22 වැනි සංශෝධනයට මොකද වෙන්නේ ?

22 වැනි සංශෝධනයට මොකද වෙන්නේ ?

  • October 7, 2022
  • No Comment
  • 43

ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා විසින් සැකසූ 1978 ව්‍යවස්ථාව ගත වූ වසර 44 තුළ වාර 21 ක් සංශෝධනය කර තිබේ. මේ වන විට 22 වන සංශෝධය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර 17 වැනි සංශෝධනයේ සිට 22 වැනි සංශෝධනය දක්වා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධන කර ඇත්තේ ඊට පෙර ගෙන ආ සංශෝධයන නැවතත් සංශෝධය කිරීමටය.

රටේ පත්වූ විවිධ ආණ්ඩු ජනපතිවරයාට ඇති අසීමිත බලය පාර්ලිමේන්තුවට ගැනීමට හෝ අවම කිරීමට විවිධ සංශෝධන 17 වැනි සංශෝධනයේ සිට ගෙන ආ වත් ඉන්පසු පත්වන රජයන් එම බලය කප්පාදුවට එරෙහිව නැවත සංශෝධන ඉදිරිපත් කර ඇත.

22nd amendment Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඒ අනුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නට 18 ගෙන ආ අතර 18 අහෝසි කරන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් විය. 19 වෙනස්කිරීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් විය.

මේ වන විට ඉදිරිපත් වී ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මොකද වෙන්නේ? ඒ, විපක්ෂය මෙන්ම රටේ ජනතාව විමසන ප්‍රශ්නයකි. කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ, 22 වැනි සංශෝධනයට බාලගිරි දෝෂය ලබා ඇති බවය.

22 මොකටද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රටට තුළ ඇතිවු බරපතල කඩාවැටීමට හේතුව ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදුන් 20 වැනි සංශෝධනය බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකහෙලා අවධාරණය කළ කාරණයකි.

මේ හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සීමාකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බව ඔවුහූ අවධාරණය කළහ.

ඒ අනුව විපක්ෂය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උත්සහ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට එමඟින් යෝජනා කෙරිණ.

ඒ අතරතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව ඔහු අධිකරණ අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉල්ලා අස්කර ගෙන අණ්ඩුවේ යෝජනාවක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය ඔහු විසින් අමාත්‍යවරයා ලෙස යළි ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ගැසට් කෙරේ 22 අඩංගු මේ මූලික කරුණු ගැන ඔබ දන්නවාද ?

ඒ අනුව මෙය ඊයේ (ඔක්තෝබර් ) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය තවදුරටත් කල්දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවධාරණය කළේ 22 වැනි සංශෝධනයේ ඇතැම් කරුණු ප්‍රශ්න සහගත බවයි.

විදේශීය ද්විත්ව පුරවැසියෙකුගේ බලපෑමට මේ රටේ ජනතාවගේ අනාගතය විනාශ කරන්නේ විපක්ෂය නොව ආණ්ඩු පක්ෂය විසින්ම බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කළහ.

22 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ සාධනීය බලතල කප්පාදුවක් සිදුවනවාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියේය.

අවලංගු කර ඇති ද්විත්ව පුරවැසි භාවය යළි ගෙන එන්නේද, වසර දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබෙන අයිතිය හතර හමාර කරන්නේද යන්න පිළිබඳ අගමැතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂා කළද එතුමන් ඊට සාධනීය පිළිතුරු නොදුන් බවද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

22 වැනි ව්‍යස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ සාධනීය බලතල කප්පාදුවක් සිදුවන්නේද නැද්ද යන්න පිළිබඳව ද නිසි පිළිතුරක් දීමට අපොහොසත් වීම නිසා ඊට සහාය නොදීමට අකමැත්තෙන් වුවද තීරණය කිරීමට සිදුවුණු බව විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

“රට මුලා කරන, රට අන්දවන ප්‍රෝඩාවක් වෙන්න බැහැ. සත්‍ය වෙන්න ඕන. ඇත්ත වෙන්න ඕන. අප සූදානම් විපක්ෂයේ සියලුදෙනත් එක්කම එකතු වෙලා සාකච්ඡා කරන්න. හොඳ ධනාත්මක තැනට එකතු වෙමු. මුලින් මන්ත්‍රී කණ්ඩායම හදා ගන්න යැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරයකදී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 18 වැනි දා ආරම්භ වේ.

