පාසලේ වතුර බිලේ බරත් දෙමව්පියන්ට – ජෝසෆ් ස්ටාලින්
- September 20, 2022
- No Comment
- 77
පාසල්වල ජල බිල පාසල තුළින්ම ගෙවිය යුතු බවට තීරණය කිරීමෙන් සිදුවෙන්නේ එහි බරත් දෙමව්පියන් මත පැටවීම බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජල බිල්පත් නොගෙවූ පාසල් රැසකම මේ වනවිට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනිමින් ඇති බවය.
“ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා පාසල්වල ජල බිල පාසලෙන් ගෙවන්න කියලා. මෙතෙක් කල් ගෙව්වේ මහා භාණ්ඩාගාරයෙන්.”
“ජලය කියන්නේ පාසලේ අත්‍යවශ්‍යතාවයක්. පැහැදිලිවම මේක දෙමව්පියන්ට තමයි ගෙවන්න වෙන්නේ. නැත්තම් පාසලේ විදුහල්පතිවරයාගේ සාක්කුවෙන් ගෙවන්නද? ගුරුවරු එකතු කරලා ගෙවන්න ද? දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරන්න තමයි මේ කියන්නේ. පාසල්වල ලොකු අරමුදල් නැහැ. ඒ නිසා මේක බරපතළ ප්‍රශ්නයක්. ඊළඟට එන්නේ විදුලි බිල.”
“ජල බිල පාසලෙන් ගෙවන්න කියලා තියෙන්නේ අද ඉඳන් නෙමෙයි. 2022 ජනවාරි ඉඳලා හිඟ බිලුත් එක්ක. දැන් කොහොමද මේක ගෙවන්නේ.”
“පාසල්වලට රතු නිවේදනත් ඇවිත්. එක විදුහල්පතිවරයෙක්ගේ පාසලට ඇවිත් වතුර කපන්නම ගිහින්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට කතා කරලා තමයි බේරගත්තේ.”