නොකළ වරදකට සැරයන් බිලිවෙයි!

නොකළ වරදකට සැරයන් බිලිවෙයි!

  • November 2, 2022
  • No Comment
  • 41

වනඅලි ප්‍රහාරයෙන් ගම්වැසියකු මියයෑමත් සමග කැබිතිගොල්ලෑව රත් වෙයි

පෙරේදා (31දා) රාත්‍රී වනඅලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මියයෑමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එම ගැටුමට මැදිවී ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වූ බවත්, එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරියකු ඇතුළු සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹකැපූවැව, තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචි බී.ගුණසිංහ නමැති 48 හැවිරිදි ගොවි මහතකු වන තිදරු පියෙකි. විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 43/ඒ, ඩයස් වත්ත, මල්වාන, වාරියපොල ලිපිනයේ පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී.සුනිල් (12601) නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

නොකළ වරදකට සැරයන් බිලිවෙයි!
මියගිය බී.ගුණසිංහ

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව රඹකැපූවැව බෝධිරුක්ඛාරාමයෙහි වැඩ විසූ හිමි නමක්,එහි අවතේවකරු,ආබාධිත පුද්ගලයකු ඇතුළු වයස අවුරුදු 19, 26, 28, 45, සහ 48 වියේ පසුවන පිරිසකි.

මියගිය පුද්ගලයා කැබිතිගොල්ලෑව නගරයේ සිට බස් රථයකින් පැමිණ කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ රඹකැපූවැව හන්දියේදී බසයෙන් බැස පෙරේදා රාත්‍රී 7.10ට පමණ තම නිවසට යෑම සඳහා රඹකැපූවැව ගමට යන මාර්ගයේ පා ගමනින් යද්දී,පදවිය කැබිතිගොල්ලෑව මාර්ගයේ සිට මීටර් 50 කටත් වඩා අඩු දුරකින් මාර්ගය අයිනේ සිටි වන අලියකු මෙම පහරදීම කර ඇති බව ගම්වාසීහු පවසති.

ගම්වාසීන් කළ දැනුම් දීමෙන් අනතුරුව 1990 ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ වන අලි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රැගෙන යාමට පෙර පරික්ෂා කර බැලීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට සිටි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

වනඅලි පහර දීමෙන් එම පුද්ගලයා මියගිය පුවත සැලවීමත් සමග රඹකැපූවැව සහ ඒ අවට ප්‍රදේශවාසී ගැහැනු,පිරිමි,බාල මහලු‍ සියලු‍ දෙනා වැල නොකැඩී හුළුඅතු පත්තු කර ගෙන එම ස්ථානයට පැමිණ, ටයර් දමා පුළුස්සමින් එම මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට ද බාධා වූ අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.එහිදී ගම්වාසීන්ගේ පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පවසයි.මාස එකහමාරක් තුළ වනඅලි ප්‍රහාරවලින් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඊට ආසන්නතම මරණය මෙම මරණය බවත්, බල්ලන් බළලු‍න් සේ දිනෙන් දින අසරණ ජනතාව මියයාම පිළිබඳව බලධාරීන් නිහඬව සිටින බවත් ගම්වාසීහු පවසති.

වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දේහය, කැබිතිගොල්ලෑව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන්වරයාගේ දේහය මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතාගේ මෙහෙයවීමෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ,පර්සි කුරුනේරු සහ මැදවච්චියේ ගයාන්

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *