2022 ලෝක කුසලානය: FIfaහි දිගුකාලීන ‘බියර්’ සටනේ පසුබිම් කතාව
- November 23, 2022
- No Comment
- 160
“[මේක] බලාපොරොත්තු සුන්වීමක්,” සිය කණ්ඩායමේ තරගයෙන් පසු පිටියෙන් නික්ම යමින් සිටි ඉක්වදෝර ක්‍රීඩා රසික හොසේ පවසයි.
“මං [මධ්‍යසාර ප්‍රතිශතය] බිංදුවේ [බියර්] එකක් ගත්තා. අඩු ගානේ ඒකේ රසක් හරි තිබුණා.”
“100%ක් හරි,” එමිලියෝ ද කතාබහට එක්වෙයි. “බියර් ඉල්ලමින් එක්ව ගායනා කළ අය හිටියා.”
කටාර්හි ක්‍රීඩාංගණවල බියර් අලෙවි නොකිරීමට අවසන් මොහොතේ ගත් තීරණය, FIFA මත්පැන් සම්බන්ධයෙන් සිදුකළ දිගුකාලීන සටන් මාලාවේ නවතම පුවත යි.
මින් පෙර ලෝක කුසලාන තරග කිහිපයක සිටම තරගාවලි සත්කාරකත්වය අළලා, යටත්විජිතවාදය සහ රසික ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් FIFA චෝදනා ලබා ඇත.
FIFA මත්පැන් තහනමට පක්ෂවීම
Fifaහි මත්පැන් සම්බන්ධ මෑතකාලීන ගැටළු සියල්ලම පාහේ ඇතිවූයේ සත්කාරක රාජ්‍යය මත්පැන් විකුණීම සඳහා පෙළඹවීමට තැත්කිරීම නිසාවෙන් වුව ද, ක්‍රීඩාංගන තුළ මත්පැන් විකිණීමෙන් වැළකිය යුතුයැ යි කීමට එය හුරුව සිටියේ ය.
2004 දක්වාම එහි ප්‍රධාන තරගාවලි සඳහා වූ නීති මාලාවේ සඳහන් වූයේ, සංවිධායකයින්ට පිටිය තුළ මත්පැන් විකිණීම තහනම්බවත්, මත්පැන් පානය කර සිටින ඕනෑම අයෙකු ක්‍රීඩාංගණයෙන් ඉවත් කරනු ඇතිබවත් ය.
නමුත් පාපන්දු ලෝක පාලක මණ්ඩලය මෙම ප්‍රතිපත්තිය ඉවත් කිරීමට සහ ලෝක කුසලාන තරගවල දී මත්පැන් අලෙවි කිරීම උනන්දු කරවීමට ගත් තීරණය ඇතැම් සත්කාරක රටවල කැමැත්ත දිනා තිබේ.
බ්‍රසීලයේ තහනම ඉවත් කිරීම
2014 ලෝක කුසලාන සත්කාරකත්වය බ්‍රසීලයට පිරිනැමීම යෝග්‍ය තීරණයක් බව පෙනෙන්නට තිබුණි.
තරගාවලිය පස් වරක් ජයග්‍රහණය කළ මෙම දකුණු ඇමරිකානු රාජ්‍යයේ බියර් ද ඉතා ජනප්‍රිය විය.
නමුත් බොහෝ රටවල මෙන් බ්‍රසීලයේ ද රසිකයින්ගේ උද්‍යෝගය ඇතැම් අවස්ථාවල දී ප්‍රචණ්ඩත්වයට හැරෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, 2003 දී බ්‍රසීලයේ පාපන්දු තරගවල දී මත්පැන් විකිණීම හා පානය තහනම් කරන ලද්දේ මැරකම් සහ ප්‍රතිවාදී ආධාරකරුවන් අතර ඇති වන ගැටුම් මැඬලීමේ පියවරක් ලෙස ය.
නමුත් Fifaහි දිගුකාලීන හවුල්කරු බඩ්වයිසර් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයාවීම නිසා, සත්කාරකයින්ට සෘජුවම දන්වනු ලැබුවේ එම නීතිය වෙනස් කිරීමට ඔවුනට සිදුවනු ඇතිබව යි.
“මධ්‍යසාර පානයන් ෆිෆා ලෝක කුසලානයේ කොටසක්, ඒ නිසා අපි ඒවා බොන්න යි යන්නේ. මම ටිකක් අහංකාරයි වගේ දැනෙනවා නම් සමාවෙන්න, නමුත් මේක සාකච්ඡාවට විවෘත තීරණයක් නෙවෙයි,” ෆීෆාහි එවකට ප්‍රධාන ලේකම් ජෙරම් වැල්ක පැවසීය.
“බියර් විකිණීමේ අයිතිය අපට තිබෙනවා යන්න නීතියේ කොටසක් බවට පත්විය යුතු යි.”
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වෙනසට විරුද්ධ වූ අතර, එරට ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයෙකු වූ මාකෝ ඔරේලියෝ ගාෂියා, වැල්ක “කමකට නැති එකෙකු”, “යටත්විජිතවාදියෙකු”, හා “කට හැකරයෙකු” වශයෙන් හංවඩු ගැසීය.
මෙසේ විරෝධතා පැවතිය ද, 2014 වසරේ බ්‍රසීලය තරගාවලිය අතරතුර තරගාවල දී මත්පැන් විකිණීමට අවසර දෙන ලෙස නීතිය වෙනස් කළේය.
තරගය අතරතුර ප්‍රතිවාදී රසිකයින් අතර ගැටුම් කිහිපයක් ඇතිවිය. රියෝ ද ජැනයිරෝහි දී උරුගුවේ හා කොලොම්බියාව අතර තරගය ඇතුළු අවස්ථා කිහිපයක ඇතිවූ ගැටුම් විසඳීම සඳහා මැදිහත්වීමට බලධාරීන්ට සිදුවිය.
ජෙරම් වල්ක ඊට ප්‍රතිචාර වශයෙන් බ්‍රසීලියානු ක්‍රීඩා රූපවාහිනී ජාලයක් වන SporTV වෙත පැවසුවේ “බීමත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සහ මත්පැන් ප්‍රමාණය ගැන මම පුදුම වුණා,” යනුවෙනි.
අනාගතයේ දී Fifa හට ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමට සිදුවේදැ යි ඇසූ විට ඔහු මෙසේ පැවසීය: “[මත්පැන් අලෙවිය] පාලනය කිරීමට අවශ්‍යයැ යි අපි සිතනවා නම්, අපි ඒක පාලනය කරනවා.”
රුසියාව මත එල්ලවූ පීඩනය
නමුත් 2018 රුසියාවේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේ දී ද Fifa ප්‍රතිපත්තිවල විශාල වෙනසක් සිදුවූයේ නැත.
බ්‍රසීලය මෙන්ම රුසියාව ද, ප්‍රධාන ක්‍රීඩා උළෙලවල දී මත්පැන් සීමා කිරීම සම්බන්ධයෙන් දිගුකාලීන ප්‍රතිපත්තියක් දරයි.
2005 දී එරට රජය ක්‍රීඩාංගණවල මත්පැන් අලෙවිය සහ ඒ පිළිබඳ දැන්වීම් පළ කිරීම තහනම් කළේ ය.
2014 වසරේ සෝචිහි පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලට ප්‍රධාන මධ්‍යසාර අනුග්‍රාහකයෙකු නොසිටි අතර, 2012 දී රුසියාව රූපවාහිනිය, අන්තර්ජාලය සහ මුද්‍රිත මාධ්‍යවල මත්පැන් ප්‍රචාරණය සම්පූර්ණයෙන් තහනම් කළේ ය.
නමුත් ඊළඟ වසරේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලෝක කුසලාන තරගවල දී මත්පැන් අලෙවි කිරීමට සහ බියර් ප්‍රචාරණය කිරීමට එරෙහිව පනවා තිබූ නව සීමාවන් තාවකාලිකව ලිහිල් කරන නව නීතිවලට අත්සන් තැබීය.
රොස්තොව් ප්‍රදේශය එහි ප්‍රාදේශීය ක්‍රීඩාංගණ “මහජනයා රැස්වන ප්‍රදේශ” ලෙස නම් කරමින් මත්පැන් අලෙවිය තහනම් කිරීමට උත්සාහ කළ නමුත්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නේයැ යි තර්ජන ලැබීම නිසා පසුබැස්සේ ය.
ආගමික විරෝධතා
මත්පැන් පිළිබඳ ගැටළු මතුවූයේ FIFA සහ ලෝක කුසලාන සත්කාරක රටවල් සම්බන්ධයෙන් පමණක් නොවේ.
Euro 2022 තරගාවලියේ අනුග්‍රාහකයෙකු වන හයින්කන්හි බීර බෝතල් මේසය මත තබාගෙන මාධ්‍ය සාකච්ඡාවන්ට සහභාගීවීමට ක්‍රීඩකයින් විරෝධය පළකිරීම නිසාවෙන් Uefa (යුරෝපා පාපන්දු සංගම් එකතුව) ඔවුන් හා ගැටුණි.
එහි එක් තරගයකට පසු පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ප්‍රංශ මැදපෙළ ක්‍රීඩක පෝල් පොග්බා ප්‍රශ්නවලට පිළිතුරුදීමට පෙර බීර බෝතලය මේසය මතින් ඉවත් කළේ ය.
පොග්බා මෙන්ම මුස්ලිම් වාර්ගියෙකු වූ කරීම් බෙන්සීමා ද මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ බීර බෝතලයක් මේසය මත නොමැතිව ය.
මෙම අවස්ථා දෙකේ දීම තරගාවලි සංවිධායකයින් විසින් සපයන ලද බීර වර්ගය වූයේ හයින්කන්හි මධ්‍යසාර රහිත 0.0% නිෂ්පාදනයවුව ද, ප්‍රමුඛ බීර නිෂ්පාදකයෙකු සමග ඈඳීමට ක්‍රීඩකයින් විරුද්ධ වූ බවක් පෙනෙන්නට තිබුණි.
Uefa පසුව පුහුණුකරුවන්ගෙන් සහ ක්‍රීඩකයන්ගේ අවසරය ඇතිව මාධ්‍ය සාකච්ඡා මේස මත හයින්කන් බෝතල් තැබීමට එකඟ වූ නමුත් තරගාවලියේ අනෙකුත් අනුග්‍රාහකයින්ට විරුද්ධ වුවහොත් කණ්ඩායම්වලට දඩ නියම වනබවට අනතුරු ඇඟවීය.
කටාරයේ තහනම
2022 ලෝක කුසලානය පැවැත්වෙන්නේ ආගමික පදනම මත විරෝධතා ඇති, රට පුරා මත්පැන් අලෙවිය සඳහා දැඩි සීමාවන් පනවා ඇති සත්කාරක රාජ්‍යයක ය. මේ නිසා, ක්‍රීඩාංගණවල රසිකයින්ට බියර් විකිණීම අවසන් මොහොතේ දී තහනම් කිරීමට Fifa එකඟවී තිබේ.
කෙසේ වෙතත්, VIP ප්‍රවේශපත්‍ර හිමියන්ට තරගවලට පෙර, අතරතුර සහ පසුව විශේෂ කුටි තුළින් මත්පැන් මිලදී ගත හැකි ය.
මෙම තීරණය බඩ්වයිසර් බීර නිපදවන AB InBev සමාගම සමග Fifaට ඇති සබඳතාවට බලපාන්නේ කෙසේ ද යන්න තවමත් අපැහැදිලි ය.
1980 ගණන්වල සිට ප්‍රධාන තරගාවලි අනුග්‍රාහකයෙකු වන එම සමාගම ලෝක කුසලානයකට ඩොලර් මිලියන 75ක් පමණ වියදම් කරන බව වාර්තා වේ.
නමුත් 2026 ලෝක කුසලානයේ සත්කාරක රටවල් ත්‍රිත්වයෙන් එකක් වන එක්සත් ජනපදයේ දී (බඩ්වයිසර් AB InBev සන්නාමයේ නිවහන) සමාගමට නැවත දොරටු විවර වෙතැ යි බලාපොරොත්තු විය හැකි ය.
BBC Sinhala