ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’

  • September 16, 2022
  • No Comment
  • 41

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’ ….

වෙද හාමිනේ, දඬුබස්නාමානය, වෙස් මුහුණ, අකාල සන්ධ්‍යා, රැජන හා සතරදෙනෙක් සෙන්පතියෝ යන ටෙලි නාට්‍ය නිර්මාණය කොට ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ගමන් මගේ කඩඉම් කිහිපයක් සනිටුහන් කළ ජයන්ත චන්ද්‍රසිරි අවුරුදු 15 ක ඉසිඹුවකින් පසු යළි පුංචි තිරය වෙත පිවිසෙන්නේ නන්නත්තාර නම් නවතම ටෙලි නිර්මාණයෙනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, කුසුම් රේණු, බුද්ධදාස විතානාරච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරිආරච්චි, අනුරාධා එදිරිසිංහ, බුද්ධික ජයරත්න, වින්ධ්‍යා දෙගල්දොරුව, වසන්ත විට්ටච්චි, මෞලි ෆර්ඩිනැන්ඩු, චුලක්ෂි රණතුංග, උපතිස්ස බාලසූරිය, උදිත ගුණරත්න, සම්පත් බණ්ඩිහෙට්ටිගේ, නිර්මලා නිශාන්ති, නුවන් කුමාරගේ, තිස්ස ගුණතිලක, ජයනාත් බෝදාහන්දි, හේමන්ත රන්දුනු, එරික් පෙරේරා ආදී නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරන “නන්නත්තාර” ටෙලි වෘත්තාන්තයේ පූර්ව ප්‍රචාරක වැඩසටහන සැප්තැම්බර් 18 වන ඉරිදා රාත්‍රි 9 ට විකාශය වන අතර සැප්තැම්බර් 24 දින පටන් සෑම සති අන්තයකම රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ඒ පිළිබඳ ජයන්ත දැක්වූ අදහස් මතු දැක්වේ.

දිනකට ලක්ෂ අසූවක් එකතුවෙන ප්‍රේක්ෂකාගාරයකට බාල දේ හදන්නෙ ඇයි? – ජයන්ත

'නන්නත්තාර' අනිද්දා සිට ස්වාධීන රූපවාහිනියේ

ඔබ තවමත් ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින වර්ගයේ ටෙලි නිර්මාණකරුවෙක්. එහෙත් ඔබ පසුගිය වසර 15 ක පමණ කාලයක් මුළුල්ලේ ටෙලි නාට්‍යයක් නිර්මාණය නොකළේ ඇයි?

ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය කවදත් කිසියම් ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් පැවතුන බව ඇත්ත. නමුත් එය මේසා ප්‍රමාණයකින් එහි පැවති කලාත්මක ගුණාංග මුළුමනින්ම නොසලකා හරිමින් ක්ෂණිකව ලාභ උපදවන වෙළෙඳපළක් බවට පත්වී තිබීම, එයට ආදරය කළ අපට සංවේගයක් වුණා. ඒ නිසා උපන් මන්දෝත්සාහීකම, අලසකම අප වඩ වඩාත් යොමු කළේ සිනමාව පැත්තට කියන්න පුළුවන්. නමුත් NSBM හරිත සරසවිය වැනි මා කවදත් ගරු කරන විශ්වවිද්‍යාලයක් අපව තෝරාගෙන, සොයාගෙන හොඳ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නැයි ආරාධනා කරන විට මා එය ඉත සිතින් පිළිගත්තා. ඊට තවත් හේතුවක් වුණා ස්වාධීන රූපවාහිනී සේවයත් අවස්ථා කිහිපයකදීම එබඳු යෝජනාවන් අපට කර තිබීම. ඉතින් ඒ අනුව ස්වාධීන රූපවාහිනී සේවයේම විකාශය කරවීමේ අරමුණ ඇතිව “නන්නත්තාර” අප ආරම්භ කළේ පසුගිය වසරේ මුල් භාගයේදීයි.

වත්මන් ටෙලිනාට්‍ය ගැන මොකක්ද ඔබේ කියවීම?

වැරදි වෙළෙඳපොළ තර්කනයක් තිබියදීම වුණත්, මා පුදුමයට පත් වෙනවා ඉතාම විශිෂ්ට ටෙලිනාට්‍ය කීපයක්ම පසුගිය කාලයේ ලංකාවේ විවිධ නාලිකාවල විකාශය වීම සම්බන්ධව. ඒ සඳහා එම නිර්මාණවල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් විඳින්නට ඇති අප්‍රමාණ ගැහැට මට තේරුම් ගන්න පුළුවන්. අද අප රටේ ටෙලිනාට්‍ය වෙළෙඳපොළ තිබෙන්නේ සියල්ලෙහිම මිල දන්නා, එහෙත් කිසිවක වටිනාකමක් නොදන්නා පුදුම තත්ත්වයක. එක රැයකට ලක්ෂ 80ක් පමණ ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිත මාධ්‍යයක් හැකිතාක් බාල දේ තැනීමේ තරගයකට යොමු කර තිබීම, රටක් විදිහටම අප කනගාටු විය යුතු කාරණයක් කියලයි මං හිතන්නේ.

'නන්නත්තාර' අනිද්දා සිට ස්වාධීන රූපවාහිනියේ

ඔබ ජාතික මට්ටමෙන්ම වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍ය තුනේම නියැළෙන නිර්මාණකරුවෙක්. මේ ‘තුන් ඉරියව්වෙන්’ ඔබ වඩා දක්ෂ කුමන දෙයට කියලද ඔබ හිතන්නෙ?

මගේ වේදිකා නාට්‍ය රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ වේදිකා නාට්‍ය කලාවට බවයි. මගේ සිනමා රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ සිනමාවට බවයි. මගේ ටෙලිනාට්‍ය රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ ටෙලිනාට්‍යයට බවයි. මා දන්නේ මේ ‘කොයි ඉරියව්වත්’ මට ඉතාම හොඳින් හුරු බවයි.

‘නන්නත්තාර’ නිර්මාණය කිරීමේදී ඒ ශිල්පීන්ගෙන් වගේම නිෂ්පාදන ආයතනයෙනුත් ලැබුණේ කොහොම සහයක් ද?

එය ඉතා වටිනා ප්‍රශ්නයක්. මෙහි සියලුම නළු නිළියන්, ප්‍රවීණ නවක භේදයක් නොමැතිව මා වටා රොද බැඳ සිටියා. ඒ වගේම මෙහි කැමරා ශිල්පියා නිශාන්ත ප්‍රදීප්, සංගීත අධ්‍යක්ෂවරයා වූ නවරත්න ගමගේ, අංග රචක උදාර ඉන්දික, සංස්කාරක මේඝ සූරියආරච්චි, නිෂ්පාදන කළමනාකාර නන්දලාල් ජයසිරි, නිපුන චතුරංග ඇතුළු කලා අධ්‍යක්ෂවරුන්, සහාය අධ්‍යක්ෂ නිමල් ෆ්‍රැන්සිස් ඇතුළු සහාය අධ්‍යක්ෂවරුන්, කාර්මික ශිල්පීන්, උපස්ථායකයන් ලබා දුන්නේ අප්‍රමාණ සහයෝගයක්.

මෙහි මුළු වැය බරම කරට ගත් NSBM හරිත සරසවිය සහ එහි සුබසාධක සංගමය වෙනුවෙන් උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ, මහාචාර්ය චමින්ද රත්නායක, මහාචාර්ය භාරත දොඩන්කොටුව, මහාචාර්ය චමින්ද විජේසිරි, නිෂ්පාදන විධායකවරිය වූ තිළිණි ද සිල්වා මහත්මිය ලබාදුන් සහය කිසි විටෙක අමතක කළ නොහැකියි.

  • නිමල් ෆ්‍රැන්සිස්

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *