ද්‍රවිඩ සොයුරනි.., නුඹලා පහන් දැල්විය යුත්තේ නන්දිකඩාල්වල නොව, විජිතපුරයේ නොවේද ?
- May 19, 2021
- No Comment
- 73
“යුද්ධයෙන් ආණ්ඩුවේ හමුදා ජයගන්නා බව ඉතා හොඳින් පැහැදිළි වී තිබුණා. යුද්ධයේ අවසානය සංවිධිත ආකාරයකින් සිදුවීම කාගේත් යහපතට හේතු වන බවයි අපි යෝජනා කළේ. එම වැඩපිළිවෙළ යටතේ ප්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන් හැර එල්.ටී.ටී.ඊ. නායකයන් සියලු දෙනාටත්, කොටි සාමාජිකයන් හැමටත් පොදු සමාවක් ලබා දීමට කටයුතු සකස් කරන බවට කරුණු අප ඉදිරිපත් කළා. එම යෝජනාවට එකඟතාවය ලැබුණා නම්, යුද පෙරමුණේ කුඩා බිම් ප්‍රමාණයක සිර වී සිටි දහස් ගණනක් ජනතාව අදත් ජීවතුන් අතර. අහිංසක ජීවිත දහස් ගණනක් බේරා ගැනීම සඳහා කළ එම යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජපානය, ඉන්දියාව ඇතුළු සාම ප්‍රයත්නයේ සම සභාපති වරුන් ඇතුළත් සියලු පාර්ශ්ව එකඟව සිටියා. ඒ දිනවල අපි එල්.ටී.ටී.ඊ. නායකත්වය සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගනිමින් එකී යෝජනා ඔවුන් වෙත ඉදිරිපත් කළා. නමුත් ප්‍රභාකරන් අපගේ යෝජනා ප්‍රතික්ෂේප කළා.
අපි යෝජනා කළේ ජාත්‍යන්තර නියෝජිතයන් යවා හිරවී සිටි දහස් ගණන් පිරිස අතරින් සියලු දෙනා තනි තනිව ලේඛන ගත කර නිදහස් කර ගැනීමයි. මෙලෙස ලියාපදිංචි කරන පුද්ගලයන් මරා දැමීම කළ නොහැකි වීම ඊට හේතුවයි. ජීවිත බේරා ගැනීමට තිබුණ එම අවස්ථාව පැහැර හැරීම මහා ඓතිහාසික වරදක්. යුද්ධයෙන් ජයක් නොලැබෙන බව හොඳින් පැහැදිළිව තිබියදී, විය හැකි ජීවිත විනාශය පෙනී පෙනී අප ගත් තීරණය මගින් දහස් ගණන් ජීවිත විනාශයට පත් වීම වළක්වා ගැනීමට තිබුණ අවස්ථාව පැහැර හැරීමේ වගකීම එල්. ටී. ටී. ඊ. නායකත්වය මත පැවරෙනවා.
ශ්‍රී ලංකා රජය ස්වකැමැත්තෙන් හෝ ජාත්‍යන්තර ප්‍රජාවගේ බලකිරීම හේතුවෙන් යුද්ධයේ අවසානය පිළිබඳව අප ගෙන ආ යෝජනාවට එකඟ වුණු බව පැහැදිළිව පෙනී ගිය කරුණක්. මෙහිදී තීරණාත්මක වුණේ, එල්.ටී.ටී.ඊ. නායකත්වයේ එකඟතාවයයි. අපි චන්ද්‍රිකා දුරකථන ඔස්සේ එල්.ටී.ටී.ඊ. නායකත්වය සමඟ සෘජුවත්, ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රකාශක, කුමරන් පත්මනාදන් හරහාත් සාකච්ඡා කරමින් ඔවුන් යෝජනාවට එකඟ කර ගැනීමට උත්සාහ කළා. එය පැහැර හරිමින්, යුද්ධයට සාමකාමී නිමාවක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මග හැරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ එල්.ටී.ටී.ඊ. නායකත්වය වෙත.
වන්නියට ගොස් නායකත්වය හමුවී සාකච්ඡා කර ජීවිත බේරා ගැනීමට ඉඩ සලසා ගැනීමට මම ඉදිරිපත් වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම්, බෑන් කී මූන් වන්නියට යාමට එකඟ වී සිටියා. එල්.ටී.ටී.ඊ. පාර්ශ්වයෙන් අපට ලැබුණු පිළිතුර වුණේ, ප්‍රභාකරන් කිසිවෙකු හමුවීමට සූදානම් නැති බවයි. ඔවුන් අපට දන්වා සිටියේ අවශ්‍ය නම් නඩේසන් හමුවිය හැකි බවයි. එහෙත් එවැනි තීරණාත්මක අවස්ථාවක නායකත්වය හමු නොවී ගන්නා තීරණ ඵලදායී වන්නේ නැහැ.“
2012 වසරේදී බී.බී.සී. ය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නෝර්වීජියානු රජයේ හිටපු ඇමති, ශ්‍රී ලංකා සාම ප්‍රයත්නයේ ප්‍රධාන මැදිහත්කරු එරික් සොල්හයිම් මෙසේ ප්‍රකාශ කළේ, මානුෂීය මෙහෙයුමේ අවසන් දින කිහිපයේදී ඔවුන් කළ රහසිගත රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක අසාර්ථකත්වය පිළිබඳ පාපොච්චාරණයක් වශයෙනි.
මේ ගෙවෙමින් තිබෙන්නේ එකී මානුෂීය මෙහෙයුම අවසන් වී දොළොස් (12) වන වසරයි. එහෙත් වසර තිහක යුද්ධයේ සිදුවූ සියලු සිදුවීම් පසෙක තබා අදටත් ලෝක අවධානය යොමුවී ඇත්තේ ඒ යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ සිදුවූ සිදුවීම් දාමය පිළිබඳ මරණ පරීක්ෂණ වලටය.
එදා ජාත්‍යන්තර සාම ඒජන්තවරුන්ගේ යෝජනාව වී තිබුණේ ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් හැර සෙසු සියලු කොටින්ට සමාවක් දී යුද්ධය ගොඩින් බේරා ගැනීමටය. සොල්හයිම්ට අනුව එදා ඒ යෝජනාව සාකච්ඡා කිරීමටවත් ප්‍රභාකරන් එකඟ නොවූයේ තම සංවිධානයේ සියලු දෙනා හා දෙමළ වැසියන්ගේ ජීවිත වලට වඩා ඔහුට වැදගත්ව තිබුණේ තම ජීවිතය පමණක් වූ නිසාවෙන් බව දෙමළ නායකයින්ට අදටත් නොතේරීම ඔවුන්ගේ කරුමය ය.
දුටුගැමුණු රජු හා එළාර රජුගේ අවසන් සටන වූ විජිතපුර සටනේදී තම ජනතාවගේ ජීවිත බේරා ගැනීමට එළාර රජතුමා ගත් ක්‍රියාමාර්ග ගැන සුළු හෝ අවබෝධයක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තිබුණි නම් ඔහු වෙල්ලමුල්ලිවෛක්කාල් හිදී මෙවැනි ආත්මාර්ථකාමී පියවරක් නොගන්නවාට සැක නැත.
විජිතපුර අවසන් සටනේදී එළාර රජු විසින් ගැමුණු රජුට කළ අවසන් ඉල්ලීම වූයේ තමා සමඟ ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස ය. ඔහු එදා එසේ කළේ ගැමුණුගේ හමුදාව අතින් සිය සේනාව හා ද්‍රවිඩ ජනයා සමූළ ඝාතනය වීම වළකා ගැනීමටය. තම ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් එළාරලා ජීවිතය දුන්නේ ඒ ආකාරයෙනි.
ප්‍රතිවාදී ගැමුණු අතින් එළාර වෙනුවෙන් අනුරපුරයේ ස්මාරක තැනුනේද, ගෞරව දැක්වීමට රාජ නියෝග ලැබුණේද ඒ නිසා ය. එහෙත් එවැනි පරිත්‍යාගයක් කිරීමට වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රේෂ්ඨයෙකු නොවූයෙන් සිදුවූයේ එල්.ටී.ටී.ඊ. යටද, රජයේ හමුදා වලටද පමණක් නොව කොටින්ගේ පළිහක් ලෙස තබා ගෙන සිටි සාමාන්‍ය ජනයාටද ජීවිත වලින් වන්දි ගෙවීමට ය.
එදා ප්‍රභාකරන් එසේ කළා නම් ප්‍රභාකරන් වෙනුවෙන් නන්දිකඩාල් වල ස්මාරක තැනෙනු ඇත්තේ ඇතැම් විට යුද හමුදාව අතින් ය. එනයින් බලන කළ, ජාත්‍යන්තරයෙන් ලද ස්වර්ණමය අවස්ථාවක් පැහැර හැරි ආත්මාර්තකාමී කොටි නායකයින් අනුස්මරණය කරමින් නන්දිකඩාල් වල පහන් පත්තු කරන දෙමළ නායකයින් හරි නම් කළ යුත්තේ, ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ තීන්දුවක් ගෙන මරණයට පත්වූ එළාර රජතුමන් සිහි කොට විජිතපුරයේ පහන් දැල්වීම ය.
1975 ජූලි 27 දා යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි දෙමළ කොටින්ගේ ත්‍රස්ත කටයුතු සිවිල් යුද්ධයක් ලෙස විකාශය වීම ඇරඹෙන්නේ 1983 වසරේ හමුදා නිලධාරින් 13 දෙනෙක් ඝාතනය කිරීමෙනි. එකී යුද්ධයට සිංහල සමාජය විසින් සැපයූ මහා සහයෝගය වන්නේ කළු ජූලියයි.
එතැන් සිට වසර තිහක් පුරා ඇදී ගිය යුද්ධය විසින් අපට අහිමි කර ඇත්තේ මිනිස් ජීවිත හා දේපළ පමණක් නොවේ. 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් ඇරඹි සිව්වන ඊළාම් යුද්ධයෙන් ජනිත වූ මානුෂීය මෙහෙයුමෙන් එය අවසන් වුවද, එකී ශාපය තවමක් වියැකී නැති සේය.
එබැවින් ජාතියක් ලෙස අද දවසේ අපගේ කාර්යභාරය විය යුත්තේ එදා නන්දිකඩාල් වලදී අවසන් කළ ත්‍රස්තවාදය නැවත ඇති නොවීමටත්, ජාත්‍යන්තර වශයෙන් අප හමුවේ ඇති අභියෝගයන් ජය ගැනීමටත් සැලසුම්ගත ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාවකටය. එහිදී වැදගත්ම සාධකය වන්නේ දෙමළ ජනතාව දිනා ගැනීමය.
මෙම සතිය දේශපාලනික හා සමාජීය වශයෙන් වැදගත් වන අනෙක් කරුණ වන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලබා ගැනීම ය. තිස් වසරක යුද්ධයෙන් ජය ගෙන විජයග්‍රහණයේ දිනය සමරන අප, වසර 157 කට පසු අධිරාජ්‍ය වාදීන්ගෙන් පූර්ණ නිදහස ලබා ගැනීමේ විජයග්‍රහණය අමතක වීම අරුමයකි.
1815 දී උඩරට ගිවිසුම හරහා ඉංග්‍රීසීන්ට යටත් වූ අප හට 1948 පෙබරවාරියේ ලද නිදහස හැඳින්වූයේ ඩොමීනියන් නිදහසක් ලෙසය. ඩොමීනියන් නිදහස යටතේ මෙරට රාජ්‍ය නායකයා අගමැතිවරයා වුවද, ඇත්තටම මෙරට පාලන බලතල තිබූනේ බ්‍රිතාන්‍ය කිරීටය මතය. එංගලන්ත මහ රැජින විසින් පත් කළ ආණ්ඩුකාරවරයා වශයෙන් සෝල්බරි සාමි තිරය පිටුපස සිට මෙරට පාලනය කළේ ඒ නිසාය.
එදා මෙරට පාර්ලිමේන්තුවේ පනත් පවා නීතියක් වූයේ මේ ආණ්ඩුකාරවරයා අත්සන් කළ පසුව ය. එදා මෙරට මහාධිකරණ බලතල පැවරී තිබුණේ එංගලන්ත ප්‍රිවි කවුන්සිලයට ය. හමුදාව මෙහෙයවීමේ බලය තිබුණේ එංගලන්ත රාජකීයයන්ට ය.
මේ තත්ත්වය වෙනස් වූයේ 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවෙන් ය. 1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් වූ ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාපකයා වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය. පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් අවස්ථාවක් මෙරට ඉතිහාසය තුළ ඇත්නම් ඒ 72 ජනරජ ව්‍යවස්ථාව පමණක් විය යුතුය. 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ කොළඹ නව රඟහලේ දීය.
මෙකී සුවිශේෂී ජය සමරමින් එවකට සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව විසින් මැයි 22 දිනය ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස නම් කර ඉහළින් සැමරුම් කළේය. සමස්ත ජාතීන්ටම හා රටටම වැදගත් වූ එම දිනය සැමරීමද කාලයත් සමඟ වියැකී ගියේ පෙබරවාරි 04 නිදහස් දිනය ලෙස සමරද්දී තවත් ජාතික දිනයක් අවශ්‍ය නොවේය යන අදහසින් විය යුතුය.
එහෙත් මැයි 19 දිනය ත්‍රස්තවාදය තුරන් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වැදගත් බව අවිවාදිතය. එකී සටනේදී වීරෝධාර රණවිරුවන් දැක්වූ අප්‍රතිහත දායකත්වයට ජාතියම ණයගැතිය. එලෙසින්ම විජයග්‍රහණයේ දිනය අප යොදා ගත යුත්තේ තවත් ජන කොටසක් පරාජයේ කෝපයෙන් වියරු වැට්ටීමට නොව පොදු අරමුණකට සම්මාදම් කර ගැනීමට ය. එසේ නොවනතාක්, යුද ජයග්‍රහණය යනු බෙදුම්වාදය සඳහා ද්‍රවිඩ ජනතාවට ලබා දෙන උත්තේජනයක් වනු ඇත.
උපුල් ගලප්පත්ති,