මිහිමතදී කළ හැකි වඩා ආකර්ෂණීයම මාර්ග සංචාරයද?
- October 14, 2022
- No Comment
- 51
නෝර්වේහි ස්ටික්ල්ස්ටඩ් නගරයේ සිට ආක්ටික් කලාපයේ නගරයක් වන බෝඩෝ අතර ඇති කිලෝමීටර් 670ක් දුර වෙරළබඩ මාර්ගය ඒ දෙනුවර අතර අතිශයින්ම වෙනස් බව පෙන්වයි.
එක් අන්තයක මනා කොට සකසන ලද තණබිම් හා අඳුරු රත් පැහැ දැවමය කුඩා නිවාස සහිත මධ්‍යම නෝර්වේහි නිහඞ සංකීර්ණ බව පෙනේ. අනෙක් අන්තයෙන් දකින්නට ලැබෙන්නේ උතුරුකරයේ සන්සුන් චිත්තාකර්ෂණීය බවය.
ග්ලැසියරවලින් පිරි අයිස්වලින් වැසුණු කඳුවැටි හා හිස් වූ දුර ක්ෂිතියන්ගෙන් හෙබි ලෝකයකි. මේ ප්‍රදේශ දෙක යා කරන කයිස්ට්‍රික්ස්වියන් මාර්ගය FV 17 හෝ වෙරළබඩ මාර්ගය ලෙස ද හැඳින්වේ.
මේ ස්කැන්ඩිනේවියානු රට යුරෝපයේ ඇති වඩාත් ආකර්ෂණීයම හා අසීරුම වෙරළබඩ තීරයන්ගෙන් ආශිර්වාද ලත් බිමකි. රට වටා පවතින එම තත්ත්වය ශීතාධික ආක්ටික් කලාපයෙන් ආරක්ෂා වීම සදහා ඇති ආවරණයක් බඳුය.
නෝර්වේහි වෙරළ තීරය, දූපත් සහ රට අභ්‍යන්තරයට විවර වූ කඳු අතරෙහි වූ පටු කළපුවලින් සමන්විතය. එවැනි වෙරළ තීරයක් දිගේ මාර්ගයක් පැවතීම කිසිසේත්ම නොවිය හැක්කක් බව පෙනෙන්නට ඇත. කෙටියෙන් කිවහොත් එය හාස්කමකි.
ඒ නිසා යුරෝපයේ වෙනත් බොහෝ සංචාරවල මෙන් ඇතැම්විට සුදුසු පරිදි මගේ මේ සංචාරය ද ඇරඹුනේ පුරාණ වන්දනා ගමනාන්තයක සිටය.
නූතන නෝර්වේ පිළිබඳ කතාව ඇරඹෙන්නේ ස්ටික්ල්ස්ටඩ්හිදීය. 1030 වසරේදී වයිකිං හමුදාවක් අතින් ක්‍රිස්තියානි රජෙකු වූ ඔලාෆ් හැරල්ඩ්සන් ඝාතනයට ලක් වූයේ මෙහිදීය. ඔලාෆ්ගේ පරාජය හමුවේ වුවත් ඔහුගේ මරණය රට පුරා ක්‍රිස්තු ධර්මය පැතිරීමටත් ඒකාබද්ධ නෝර්වේ රාජ්‍යයක් සඳහා වූ අරගලයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවටත් පත් විය.
එම සටන වයිකිං නෝර්වේ රාජ්‍යයයේ සහ එහි කලහකාරී ප්‍රධානීන්ගේ අවසානයේ පටන්ගැන්ම විය. 1164දී තුන්වැනි ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින් ඔලාෆ්ගේ ශාන්තුවරය තහවුරු කළේය. ඔලාෆ්ගේ සොහොන සහිත ට්‍රොන්ඩ්හයිම් කැතීඩ්‍රල් දේවස්ථානය සමග සටන සිදු වූ ස්ථානය එතැන් සිට වන්දනා ස්ථානයක් බවට පත් විණි.
මගේ ගමනේ ආරම්භය ලෙස ස්ටික්ස්ටඩ් වඩා ගැලපෙන ස්ථානය වූයේ උතුර දක්වා දිවෙන කයිස්ට්‍රික්ස්වියන් මාර්ගය නෝර්වීජියානුවන් තමන් දෙස මෙන්ම තම ජාතිය දෙස බැල්ම හෙලන්නේ කෙසේදැයි පෙන්නුම් කරන හදවත කරා යොමු වන බැවිනි.
සිය දේශසීමාවන් අතරේ භූමිය තහවුරු කරගත් නෝර්වේ රාජ්‍යය, මෙවැනි ප්‍රබල අභියෝග ජය ගැනීමට සමත් වූ යුරෝපයේ රටවල් ඇත්නම් ඊට අයත් වේ. සියවස් ගණනක් පුරා නෝර්වේහි නායකයෝ සිය රට එක්සත් කිරීම සදහා ස්ටික්ල්ස්ටඩ් කතා පුවත භාවිත කළහ.
සිය මධ්‍යතන අතීතය පසෙක ලූ එක්සත්, ස්වාධීන හා ක්‍රිස්තියානි රටක වෘත්තාන්තයක් වටා ශක්තිමත් ජාතික අනන්‍යතාවක් ගොඩනැගීම ඊට ඇතුළත් විණි. එහි මාර්ග ගොඩනගන්නන් හා පුරෝගාමීන් කයිස්ට්‍රික්ස්වියන් වැනි මාර්ග තැනීමේදී බිය උපදවන සුලු ආක්ටික් හා උප ආක්ටික් කාලගුණික තත්ත්වය මෙන්ම ආකර්ශණීය වුවත් හිතකර නොවන භූමිය දෙස බැලුම් හෙලීය.
“අප භූමිය ජයගත්තා” යන්න ජාතික මන්ත්‍රයක් වැනි විය. රට වටා ඇති කෞතුකාගාරවල ප්‍රදර්ශනවලින් පවසන්නේ නෝර්වේ හීලෑකරගෙන වාසයට සුදුසු තත්ත්වයකට පත්කලේ කෙසේද යන්නය. ස්ටික්ල්ස්ටඩ් පිළිබඳ ඉතිහාසඥයකු වන මෙට් ලාර්සන් මා හට පැවසුවේ “එවරස්ට් කන්ද නෝර්වේ හි තිබුණා නම්”, “එහි මුදුනට අප මාර්ගයක් තනනවා” යනුවෙනුයි.
ඇය කීවේ කුමක්දැයි මුලින් වටහාගැනීමට අසීරු විණි. ස්ටික්ල්ස්ටඩ් සිට උතුරට රිය පදවාගෙන යද්දී මෘදු, ග්‍රාමීය මාර්ගය ප්‍රාදේශීය නගරයක් වන ස්ටෙයින්ක්යර් හිදී දිය අද්දරට සමීප විණි. එතැනින් ඔබ්බට පටු වෙමින් ආක්ටික් දෙසට යන කයිස්ට්‍රික්ස්වියන්, අතිශයින් ම හිස් , වාසයන් තොර භූමියක් පසුකරයි.
කෙසේවෙතත්, වන ගහනය මතුවෙද්දී හා මිනිස් වාසය අඩුවන බවට සලකුණු පෙනෙද්දී, මේ බිදුණු වෙරළබඩ තීරය හරහා කවර හෝ මාර්ග ගොඩනැගීම නිසැකයෙන්ම මිනිස් දක්ෂතාව හා නොපසුබට උත්සාහයේ ජයග්‍රහණයක් බව ඉක්මණින්ම පැහැදිලිවිය.
“නෝර්වේ හි කන්දක් හෝ ජල තලයක් වැනි බාධකයක් හමුවූ විට ඊට උඩින් හෝ ඒ වටා අප මාර්ගයක් තනනවා. ඊට උඩින් පාලමක් හෝ ඒ යටින් උමගක් තනනවා.” ලාර්සන් කීවාය. “ලෝකයේ දිගම උමං මාර්ග ඇත්තේ අපටයි. අනෙකුත් දෙනා අපහසු යැයි සිතන තැන්වල අප මාර්ග තනනවා. උමගක් තනන්නට බැරි තැනකට අප බෝට්ටුවක් යොදනවා. “
ලාර්සන් පැවසූ ආකාරයට, 20 වෙනි සියවස මැදදී මාර්ග තැනීමේ ව්‍යපෘතියක් යනු ජාතිය තැනීම තරම්ම වූ අංගයක් තැනීමකි. 1939 දී රැකියා වියුක්ත තරුණයින් යෙදවුණේ නෝර්වේ හි පියස්ස මෙන්ම වර්තාමානයේ ජොටුන්හයිමන් ජාතික උද්‍යානය හරයා ගොඩනැගුණු කිලෝමීටර 108 ක් දිග සොග්නෙෆ්යෙලේ මාර්ගය තැනීමටය. ඊට වඩා නොදෙවෙනි අභියෝගයක් වසර කිහිපයකින් අනතුරුව 1940 ගණන්වලදී 150,000 ට ආසන්න සිරකරුවන් හා රැකියා වියුක්තිකයින්ට පැවරුණේ කයිස්ට්‍රික්ස්වියන් තනමින් වෙරළතීරය මෙල්ල කිරීමටය.
ඔවුන් මුහුණ දුන් බාධක පෙනෙන්නට වූයේ ජල තීරය ඉස්මත්තෙන් පෙනෙන නගර මධ්‍යයේ ඇති දීප්තිමත් වර්ණාලේපිත දැව නිවාසවලින් යුතු බ්‍රොනොයිසුන්ඩ් නගරයට නුදුරිනි. දැඩි පාෂාණමය පිහිටීම මාර්ගයේ ගමන්මග අවුරමින් වෙනත් ගමන්මගක් සොයා යාමට ඊට බල කර ඇත. වෙරළට ඔබ්බෙන් ඇති දූපතක වෙරළෙන් මතුව පෙනෙන ට්‍රොග්හැට්න් නම් බිම් කඩ, පාෂාණිභූතව නගරය දෙස බලා සිටින කුදුගැසුණු අඟුටුමිටටකු සේය. ඒ හරහා වළාවන් ඇදී යද්දී පෙනී නොපෙනී යන්නේ හැංගිමුත්තමේ යෙදෙන ආකාරයයි.
බ්‍රොනොයිසුන්ඩ් නගරය පසුකළ මම පාෂාණ, අයිස්, ජලය හා කදුගැටවලින් හෙබි බිම්කඩක් ඔස්සේ රිය ධාවනය කළෙමි. පසුකරන සෑම කිලෝමීටරයක් පාසාම ඉහළ නැගි මා සැන්ඩ්නස්ජොඑන් නම් කුඩා නගරයකට පිවිසිණි. බ්‍රොනොයිසුන්ඩ් අඟුටුමිටටකු සේ පෙනෙද්දී සැන්ඩ්නස්ජොඑන් සහෝදරියන් සත්දෙනෙකු ගැන සිහි කැදවයි. ප්‍රදේශයට ආවේනික පුරාවෘත්තයක කියවෙන ආකාරයට මීටර 910 සිට මීටර 1,072 දක්වා වූ උසින් යුත් සිව් සොස්ත්‍රෙ (Syv Søstre – සත් සොයුරි කඳු මුදුන්) මුදුන්, සදාකාලික දඬුවමකට ලක්ව සිටින අඟුටුමිටි කාන්තාවන්ය.
නෝර්වේජියානුවන් අතර ඇති මෙවැනි කතා ගෙතීම, තැනීමට නොහැකි මාර්ග ගොඩනැගීමට ඔවුන් තුළ ඇති ඇල්ම වැනිය. “මහන්සිවී වැඩකරන්න අප කැමතියි” යැයි ලාසන් මා සමග කීවාය. “නමුත් අප කතා කියන්නත් කැමතියි. ඔබ සංචාරය කරන භූමිය දෙස බලන්න. අඟුටුමිට්ටන්, සුරංගනාවන් සහ අද්භූත දේ ගැන ඔබට විශ්වාස කරන්නට බැරි ඇයි? මේ කතා අපේ ළමයින්ට කියනවා. නමුත් අපෙන් බොහෝ දෙනෙක් අවසානයේදී ඒවා පිළිගන්නවා.”
ඇය විහිළුවක් කළාදැයි කීමත් අසීරු විණි.
මාර්ගය උතුරු දෙසට විහිදෙද්දී හමුවන හෙල්ගෙලන්ඩ්බෘවා (හෙල්ගෙලන්ඩ් පාලම) පැන්නුමට මිනිත්තු පහක් ගතවූ අතර එසේ නොවන්නේනම් ඊට පැයක් පමණ ගතවන හරවා යාමක් කළ යුතුවේ.
ගිම්හානය තෙක් හිමෙන් වැසී තිබෙන කඳු සැමතැන නැගීසිටී. තවමත් ආක්ටික් වෙත මා පිවිස නැති මුත් තුරුලතාවලින් තොර උස් සානු හරහා ඇදෙන මාර්ගය භූගෝලීයව ආක්ටික් ලක්ෂණ සැමතින් මතුකර පෙන්වයි. පසුව මාර්ගය විල් ඉවුරු, තොටුපොළ හා පටු කළපු ආදිය කරා පහළට ඇදිණි. සෑම තැනකම ජලයය. ලවොං ඉතා කුඩා ගම්මානයකදී දිය අද්දරට වන්නට මාර්ගය අවසන් විණි. පාලමක් නොවූ අතර දුරින් වූ ප්‍රදේශයට යන්නේ කෙසේදැයි සොයාගැනීම දුෂ්කර විය. ඉදිරියට යන උමගක් ද නොවීය. දිගු වාහන පෝලිමට එක් වූ මම බෝට්ටුව එන තෙක් බලා සිටියෙමි. වෑන් රියක නැගී නිවාඩු සංචාරයේ යෙදෙන (Campervanner) ජූස්ට් සහ අනෙක් විසර් නම් වූ ඕලන්ද ජාතිකයින් සමග කතා කළෙමි. ඔවුන් කයිස්ට්‍රික්ස්වියන් මෙවර ධාවනයේ යෙදී තිබෙන්නේ 5 වැනි වරටය (වසර පුරාම කයිස්ට්‍රික්ස්වියන් මාර්ගයේ ධාවනය කළ හැකි වුවත් හොඳම සහ කාර්යබහුලම කාලය යෙදෙන්නේ ගිම්හානයේය.) . “මුල් වතාවේ අපි එද්දි එය කොතරම් ලස්සනද කියා අපටවත් විශ්වාස කරන්න බැරි වුණා.” යි ජූස්ට් පැවසීය. “මේ මාර්ගයට ඇවිත් යළි ධාවනය කරන තෙක් මෙය ගිම්හානය යැයි දැනෙන්නේ නැහැ.”
“යුරෝපයේ ඇති දර්ශනීය ම වෙරළ තීරය මෙයයි.” අනෙක් විසර් පැවසීය. “මෙහි එන්න ජූස්ට් මුලින් කැමති වුණේ නැහැ. ඒත් දැන් එයාටයි ඒක ඇති වෙන්නේ නැත්තේ. ඔහු හරි. මේ මාර්ගයේ රිය ධාවනය කරන සෑම අවස්ථාවකදීම අපට අලුත් දෙයක් හමු වෙනවා.”
සියලුම නෝර්විජියානු බෝට්ටු සේවා මෙන් තමන්ගේ ම වේලාවට ළඟා වූ බෝට්ටුව ස්කැන්ඩිනේවියානු කාර්යක්ෂමතාවයේ අනන්‍යතාවය පෙන්වමින් එහි ගොඩබෑම් සහ පැටවීම් කෙරිණි. ඈත අනෙක් අන්තයේ පිහිටා තිබෙන්නේ තවත් කුඩා නෝර්වීජියානු ගම්මානයක් වන නෙස්නා ය. පටු කලපුවල ඉවුරුවලට සමීප මාර්ගයේ සිට දිය අද්දරට ඇත්තේ මීටර් කිහිපයකි. කුඩා නිවහන් සහ ගල් වැටි පසුකර යන එය සටහන් කරන්නේ උතුරු යුරෝපීය ප්‍රධාන භූමියේ බොහෝ පිටතින් ඇති සීමාවය.
ස්ටොක්වජන් නම් වූ නිහඞ කුඩා නගරයකට ඔබ්බෙන් කයිස්ට්‍රික්ස්වියන් මාර්ගය පසුකර යන්නේ දෙවැනි ලෝක යුද සමයට අයත් බලකොටුවක් පිහිටි ග්‍රන්ස්වික් ප්‍රදේශයයි. ඇතැම් තැනක දැනෙන්නේ මාර්ගයට වෙන යා හැකි අතක් නොවන බවකි. එහි ඉදිරිය කඳුවැටි පවුරකින් හෝ ජලය පිරි ක්ෂිතිජයකින් අවහිර වී ඇත. නමුත් සෑම අවස්ථාවකදීම, ඇතැම්විට අවසන් මිනිත්තුවේදී මට වැටහී ගියේ තවත් උතුරු දෙසට කඳුවැටිවලින් පිරි ක්ෂිතිජයක් කරා මා ගෙන යා හැකි විසඳුමක් නෝර්වේහි මාර්ග තනන්නන් විසින් සොයගන්නා ලද බවකි.
ගමනේ එක් තැනකදී, සැබෑ ආක්ටික් ප්‍රදේශයේ වක්‍ර කොණකදී රථය මාර්ගයෙන් ඉවතට ගෙන නවතා ගතිමි. වෙරළ කඳුවැටිවලින් බහුලය. උතුරු මුහුද ගැඹුරු සහ සැබෑ නිල් පැහැයෙන් යුක්තය. වෙරලෙන් ඔබ්බෙහි මුහුදෙහි නැගී සිටින පර්වත කූඨවලින් යුත් දූපත් පෙනෙන්නේ පෘථිවියේ අතිශය කෙළවර දක්වා දිවෙන ගමනක අවසන් නැවතුම්පල සේය. පැයක් ගත වන කිල්බොගමන් – ජෙට්වික් බෝට්ටු ගමනේ මාර්ගය දෑස ඇදෙන මානයේ පෙනෙන්නට තිබෙන්නේ එකකට පසු එකක් ඇති රළු වැටිවලින් පිරි ඈත ක්ෂිතිජයක් සහ විවෘත සමුදුරක් ලෙස දැනෙන පටු කලපුවක් හරහා ඇදී යයි. නෝර්වේහි සාහිත්‍යවේදියෙකු වූ හෙන්රික් ඉබ්සන් වරක් එරට උස්බිම් හඳුන්වා තිබුණේ “මාලිගාවක් මත පිහිටි මාලිගාවක්” ලෙසිනි. මෙහිදී කවරදාටත් වඩා ඔහු අදහස් කළේ කුමක්දැයි මට දැණුනි. ඇතැම් අවස්ථාවක කිල්බොගමන් වෙතින් පිටත් වූ බෝට්ටුව ජෙට්වික් කරා පැමිණීමට පෙර මම ආක්ටික් වෘත්තය හරහා ගියෙමි. මේ තීරයෙන් උතුරට දෙසැම්බර් 21 වැනිදා වසරේ කෙටිම දිවා කාලය වන අතර හිරු නොනගී. ජුනි 21 වැනිදා හිරු නොබසී.
බෝට්ටු ගමන් හයෙන් සෑම එකකදීම දැණුනේ ආක්ටික් වෘත්තය පසුකිරීමට වඩා චාරිත්‍ර ඉටුකිරීමක් ලෙසිනි. සිතියමේ දැක්වෙන රේඛාවකින් වෙනසක් නොදැණුනත් මෙහිදී කඳු වඩා උස් බවින් මෙන්ම අයිස් ඉතා තද අඳුරු නිල් පැහැයක් ගනී. එහි යම් අභිමානයක්ද වන්නේ, නෝර්වේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ ඇති විශාලතම, පියවි දැකුමින් සැඟවීගත් ග්ලැසියර එකතුවක් වන ස්වාර්ටිසන් අයිස් වැස්ම (Svartisen icecap) කඳුවැටි පවුරෙන් ඔබ්බෙහි පිහිටා තිබේ.
අතිශය පියකරු ධාවනය අවසානය කරා පැමිණ ඇත. බෝඩෝ වෙත සමීපවන අවසන් අදියරේදී වාහන තදබදය හා ශබ්දය මෙන්ම මාර්ගය දෙපස ගොඩනැගිලිද වේ. නමුත් තවත් පුදුමය දනවන සුලු දෙයක් ඉතිරිව ඇත. ඒ සෝල්ට්ස්ට්‍රෝමන්, එනම් මිහිමත ඇති විශාලතම දියසුළියය. කිලෝමීටර 3ක් දිග, මීටර 150 ක් පළල සෝල්ට්ස්ට්‍රෝමන් සන්ධිය සෑම පැය හයකට වරක් ඝන මීටර මිලියන 400ක දිය දහරකින් කැළතෙයි. එහි ප්‍රබලම අවස්ථාවකදී සිහිකැදවන්නේ විශාල දිය සුළි මාලාවකින් සියලු දේ ගැඹුර නොපෙනෙන පොලෝ අභ්‍යන්තරයට ඇදගන්නා සුලු තර්වනයකි. මීට ඉහළින් ඇති පාලම මත සිට පහළ ඇදගන්නා ජලය දෙස බලද්දී කරකැවිල්ල වැනි දැනීමක් ඇතිනොවී සිටිය නොහැක.
එක සංචාරයකට ඕනෑවටත් වඩා දේ එකතුව තිබේ. විදගැනීමට අප්‍රමාණ පියකරු බවකි. උකහා ගැනීමට අප්‍රමාණ පුදුම වැලකි. පළමු වතාවට නොව, ජූස්ට් හා අනෙක් කයිස්ට්‍රික්වියන් මාර්ගයේ නැවත නැවතත් රිය ධාවනයට එන්නේ ඇයිදැයි මට වැටහිණි. එක් වරක් ප්‍රමාණවත් නොවන බව පට දැනටමත් අවබෝධ වී තිබේ.
The Open Road යනු ලොව සුවිශේෂ මහාමාර්ග හා අතුරු මාර්ග මෙන්ම රිය පැදවීමේදී ලත් විශිෂ්ට චාරිකා අත්දැකීම් උත්කර්ෂයට නැංවීමකි.
BBC Sinhala