සුද්දී, නන්දා සහ ස්වර්ණා

සුද්දී, නන්දා සහ ස්වර්ණා

  • October 7, 2022
  • No Comment
  • 47

ස්වර්ණා මල්ලවආරච්චි නම් වූ නිළිය ලාංකේය සිනමාවට පය තැබුවේ සත්සමුදුර චිත්‍රපටය තුළිනි. එතැන් සිට ඇය දශක ගණනාවක් පුරාවට තම හැකියාවන් සිනමාපට මඟින් එළිදැක්වූයේ ඇයගේම සිනමා රංගනයන් ඇයටම අභියෝගයක් කරගනිමිනි. සිනමාපට තුළින් අප දුටුවේ ස්වර්ණා මල්ලවආරච්චි නම් වූ නිළිය නොවේ. සැබවින්ම එතුළින් අපට දක්නට හැකිවූයේ නිරන්තරයෙන් අප සමාජයේ පිළිබිඹු වන කාන්තා ලකුණයි. විටෙක ඇය ග්‍රාමීය කාන්තාවක ලෙසින් තම රංගනය මනා ලෙස ඉදිරිපත් කළ අතර තවත් විටෙක පීඩිත සමාජයේ ගැහැනියක ලෙසින් තම රංග කාර්ය මනාව ඉටු කරන්නට සමත්වූවාය. ඒ අතුරින් ස්වාමියාද නොමැතිව ගමේ තනිවන කාන්තාවක් වන සුද්දි චරිතය, සුද්දිලාගේ කතාව චිත්‍රපටය තුළින් ඉදිරිපත් කළේ එම වසරේ චිත්‍රපට මඟින් සරසවි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට ද පාත්‍රවෙමිනි.

ගම්මානයේ සුද්දි

සිරබත් කන්නට ගිය ස්වාමියකු සිටින බිරිඳකගේ මානසික තත්ත්වය කවරේද යන්න කිසිවකුටත් විස්තර කළ යුතු නොවේ. ඒ ඇය සමාජය ඉදිරියේ අසරණ වන පළමු අවස්ථාවයි. එතැන් සිට ඇය සමාජයට නිරාවරණය වීමට පටන් ගනී. සුද්දිට සිදු වූයේද එයය. තම ස්වාමියා වූ රොමියෙල් මහ උළුගෙදර උළු ගණින්නට ගිය පසු ඇය තනි වන්නේ ගම් තුලානේය. කන්නට අඳින්නට දෙයක් නොමැති තැන සුද්දිට කෙසේ හෝ තම කුසගින්න නිවා ගත යුතුවිය. කුසට අහරක් නැතිව බඩගින්නේ සිටි සුද්දි ආහාර සොයාගෙන යන්නේ ගමේ තිබෙන එකම වෙළෙඳසලවූ සිරිමෙවන් මුදලාලිගේ වෙ‍ෙළඳසලටය. සුද්දිට උවමනා වූයේ කෙසේ හෝ තම කුසගින්න නිවා ගැනීමටය.

“උඹ මීට ඉස්සෙල්ලා මේ කඩේට ඇවිදින් නෑ නේද”

“උඹ නේද රොමියෙල් ගේ ගෑනි”

“ඔව් මුදලාලි”

මුදලාලි කිසිදු දිනක ගමේ දී දැක නොතිබූ සිහින්දෑරි සුද්දිව හඳුනාගන්නේ එසේය. ගනුදෙනුව කතා කරන්නේ එතැන් සිටයි. මුදලාලිගේ බසට සුද්දි ඔට්ටු ගානය. ගනුදෙනුකරුගේ අකමැත්තක් නොමැති හෙයින්ම සිරිමෙවන් මුදලාලි ද ගනුදෙනුවට සුදුසුම ස්ථානය ලෙස තෝරා ගන්නේ කිරිල්ල ගස යට සෙවණයි. කුසගින්න නිවා ගැනීමට යාමේ අතුරුඵලයක් ලෙසින් ඇයට සිදු වූයේ මුදලාලිගේ රාග ගිනි නිවා දැමීමටය.

සුද්දි නොදැනුවත්වම මුදලාලිගේ ග්‍රහණයට හසුවන්නේත් මුදලාලි දැනුවත්වම සුද්දිව ග්‍රහණයට හසු කර ගන්නේත් එලෙසිනි.

“උඹ හැමදාම ඉර මුදුන් වෙන වෙලාවට මේ ගහ යටට වරෙන්”

මුදලාලි පළමු ගනුදෙනුව අවසන් කරන්නේ සුද්දි පිළිබඳව තවදුරටත් අනාගත බලාපොරොත්තුවක්ද තබා ගනිමිනි. ඔහු විවාහ වී සිටින්නේ ආරච්චිලගේ නැගණිය සමඟිනි. සිරිමෙවන් මුදලාලි තමා සතු දේපළ ඉඩකඩම් බොහොමයක් තම නැගනියගේ විවාහය සමඟ ලබාගත් නිසා ආරච්චිල මේ සම්බන්ධව සිටින්නේ නිතරම කෝපාවිෂ්ටවය. මේ ආදී කරුණු නිසාවෙන් ආරච්චිල නිතරම ඇඟිලි ගණිමින් උන්නේ මහ උළු ගෙදර සිට රොමියෙල් ගමට පැමිණෙන දිනතෙක්ය. සුද්දිටත් වඩා උවමනාවක් රොමියෙල් ගමට පැමිණීම පිළිබඳ පැවතියේ ආරච්චිල තුළය. ගමට පැමිණි පසු ආරච්චිල විසින් රොමියෙල්ට ලබා දුන් කාර්ය වූයේ පිටර්ව මරා දමනා ලෙසයි. එහෙත් සිරබත් කෑ රොමියෙල් ඊට අකමැති වූ මුත් නි‍ෙවසට පැමිණි පසු සුද්දිගෙ ගෝරනාඩු වූයේ කෙසේ හෝ එය ඉටුකර ආරච්චිල ලබා දෙනවා යයි කී මුදල ලබා ගන්නා ලෙසයි.

ආර්ථික අහේනිය සුද්දිව ඒ තැනට පත් කර තිබිණි. කාගේ වුව පණ නසා හෝ තම පණ ගැටගසා ගැනීමට සුද්දි තීරණය කළේ ඒ නිසා විය යුතුය.

පීටර්ට වෙඩි තබා මොහොතකට පසු ආරච්චිල සමඟ ඇතිවන කතාබහකින් පසු ආරච්චිල මිය යන්නේ රොමියෙල් අතිනි.

මේ අතරවාරයේ ආරච්චිල නැති බව මුදලාලි දැන ගන්නේ තම බිරියගෙනි. ඒ අතරම තම බිරිය වූ ආරච්චිලගේ නැගණිය පවසන්නේ තම සහෝදරයා පෙට්ටගමක මුදල් සඟවා ඇති බවත් ආරච්චිල නැති වුවහොත් ඒ සියල්ල තමන්ට හිමිවන බවත්ය. මුදලාලිගේ හා බිරිඳගේ මේ කතාබහට රහසේ සවන්දුන් තවත් එක් චරිතයක් විය. ඒ මොහොතකට පෙර මහ රාත්‍රියේ මුදලාලි සොයාගෙන ඇවිත් විදුලි පන්දමට දැමීමට බැටරි කෑලි දෙකක් ඉල්ලා ගන්නට ආ සුද්දීය.

සුද්දි මුදලාලිගෙන් බැටරි ගෙන ආවේ ආරච්චිල මරා දැමීමෙන් පසු සැඟ වූ ආරච්චිලගේ ප්‍රාණය නිරුද්ධ සිරුර වැව් ඉවුරට ගෙන යෑමටයි. රොමියෙල් ආරච්චිලගේ සිරුර වැවට ඇද දැමීමෙන් පසුව සුද්දි මහා රාත්‍රියේ ආරච්චිලගේ නිවෙසට ඇතුළු වන්නේ ආරච්චිල පෙට්ටගමක සඟවා තැබූ මුදල් හොර රහසේ ලබා ගැනීමටයි. එහෙත් ඒ මුදල් ලබා ගෙන එන අතර වාරයේ ඇය මුදලාලිගේ අතටම හසුවේ. රොමියෙල් සහ සුද්දි වැව තුළ ආරච්චිලගේ සිරුර සඟවා තබනවා දුටු බවත් ඔහුට මුදල් නොදුනහොත් මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ රොමියෙල් බව ප්‍රකාශ කර සිටින බවත් මුදලාලි ද පවසයි. සුද්දිට මුදල් නෝට්ටු කීපයක් පමණක් දෙන මුදලාලි අනිත් සියලු මුදල් සුද්දිගේ පන් මල්ලේ දමාගෙනම රැගෙන යයි.

මේ අතරවාරයේ රොමියෙල්, පීටර්ගෙ බිරිය හමුවී පීටර් මිය ගියාට පසු අතරමඟ නවතා දමා තිබූ හේන කෙටීමට කැමැත්ත පළ කරයි. හේන කෙටීම රොමියෙල්ටම බාරදෙන ඇය රොමියෙල් සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගනී. රොමියෙල් පීටර්ගේ හේනට සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් සුද්දි නොසතුට පළ කරන අතර කිහිප වරක්ම රොමියෙල් සමඟ ඝට්ටන ඇති කර ගැනීමට ද කටයුතු කරයි. මේ අතර වාරයේ පීටර්ගේ බිරිය රොමියෙල්ට පවසන්නේ රොමියෙල් මහඋලු ගෙදර සිටින විට සුද්දී හොඳ හොඳ නැටුම් නැටූ බවයි.

මේ වන විට ආරච්චිලගේ මුදල් ලබාගත්තේ යැයි ග්‍රාමසේවක සිරිමෙවන් මුදලාලිව සැක කරයි.

කෙසේ වෙතත් මෙතෙක් චිත්‍රපටය තුළ ඝාතන කිහිපයක් සිදු වූ අතර අවසානයේදී ඝාතනය වූ චරිතය වන්නේ චිත්‍රපටයේ ප්‍රබලම භූමිකාව වූ සුද්දිය. රොමියෙල් විසින් ඇයව ඝාතනය කරනු ලබන්නේ පීටර්ගේ බිරිය පැවසූ කාරණාවක් මතයි. එනම් රොමියෙල් සිර ගෙදර සිටින විට ගම් තුලානේ හිඳි සුද්දීගේ ක්‍රියා කලාපයයි. මේ වන විට සුද්දි යනු රොමියෙල්ට නිකම්ම නිකං චරිතයක් පමණි.

තම සැමියා සිරබත් කෑ නිසාවෙන් අසරණව සිටි සුද්දීගේ අවසානය සිදු වන්නේ එලෙසිනි.

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ වන අතර කැමරාකරණය ඇන්ඩෲ ජයමාන්නය. ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි, සිරිල් වික්‍රමගේ, සොමී රත්නායක යන ප්‍රධාන චරිතයන්ට අමතරව මේ සඳහා සම්බන්ධ අනෙක් නළු නිළියන් වනුයේ නිලන්ති විජේසිංහ, සාලමන් ෆොන්සේකා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, ජේ. එච්. ජයවර්ධන හා සුනේත්‍රා සරච්චන්ද්‍රයි.

සුද්දිලාගේ කතාව චිත්‍රපටය තිරගතව තිබුණේ 1985 මාර්තු 29 වනදා වන අතර 1986 සරසවිය සම්මාන උලෙළේද හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගැනීමට ද සමත් විය.

එමෙන්ම අගය කළ හැකි මට්ටමේ තවත් චිත්‍රපටයක් වන්නේ 1989 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා චිත්‍රපටයයි.

මුල්ම නන්දා අපට හමුවන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් හරහා ගම්පෙරළිය නවකතාවෙනි. ඒ නන්දාම යළිත් වරක් අපට හමුවන්නේ ගම්පෙරළිය චිත්‍රපටය තුළිනි. ගම්පෙරළියේ නන්දාට සිදු වන්නේ කුල ගර්වය සහිත පවුලක ඉපිද ආදරය හමුවේ ආතුර වීමටය. නන්දා නම තිබූ පමණින්ම, එකම කොදෙව්වක වාසය කළ පමණින්ම එකිනෙක ප්‍රශ්න සියල්ලටම පොදු වන්නේ නැත. ප්‍රේමය විවිධාකාරය. එය කාටත් පොදු වුවත් ඒ තුළින් පැන නැගෙන ගැටලු සමුදායන් විවිධය. ආසාවන් විවිධය. ඒ හරහා පැන නැඟෙන ගැටලු ද එකිනෙකට වෙනස්ය. එහෙත් ඒ සියල්ලටම වෙනස් වූ කරුණු කාරණාවලට ද කාන්තාවකට මුහුණ දීමට සිදුවේ. බොහෝ තැන්හි දී එය තම ජීවිතය පුරාම ඔඩු දිවූ පිළිලයක් වැනිය. අප මේ කතා කරනු ලබන නන්දාට සිදු වූයේ ද එවැන්නකි. මේ නන්දා ගම්පෙරළියේ නන්දා නොව. මැය වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා චිත්‍රපටයේ නන්දාය. තම භද්‍ර යෞවනයේදීම තරුණියකට හිමි වටිනාම සම්පත අහිමි කරගත් ඇයට පවුල් ජීවිතය තුළදී ද තම සතුට සම්පත අහිමි විය. එහි වරද වූයේ කොතැනද?

හැඩකාර නන්දා

නන්දා සිටියේ ධනරත්නගේ නි‍ෙවසේය. එයට හේතුවක් තිබිණි. එනම් නන්දාගේ සොහොයුරිය වූ විමලා විවාහව සිටියේ ධනරත්න සමඟ වීමයි. මුල්ම කාලයේ සල්ලි බාගෙ අතේ නොතිබුණද දැන් ඔහු ධනවතෙකි. පොල්මද කපා වේළා ක්‍රමයෙන් දියුණු වූ ධනරත්න දැන් බොහෝ සම්බන්ධතා ඇත්තෙකි. ධනරත්නගේ සහ විමලාගේ විවාහ දිනයේදී ජයමංගල ගාථා කියන විට නන්දා කුඩා දැරියකි. තම සොයුරිය විවාහ වූ දා පටන් ඇය සිටියේ ඔවුන්ගේම පවුලේ සාමාජිකාවක මෙනි. ධනරත්න නිතර දෙවේලේ සුරතල් කරන කුඩා දැරිවියක්ද විය. ඒ අන් කවරකුවත් නොව ඒ නන්දාය.

නන්දා ඇහැට කනට පේන හැඩකාර තරුණියක වන අවධියේ ඇයට පාසල් ප්‍රේමයක් තිබිණි. මුලින් මුලින් ධනරත්න පවා ඒ සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් නොදැක්විය. ඊට හේතු වූයේ ඔහුගේ තත්ත්වයට එය බාධාවක් නිසා සමාජය ඉදිරියේ ඔහුව යම් කතාබහට ලක් වන නිසාත්ය. නන්දා ආදරය කළ තරුණයා වූයේ පියතිලකය. ඔහු හමුදා සෙබළෙකි. කෙසේ වෙතත් එක්තරා වැසි දිනක ඇය නිවෙසට පැමිණියේ වැස්සෙන් හොඳටම තෙතබරිතවය. මෙදින විමලා නි‍ෙවසේ නොසිටි අතර නිවෙසේ සිටියේ ධනරත්න පමණි. ජීවිතේ බොහෝ සිදුවීම් සිදු වන්නේ අප කිසිදු දිනෙක නොසිතනා අයුරිනි. නන්දාට සිදු වූයේද එවන් තත්ත්වයකට මුහුණ දීමටය. කුඩා කල තම මස්සිනා සමඟ හුරතල් වෙමින් සිටි ඇයට තම ජීවිතයම එදින ඔහු වෙනුවෙන් පුද කරන්නට සිදු විය. අඳුරු වැසි සහිත සැන්දෑ යාමයේ ධනරත්න අතින් ඇය ගැහැනියක බවට පත්විය. උදෑසන සුදු ගවුම හැඳ පාසල් ගිය නන්දා නම් තරුණිය සුදු ගවුම සමඟම තම නිවස තුළදීම ගැහැනියක් බවට පත් විය.

මේ හා සමඟම නන්දාගේ පාසල් ජීවිතයේ අධ්‍යාපන කටයුතුද කඩාකප්පල් විය. එහෙත් ධනරත්න නන්දා සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාව නවත්වා දමන්නට කිසිදු විටෙක කැමැති වූයේ නැත. ඔහු කිහිප විටක්ම තම නිවස තුළදීම නන්දා සමඟ සම්බන්ධතාව පවත්වාගෙන ගියාය. නන්දා ගේ පෙම්වතා වන පියතිලක මේ හාංකවිසියක් දැන සිටියේ නැත. එහෙත් විමලා හා ධනරත්න වහාම නන්දාව විවාහ කරදීමට සූදානම් වූයේ පියතිලකටය. කිසිදු ගැටලුවකින් තොරවම හමුදා සෙබළකු වූ පියරත්න නන්දා සමඟ විවාහ විය. එහෙත් නන්දාට ගැටලුවක් තිබිණි. එනම් තමාගේ පාරිශුද්ධත්වය තම මංගල දිනයේ මධුසමයේදී පියතිලකට පුද කරන්නේ කෙසේද යන්නයි. පියතිලකට නන්දා සමඟ පැවතියේ සුන්දර වූ ප්‍රේමයකි. ඇය සමඟ සුන්දර වූ පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනයයි. එහෙත් තම මංගල දිනයේ මධු සමයේම ඔහුගේ සිහින ලොව විසිරී ගියේය. ධනරත්න අතින් නන්දා ගැහැනියක වූ බව ඔහු දැනගත්තේ ඒ මොහොතේය. එහෙත් ඔහු නන්දාට සමාව දුන්නේය. මන්ද ඒ කිසිවකටත් ඇයගේ මූලිකත්වයක් නොවූ හෙයිනි.

කොයි හැටි වෙතත් නන්දාගේ විවාහයෙන් පසුව වුවද ධනරත්න තමාගේ ආශාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගෙන ගියේය. නන්දාගේ වුවද මේ අතරවාරයේදී ඒ සම්බන්ධයෙන් අකමැත්තක් නොවීය. නන්දා තමාගේ අගහිඟකම් වරින් වර ඔහුගෙන් සපුරා ගත්තාය. මෙය වැඩි වශයෙන් සිදු වූයේ හමුදා සෙබළකු වූ පියතිලකගේ රැකියාව අහිමි වීමත් සමඟය. නිවාඩු පිට පැමිණි පියතිලක යළිත් සේවයට වාර්තා නොකිරීම නිසාවෙන් ඔහුට රැකියාවෙන් ඉවත් වන්නට සිදු විය. මේ වෙනුවෙන් ඔහුට දඩ මුදලක් ද ගෙවීමට සිදු වූ අතර එය ගෙවා දමන ලැබුවේ ධනරත්න විසිනි. රැකියාව අහිමි වූ පියතිලකට, නන්දා නිසාවෙන් යළිත් උදවු උපකාර කිරීමට ඉදිරිපත් වූයේ ධනරත්නය.

හැරවුම් ලක්ෂ්‍යය

ඔහු වෙ‍ෙළඳසලක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන්ට මුදල් ලබා දෙන්නට ඉදිරිපත් විය. මේ මොහොතේදී නන්දාගේ අක්කා වූ විමලා ඔවුනට මුදල් වියදම් කිරීම වෙනුවෙන් නොරිස්සුම් තත්ත්වයක උන්නාය. පියතිලක ද තම වෙ‍ෙළඳසල පවත්වාගෙන යන අතර වෙ‍ෙළඳසල තුළදීම මත්පැන් විකිණීම ආරම්භ කළේය. මෙතැනදී ධනරත්න වඩාත් ඒ සම්බන්ධයෙන් උරණ වූ අතර පියතිලක සමඟ කතාබහක් ඇති වී ඔහුට පහර දෙන්නට ද වූයේය. ඒ ධනරත්නගේ කාර්යාලය තුළදීමය. මේ නිසා පියතිලක නන්දා ද සමඟින් අනුරාධපුරයට ගොස් වෙළෙඳසලක් පවත්වාගෙන ගියේ කවදා හෝ දිනක ධනරත්නටත් වඩා ධනවතකු වන බව පවසමිනි. කෙසේ වෙතත් ඒ සිදුවීම් වන්නට පෙර කිහිපවිටක්ම නන්දා ද ධනරත්න හමුවීමට පැමිණි අතර විමලා නන්දා සිටි නිවෙසට ගොස් ඇයට පැවසුවේ ඔවුන්ගේ පවුල් ජීවිතය පවත්වාගෙන යන්නට දී පැත්තකට වන ලෙසය. එහෙත් නන්දා තම සොයුරියට පැවසුවේ මේ සියලු ගැටලුවලට හේතුව තම ජීවිතය කාලකණ්ණි කළ ධනරත්න බවයි.

නන්දාට සිදු විය යුතු සියල්ල සිදු වූයේ තම තරුණ වියේදීමය. ඒ මොහොතේදී ඇයට එයින් මිදීමට කිසිදු විටෙක නොහැකි විය. එහෙත් ඇය එම සිදුවීම තම ජීවිතය පුරා ගලා ගෙන පැමිණේ යයි කිසිදු විටෙකත් නොසිතන්නට ඇත. නමුත් එය සිදු වුයේ වෙනස් අයුරකිනි. තම පවුල් ජීවිතය අරා එහි අඳුරු සෙවණැල්ල වැටී තිබිණි. නන්දා අවසාන මොහොතේදී ඒ වෙනුවෙන් තීරණයක් ගත්තාය. ඒ තම ජීවිතය අඳුරු කළ ධනරත්නගෙන් පළිගැනීමටය. ධනරත්න තම පාදයේ තුවාලය සමඟින් රෝහල්ගතව කාමරයක සිටින විට නන්දා ඔහු හමුවීමට යන්නේ සුහද කතාවකට නොව, ධනරත්නගේ ජීවිතය බිලි ගැනීමටය.

ඒ මොහොතේ ඔහු නන්දාට පවසන්නේ තම පවුල් දෙකටම මෙහි දැන් ජීවත් වීමට නොහැකි පරිසරයක් පවතින බවයි. එයට සවන් දෙමින් නාන කාමරයට පැමිණෙන ඇය තමා ගෙනා ඇසිඩ් බෝතලයෙන්, කෝප්පයකට ඇසිඩ් දමා ධනරත්නගේ මුහුණ පුරා විසුරුවන්නේ මෙතෙක් බලපුළුවන්කාරකම් පෙන්නූ ඔහුගේ ජීවිතය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. අවුරුදු ගණනාවක් තිස්සේ ඇය තුළ කැකෑරෙමින් තිබූ වෛරය ඇය මුදා හළේ එලෙසිනි. තමාගේ අහිමි වූ සුන්දර ජීවිතයට නන්දා වාඩු ගත්තේ එලෙසිනි.

1989 තිරගත වූ වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා චිත්‍රපටයේ නන්දා ලෙසින් ස්වර්ණා මල්ලවආරච්චි පෙනී සිටි අතර ධනරත්න ලෙසින් පෙනී සිටියේ විජය කුමාරතුංගය. සනත් ගුණතිලකද පියතිලක ලෙසින් එහි කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළේය.

ස්වර්ණා රංගනයෙන් සම්බන්ධ වූ චිත්‍රපට බොහෝ සංඛ්‍යාවක ඇයට චරිත නිරූපණයට ලැබී තිබුණේ කර්කෂ සමාජයේ දුක්පීඩාවට ලක් වූ කාන්තාවකගේ චරිතයි. ඇය එම චරිතයන් තුළින් සම්මානනීය නිළියක ලෙසින් රංගනයන් ඉදිරිපත් කළද වඩාත් වැදගත්ම කාරණාව වූයේ ඇය දුක්බර, පීඩිත සමාජයක තම පවුල් පරිසරයක කුඩා කළ පටන් ජීවත් නොවීමයි. ඇය කෙටි කලක් රංගනයට සම්බන්ධවීමෙන් පසු එංගලන්තය බලා ගිය අතර එහිදී ඉතා දුර්ලභ ගණයේ පොතපත ආශ්‍රය කිරීමට පෙලඹුණු අතර, අග්‍රගණ්‍ය සිනමාපට නැරඹීමටද අවස්ථාව ලැබුණි. ඉන්පසු යළි ශ්‍රී ලංකාවට පැමිණි ඇය පළමුවෙන්ම රංගනයෙන් සම්බන්ධ වූයේ අංජානා චිත්‍රපටයටය. කෙසේ වෙතත් චරිත ඉදිරිපත් කිරීමට බොහෝ නළු නිළි කැල සිටිය රංගනයන් ඉදිරිපත් කිරීමට සිටින්නන් විරලය. ස්වර්ණා මල්ලවආරච්චි යනු එවන් දක්ෂතාවයෙන් හෙබි චරිතාංග නිළියකි. බොහෝ තරුණියන්ට නිළියක වීමේ සිහිනය සැබෑකරගැනීමට හැකිමුත් දශක ගණනාවක් යනතුරු තමා කළ රංගනයන් ප්‍රේක්ෂකයා මනසේ රඳවන්නට සමත්වන්නේ එහෙමත් නිළියකටය. ස්වර්ණා මල්ලවආරච්චි යනු එවැන්නියකි.

රජිත බස්නායක

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *