බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ රන්පොලු කතාව..!

බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ රන්පොලු කතාව..!

  • November 5, 2022
  • No Comment
  • 46

කඩවත සිරි අරහත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩ සිටි බොරැල්ලේ සිරිසුමන හිමියන් දැන් සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

තිලිණි ප්‍රියමාලිගේ හැටහතර මායම්වලට හසුවූ ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේ ඇයට රුපියල් කෝටි ගණනින් මුදල් දුන්නේ බොරැල්ලේ සිරිසුමන හිමි හෙවත් ‘සුදු සාදු’ නමින් ප්‍රසිද්ධ හිමියන්ගේ ආශිර්වාද පූජාවන්ටද රැවටීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

ව්‍යාපාරිකයන් දෙන මුදල්වලට ඇපයක් ලෙස තිලිණි ප්‍රියමාලි විසින් රන් පොලු ලබාදී තිබුණි. සැබැවින්ම ඒවා රන් පොලු නොව, රන් ආලේපිත පිත්තල පොලු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම රන් ආලේපිත පිත්තල පොලු ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇත්තේද බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ කඩවත විහාරස්ථානයේ බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. ව්‍යාපාරිකයන් විසින් එලෙස ආරක්ෂාවට ලබාදුන් රන් ආලේපිත පිත්තල පොලු 80ක් පමණ සැකකාර හිමිනම සතුව පැවති බවද අනාවරණය වී තිබේ.

මෙම සැකකාර හිමිනම, තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර හවුල්කාරිනියක් ලෙස කටයුතු කළ බව කියන ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධයාක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන සමගින්ද සමීප ඇසුරක් පවත්වා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

​බොරැල්ලේ සිරිසුමන හිමියන්, ජානකී සිරිවර්ධනගේ කාර්යාලයේ නිරන්තරයෙන් සිටි බව ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පොලිසිය හමුවේ ප්‍රකාශ දෙමින් පවසා තිබේ.

‘‘ජානකීගේ ඔෆිස් එකට යන ගොඩක් වෙලාවට ඔය සුදු සාදුත් එහි සිටියා. අපිත් එක්කත් හරි හිතවත්ව ඔය සාදු කතා කළා. තිලිණිට, ජානකී හරහා දුන්න සල්ලි ගන්න තමයි අපි ආවේ කියලා හාමුදුරුවන්ට කිව්වම ‘ඔය මුදල් ඉක්මනට ලැබෙනවා. කලබල වෙන්න එපා’ කියලා හාමුදුරුවෝ අපිට කිව්වා’’ යැයි ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණි.

මෙම සැකකාර හිමිනම වැඩ විසූ කඩවත විහාරස්ථානයේ කිලෝග්‍රෑම් 2500ක් බර විශාල රන් පොල්ලක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුළාකර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

‘‘හාමුදුරුවන්ගේ රන් පොල්ල තිබෙන ස්ථානයේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා. තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමි යන තුන්දෙනාම එකතු වෙලා තමයි මෙච්චර විශාල මුදලක් ගත්තේ. මමත් ජානකීගේ ඔෆිස් එකට යන කොට ඔය හාමුදුරුවොත් එහෙට වැඩ සිටියා’’ යැයි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පැවසීය.

‘‘මේ හාමුදුරුවෝ ඇප් එකක් (දුරකථන යෙදවුමක්) පාවිච්චි කරනවා. ඒක නිසා හාමුදුරුවන්ගේ දුරකථන ඇමැතුම් පැය 24න් මැකෙනවා. හාමුදුරුවෝ දුරකථනයෙන් මැසේජ් දාන්න දක්ෂයි. එක පාරක් මගේ ගෙදරටත් හාමුදුරුවෝ ආවා’’ යැයි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි වැඩිදුරටත් සඳහන් කළේය.

‘‘මේ හිමිනම ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ගොස් ආරූඪයකින් සෙත් ශාන්ති කරනවා. ආශිර්වාද පූජා කරනවා. එම ව්‍යාපාරිකයන්ගේ නිවස පිහිටා ඇති ආකාරය හොඳින් දන්නා තිලිණි ප්‍රියමාලි හිමිනම ආරූඪයෙන් සිටින විට ඇයගේ ජංගම දුරකථනයෙන් හිමිනමගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවුඩ යනවා. පස්සේ එම නිවසේ තොරතුරු පිළිබඳව හිමිනම ආරූඪයෙන් ව්‍යාපාරිකයන්ට පවසනවා. අපල තියෙනවා, සල්ලි තියාගත්තොත් ඒවා නැති වෙන්න පුළුවන් වගේ දේවල් කියමින් ව්‍යාපාරිකයන් බියගන්වනවා. ඊට පස්සේ හිමිනම, තිලිණි ප්‍ර්‍රියමාලිගේ ව්‍යාපාරවලට මුදල් දමන ලෙස පෙලඹවීම් කරනවා. එම පෙලඹවීම් මත ව්‍යාපාරිකයන් කෝටි ගණනින් මුදල් තිලිණි ප්‍රියමාලිට දෙනවා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

‘‘මෙම හිමිනම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ දේශනා පවත්වනවා. ඒ අනුව හිමිනම ජනප්‍රිය හාමුදුරුනමක් වෙනවා. ආශිර්වාද පූජාවක් තියන මුවාවෙන් මෙම හිමිනම කර ඇත්තේ තිලිණි ප්‍රියමාලි ළඟ සල්ලි දාන්න ව්‍යාපාරිකයන් පොඹවන එකයි. හිමිනම කෙරෙහි තිබෙන විශ්වාසය මත ඔවුන් සල්ලි තිලිණිට දෙනවා’’ එම විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉෂාර රත්නකාර

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *