 කාලය වන විට, තමන් “ෂහන්ෂා” නොහොත් “රජවරුන්ගේ රජු” ලෙස ප්‍රකාශ කිරීමට මොහොමඩ් රේසා කටයුතු කළේ ය. එමෙන් ම එම කාලය වන විට ඔහු ලොව ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකු පමණක් නොව ඉරානයේ පරම නායකයා ද වී සිටියේ ය.
එමෙන් ම සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ඔහු වඩාත් මර්දනකාරී ද විය.
“විප්ලවයට පෙර පැවැති පාලනය තුළ මිනිසුන්ට සමාජ නිදහස තිබුණත් දේශපාලන නිදහස තිබුණේ ම නැති තරම් “යි රහීම්පූර් පවසා සිටී.
“එය විශාල ප්‍රශ්නයක් වී තිබුණි. සියලුම දේශපාලන පක්ෂ රජු විසින් පාලනය කළ අතර, බලා සිටිනව විනා කළ හැක්කක් තිබුණේ නැත. මාධ්‍ය නිදහසක් නොතිබුණි, ඕනෑම ආකාරයක දේශපාලන ක්‍රියාකාරකමක්, සිරගත වීමට හේතුවක් විය හැකිව තිබිණි…”
සමාජ පීඩාව අවසානයේ පුපුරා ගිය අතර, 1978 දී ෂා පාලනයට එරෙහිව දැවැන්ත වීදි විරෝධතා ආරම්භ විය.
එස්ෆන්ඩියාරිට අනුව, ෂා පාලන සමයේදී කාන්තාවන් ලබා ගත් දියුණුව, කෙමෙන් කෙමෙන් නැති වී යාමට පටන් ගැනින.
“සමාජයෙන් සිය පාලනය කෙරෙහි සාම්ප්‍රදායික කණ්ඩායම්වලින් එල්ලවන විවේචන වැඩිවත් ම ඊට ප්‍රතිචාර වශයෙන්, ෂා තීරණ ගැනීමේ තනතුරු සඳහා කාන්තාවන්ට ලබා දී තිබූ ඉඩ සෙමෙ සෙමෙන් ඉවත් කරගත්තේ ය.
“ඉස්ලාමීය විප්ලවයට දැඩි ලෙස ආගමික මත නො දරන ඉරාන ජාතිකයින් පවා සහාය දැක්වූ හ.” රහීම්පූර් පවසන්නී ය. “ඒ බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්’ පමණි.”
“එයට ලිබරල්, කොමියුනිස්ට් සහ ආගමික යන සියලුම කණ්ඩායම්වල සහයෝගය ලැබුණි”.
කාන්තාවන්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් නිදහස හෝ ඔවුන් කෙතරම් ආගමික ද යන්න නො සලකා ෂාගේ බිඳ වැටීමට හේතු වූ 1979 බලවේගයේ කොටසක් බවට පත් වූහ.
“විප්ලවයට තුඩු දුන් පාගමන් තුළ, හිස් ආවරණ නොමැති විවිධ වෘත්තීන්වල නියැළෙන කාන්තාවන් මෙන් ම සම්ප්‍රදායික කළු හිස් ආවරණ පැළඳි ගතානුගතික සමාජ පසුබිම්වල කාන්තාවන් ද සිටියහ. එමෙන් ම ඔවුන්ගේ දරුවන් ද සමඟ මෙම පා ගමන්වලට සහභාගී වූ පහළ සහ මධ්‍යම පන්තික පවුල්වල කාන්තාවන් ද වූහ.
මෙම විප්ලවය තමන් වෙත ආර්ථික දියුණුවක් මෙන් ම සමාජයීය දියුණුවක් ගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම සියලුම කාන්තාවෝ උරෙන් උර ගැටී විරෝධතාවලට එක් වූහ. සියල්ලටත්මත් වඩා, මෙම විප්ලවය මගින් ඔවුන්ගේ නෛතික තත්ත්වය වැඩිදියුණු වෙතැයි ඔවුන් අපේක්ෂා කළ හ.” යි එස්ෆන්ඩියාරි සිහිපත් කළා ය.
විවිධ දර්ශනයන්
ඉස්ලාමීය විප්ලවයට පෙර කාන්තාවන්ට ‘නිසැක ලෙස ම වඩා ස්වාධීන බවක්’ දැනුණු බවක් අමිඩි විශ්වාස නොකරයි.
“ඉරානය එවිටත් ඉතා ගතානුගතික සහ ආගමික සමාජයක් විය. නමුත් එදා එම සාම්ප්‍රදායික හා ගතානුගතික රාමුව බිඳ දමා, වඩා නිදහස් සහ සවිමත් වීමට මෙන් ම, සමාජයේ වැඩි ඉඩක් ලබා ගැනීම වෙනුවෙන් දේශපාලනික වෙනසක් සඳහා කාන්තවන් තුළ කැමැත්තක් තිබිණි.”
නමුත් එය කිසි විටෙකත් අපේක්ෂිත ලෙස ඉටු නො වූ බව ඇය පැහැදිළි කරන්නී ය.
රහීම්පූර්ට අනුව, ඉස්ලාමීය විප්ලවයට පෙර කාන්තාවන්ට වඩා ස්වාධීන සහ බල ගැන්වීමක් දැනුණේද පිළිබඳව ඇත්තේ පරස්පර විරෝධී අදහස් ය.
“වඩා ආගමික අදහස් දරන කාන්තාවන් පවසන්නේ විප්ලවයෙන් පසුව ඔවුන්ට ජීවත් වීම වඩාත් සුවපහසු වූ බවයි. එහෙත් වඩා නිදහස් අදහස් දරන කාන්තාවන් ඔවුන් සමඟ එකඟ වන්නේ නැත.”
“ඉරාන සමාජයේ දැඩි ලෙස ආගමික මත දරන කොටසක් සිටින බව ඔබ අමතක නොකළ යුතුය.
එමෙන් ම නව සමාජ පද්ධතියක් අපේක්ෂා කරන පිරිසක් ද සිටිති.”
බටහිර ඇඳුමින් සැරසී හිස් ආවරණ නොමැතිව සිටින ඉරාන කාන්තාවන්ගේ සංරක්ෂිත ඡායාරූප දුටු ඉරාන කාන්තාවක් මට පැවසුවේ, මෙම ඡායාරූප විප්ලවයට පෙර පොදු කාන්තා ජීවිතය නියෝජනය කරන ඡායාරූප නො වන බවයි.”
විවිධ වයස්වල බොහෝ කාන්තාවන්, හිජාබය හෝ හිස් ආවරණය සහිත වඩාත් ගතානුගතික ඇඳුම් තෝරා ගත්තේ වර්තමානයට සාපේක්ෂව සමාජය බොහෝ දුරට සම්ප්‍රදායික සහ ආගමික වූ බැවින් විය හැක.”
විරෝධතා
බොහෝ ඉරාන ජාතිකයන් නිදහස අපේක්ෂාවෙන් විප්ලවයට සම්බන්ධ වූ බව පවසන රහීම්පූර්, ඔවුන්ගේ එම අපේක්ෂාවන් ඉතා ඉක්මනින් ම නැති වී ගිය බවත් පවසන්නී ය.
“විප්ලවයෙන් පසුව, බොහෝ සාම්ප්‍රදායික පුද්ගලයන්, කාන්තාවන්ගේ කෙටි සායවලින් සහ ගැහැනු සහ පිරිමි අතර වූ නිදහසෙන් අපහසුතාවයට පත්වන බව අපට පෙනෙන්නට විය. සත්‍ය වශයෙන් ම ඔවුන් ද විප්ලවයට එකඟ වූයේ ද විපලවයෙන් පසුව ඒ නිදහස ඇහිරෙන බැවිනි.”
කෙසේ වෙතත්, ඇය පවසන්නේ තදබල ලෙස ආගමික ගැඹුරුවක් ඇති ඉරාන ජාතිකයන් බොහොමයක් පවා හිස් ආවරණයක් පැළඳීම ‘කැමැත්ත අනුව තෝරා ගැනීමේ’ තීරණයක් විය යුතු යයි සිතන බවයි.
“එය බලහත්කාරී දෙයක් වූ විට එය ආගමක් වීම නතර වේ.”
හිජාබ් නීතිවලට අවනත නොවූ බවට චෝදනා කරමින් විසි දෙ හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසු ඉරානය පුරා විරෝධතා ඇතිවී තිබේ.
මහසා අමිනී මිය ගියේ ඇයට තිබූ අයහපත් සෞඛ්‍මය තත්ත්වයක් නිසා බව බලධාරීන් පැවසුවත්, ඇගේ පවුලේ අය සහ බොහෝ ඉරාන ජාතිකයන් විශ්වාස කරන්නේ පොලිස් පහර දීමෙන් ඇය මිය ගිය බවයි.
මෑත වසරවලදී ඉරාන රජය මුහුණ දුන් බරපතලම අභියෝග බවට පත්වෙමින් යන මෙම විරෝධතා ඉරාන මහජන විරෝධයේ නව පරිච්ඡේදයක් බවට වී තිබේ.