22 වැනි සංශෝධනයෙන් අරමුණු කළ කරුණු :

  • ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.
  • මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.
  • ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතුය.
  • යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
  • දුෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. – දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.
  • අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.
  • අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.
  • ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.
  • ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.
  • ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය : ”මිනිස්සුනේ බඩ පුරවන වැඩක් මේ වෙලාවේ ඕනා.”

22 වැනි සංශෝධනය කියන්නේ දවල් හීනයක්

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිය සිටියේ 22 වැනි සංශෝධනය කියන්නේ දවල්හීනයක් පමණක් වී ඇති බවයි.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ “මම තුන්වැනි වතාවටත් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නේ. මංදැක්කා මේ සභාවේ හැම පාර්ලිමේන්තුවෙන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධන ආවා. හැමදාම ව්‍යවස්ථා සංශෝධන ආවත් හුඟක් වෙලාවට වුණේ අගමැතිගේ බලය ජනාධිපතිට යනවා. ආපහු එහෙන් කපලා පාර්ලිමේන්තුවට දානවා. ආයත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිට දානවා.” යනුවෙනි.

“හැබැයි මේ මොනවා කළත් අපි දැක්කා රට තිබුණේ එකම තැන. රට වෙනස් වුනේ නැහැ. එගොල්ලෝ හැමදාම ජනතාවගේ අවදානය වෙන වෙන පැතිවලට යොමු කරන්න මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා එක එක දේශපාලන නාඩගම් නැටුවා.” ඔහු පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කළේ “මේ රටේ තියෙන ප්‍රශ්නය ව්‍යව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙමේ. මේ රටේ තියෙන ප්‍රශ්නය තමා දේශපාලනඥයෝ දූෂිතයි. දේශපාලනඥයෝ දූෂිත වුණාම කොච්චර ලස්සනට ව්‍යවස්ථා ගෙනාවත් වැඩක් නැහැ. ලෝකයේ රටවල් තියෙනවා ව්‍යවස්ථාක් නැති රටවල්. එංගලන්තය වගේ රටවල්. ඒ රටවල්වල ඉතාම ලස්සනට සියලු දේ සිද්ධ වෙනවා.”

“දේශපාලනඥයෝ දුෂිත නිසා මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතියක් තියෙනවා. මේක මාලුවයි. වතුරයි වගේ. දූෂිත සංස්කෘතිය නිසා දූෂිත දේශපාලනඥයෝ ආරක්ෂා වෙනවා. දුෂිත දේශපාලනඥයෝ නිසා දුෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා වෙනවා. මේ සංස්කෘතිය නිසාම දුෂණය වැඩි වෙලා රට කඩා වැටිලා රටේ දුප්පත්තු වැඩි වෙලා ඉන්නවා.” සරත් ෆොන්සේකා අවධාරණය කළේය.

අධිකරණ ඇමති කියන්නේ කුමක්ද ?

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේය.

ප්‍රජාත්‍රන්තවාදී පැවැත්ම සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ඇස් ඇර, මොළය පාවිච්චි කර මෙම අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

ජනතාවගේ හැගීම් තේරුම් නොගනිමින් මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිවිපාක රටේ අසරණ ජනතාවට භුක්ති විඳීමට සිදුවන බවද විජයදාස රාජපක්ෂ අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන එන සංශෝධන සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් පොදු මහජනතාවගේ හිතසුව පිණිස ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *