මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය

මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය

  • September 15, 2022
  • No Comment
  • 38

 

රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. 96 හැවිරිදි එලිසබත් රැජිනගේ අභාවය ලොව කම්පා කළේය. ඇගේ අභාවය නිල වශයෙන් නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. වයස අවුරුදු 26 දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළාය. ඇය ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූයේ ඒ නිසාය.

මහ රැජින වුවත් නිහතමානී තැනැත්තියක වූවාය. දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් ඇරැඹුණු 1952 වසරේදීය. පසුගිය සමයේ මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. පළමු දෙවැනි පමණක් නොව තෙවැනි සහ සිවුවැනි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන සිටියදී ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූවාය. ඒත් ඇයේ රෝගී තත්ත්වය බරපතල නොවිණි. වෛද්‍යවරු ඇය ගැන පැය 24 පුරා ඇස ගසාගෙන සිටියහ. කෙසේ නමුත් අයහපත් සෞඛ්‍ය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැර වූවාය. ඇය පසුගිය කාලය පුරාවට මෙන්ම අවසන් සුසුම් හෙලද්දී පවා පදිංචිව සිටියේ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේය. මෙය මහ රැජිනගේ නිවාඩු නිකේතනයකි.

‘මහ රැජිනට හොඳ නැහැ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බයයි. මේ වනවිටත් ඇගේ දරු දැරියන් සහ මුණුපුරු මිණිපිරියන් බැල්මොරාල් මන්දිරය වෙත පැමිණ සිටිනවා. නැතිනම් පැමිණෙමින් සිටිනවා’ යැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේ 8 වැනිදා සවසය. මහ රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළට උරැමකම් කියන්නේ පුතු චාල්ස් කුමරුන්ය. චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ දරනු ඇත. අවසන් මොහොතේ චාල්ස් කුමරු මවු රැජින අසල සිටි බව ද පැවැසෙයි.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබේ. ඇය කිරැළු පැලැදි වසරේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස ද සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් පක්ෂ නායකත්වය හිමිවුණු ලිස් ට්‍රස් මහ රැජින අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේ පසුගිය 6 වැනිදාය. එම අවස්ථාවේදී ද රැජින සිටියේ අයහපත් සෞඛ්‍යයෙනි. මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව ලිස් ට්‍රස් ය.

රැජින අභාවයත් සමග පෙරැළි රැසක් සිදුවෙයි. ඒ සඳහා සියල්ල කල් තියා සූදානමින් පැවැතිණි. මෙම ක්‍රියාදාමය ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ නම් වෙයි. ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය සකසා ඇත්තේ රැජින ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වූ විට ක්‍රියාවට නැංවීමටය. කෙසේ නමුත් රැජින අවසන් ගමන් ගියේ ලන්ඩනයේ දී නොව, ස්කොට්ලන්තයේ ඇගේ වතුයායේය. ඒ අනුව ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’, ‘ඔපරේෂන් යුනිකෝන්’ ලෙස වෙනස් වන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය ඉතා සිත් ගන කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියාදාමයකි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයත් සමග පළමුවෙන් සිදුවූයේ බකිංහැම් මාලිඟයේ තිබෙන රැජින විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරනු ලැබූ රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීමය. රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතර ව, රැජිනයගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිඟය, ශාන්ත ජේම්ස් මාලිඟය අවට ආරක්ෂාව සඳහා යෙදවෙන අතර, රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන (ටවර් ඔෆ් ලන්ඩන්) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබේ.

මෙය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි. රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබෙනු ඇත. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 ක් පමණය.

රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වෙයි. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජ කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වෙයි. මෙතෙක් කාලයක්, බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න වෙනස් වනු ඇත්තේ ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇත. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීමක් ඉදිරියේ දී සිදුවෙයි.

රැජිනගේ අභාවය හේතුවෙන්, විනෝදාස්වාදනය උදෙසා පැවැත්වෙන සියල්ල අවලංගු කෙරේ. සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර, බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට ගැන්වෙයි. විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී.බී.සී නාලිකාවේ විකාශය නො වන අතර, ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙනු ඇත.

බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරේ. සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කරනු ඇත. සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වෙද්දී, මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමරු පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය වේල්සයේ කුමරිය බවට පත් වෙයි.

Lankadeepa

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *