ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් විනාඩි කිහිපයක් අරන් මේක කියවන්න..
- September 10, 2022
- No Comment
- 82
ඔයා ඉන්නේ දරාගන්න බැරි ප්‍රශ්නෙක, වේදනාවක නම්, ඔයාට ඩිප්‍රෙශන් වගේ නම්, ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් විනාඩි කිහිපයක් අරන් මේක කියවන්න.
අද(10) ලෝක සියදිවි නසා ගැනීම වළක්වා ගැනීමේ දිනය. මෑත කාලයේ ආන්දෝලනාත්මක සියදිවි නසාගැනීම් කිහිපයක්ම ගැනම වාර්තා වුණා. උපදින සෑම අයෙකුටම මරණය නියත වුවත්, තමා විසින්ම ජීවිතය නසාගැනීම අනුමත කරන්න බෑ. කෙනෙක් ජීවිතය අතහරින්නේ දරා ගැනීමේ උපරිමයේදී. ඒ අවස්ථාවෙන් පස්සේ කෙනෙකුට ඒ ගැන විවිධ කරුණු සාධාරණීකරණය කරන්න පුළුවන් වගේම විවිධ නිගමනවලට එළඹෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට ආදරේ නැති මනුස්සයෙක් මිහිපිට නෑ. මරණාසන්න තත්ත්පරයේ පවා අපි අපේ ජීවිතයට ආදරෙයි. සියදිවි නසා ගැනීම්වලට එක් එක් පුද්ගලයින්ට විවිධාකාර හේතු බලපෑවත් මෙහි පොදු සාධකයක් තමයි තනිවීම නැත්නම් තනිකම. කෙනෙක් සියදිවි නසාගැනීමක් ගැන සිතීමේ සිට ක්‍රියාවලියක් දක්වා ගමන් කරන්නේ තනිකම යන සාධකය මතයි. විශාදය නැත්නම් ඩිප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වය ගොඩ නැගෙන්නේත් මේ තනිකමත් එක්ක.
කෙනෙක්ට ජීවිතයේ සමහර දේවල් දරාගන්න අමාරුයි, වේදනාකාරීයි. ඒ හැම වේදනාවක්ම දරාගන්න බැරි වෙනකොට ජීවිතයෙන් පලායාම හැරෙන්නට වෙනත් විසඳුමක් නැහැ කියලා සිතෙන අවස්ථා අනන්තයි. බොහොමයක් සියදිවි නසා ගැනීම්වලදී ඒ අය ජීවිතේ අත්හරින්න හේතුවක් වෙන්නේ, තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ නිසාම අනෙක් අයට පාඩම් උගන්වන්න සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම අනෙක් අයගේ දේවල් වෙනස් කරන්න. මිනිස් ආත්මයක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ.ඒ තරම් දුර්ලභ අවස්ථාවක් තමා අපිට ලැබිලා තියෙන්නේ. එහෙම ජීවිතය ඇයි නාස්ති කරගන්නේ? ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ. නමුත් ජීවිතේ වටිනාකම ඇත්තේ කට්ට කාගෙන ඉන්න තරමට මිසක් ජීවිතේ නැති කරගන්න විට නෙමෙයි.
“හුස්ම දැන් ඉතින් නැවතියන්.මට හුඟක් මහන්සියි” කියපු පලියට ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ගේ ආදරය, සෙනෙහස තරාදියක එක පැත්තකට දාලා අතරමැදදී මුණගැහෙන ආගන්තුක කොල්ලෙක් කෙල්ලෙක්ගේ ආදරය තරාදියේ අනිත් පැත්තට දාලා කිරලා බලන මොහොතක් ඔබට ජීවිතේ හමුවෙලා ඇති. අවාසනාවකට ඒ මොහොත මඟ හරින්න අපි කාටවත් බෑ . තරාදියේ බර වැඩිවෙන්නේ මොන පැත්තෙද කියලා මං අහන්නේ නෑ. ජීවිතේ බොහෝ කාරණාවලදී අපිට වරදින තැන අන්න එතන.ප්‍රේම සබඳතා දෙදරා යාමේදී ආයේ කිසිම දවසක ලබා ගන්න බෑ කියන හැඟීමත් එක්ක එන වේදනාවේ උච්චතම අවස්ථාව තමයි, තමන්ගේ ජීවිතයෙන් පලිගන්න හදන එක. ”එක් වෙන්න සංසාරේ පින් මදිම නම්, අපි දෙන්නා එක තැනම මියයමු ඉතින්” කියලා තියෙන්නේ සිංදුවල විතරයි. සැබෑ ලෝකේදී මේ කිසිවක් වලංගු වෙන්නේ නෑ. ජීවිතේ කියන්නේ ප්‍රශ්නයක් ආ සැනින් එයට මුහුණ නොදී ජීවිතයෙන් පළා යාමම නෙමෙයි. අපි වෙනුවෙන් පිරිසක් අඩයි. මාසයක් . දෙකක් . වැඩිම වුණොත් අවුරුද්දක්. ඊට පස්සේ එයාලා එයාලගේ ජීවිතේ හදාගන්නවා. ඒක එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න අපිට බෑ. එය මට නුඹට මෙන්ම සියල්ලටම පොදු ධර්මතාවක්.
මේ ලෝකේ හැමදේම අස්ථීරයි. දෙමාපියන් පවා. මොනම හේතුවක් නිසා හෝ ජීවිතේ පූජා කළා කියලා අපි ජාතික වීරයෝ වෙන්නේ නෑ. අපි වෙනුවෙන් සමරු, පිළිම හැදෙන් නෑ. ප්‍රේමයේ පාරිශුද්ධ වස්තුව මෙන් ටජ්මහල් ඉදිවෙන්නේ නෑ. ඒක තමයි යතාර්ථය. තිත්ත ඇත්ත. ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඒක ඇත්ත. නමුත් ප්‍රශ්නයකට විසඳුම මරණය නම් මේ ලොවම අද සොහොන් පිට්ටනියක්. ප්‍රශ්න නැති මිනිස්සු ලෝකේ නෑ. ජීවිතේ දිනපු සියල්ලම තමන්ගේ අසාර්ථක වීම් හමුවේ සාර්ථක වූ අය.
දුක මාර්කට් කරන්න, ඒකේ වැරැද්දක් නෑ? හැබැයි ඒ තමාගේ ජීවිතයට ආලෝකයක් ලැබෙන විදිහට. විරහව, තනිකම සිතුවමට නගපු, පද වැල් ගොතපු, ටෙලි චිත්‍රපට හදපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ වේදනාව තුළින් ජය ගත්තු මිනිස්සු. ස්වාභව ධර්මයෙන්ම ආයුෂ ඉවර වෙනකන් ජීවත්වෙන්න. වටින මනුස්ස ජීවිතේ නිකරුණේ රේල් පීල්ලකට, වහ බෝතලයකට, තොණ්ඩුවකට හිලව් කරන්න එපා! ආදරයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ජීවිතේ නාස්ති කරගන්නවද? නැතිනම් ඒ වේදනාව ඔයාගේ Morall එක කරගෙන ජීවිතේ ජය ගන්නව ද කියන Option 2 විතරයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාගේ තෝරා ගැනීම මත තමයි ඔයාගේ අනාගතේම තීරණය වෙන්නේ. වේදනාව ජීවිතේට අභිප්‍රේරණයක් කරගන්න.ජීවිතේ දිනන්න අවස්ථාවක් කරගන්න.මහ රෑට හූල්ල හූල්ල වෙච්ච දේවල් හිත හිත අඩන්නේ නැතුව දියුණුව ගැන හිතලා හීන දකින්න. යන අයට යන්න දෙන්න.
අවසානෙට කියන්නේ මෙච්චරයි. ජීවිතේ කියන්නේ අමාරුවෙන් ගොඩ දාන්න ඕන බිස්නස් එකක්. ආදරේ කියන්නේ ඒ බිස්නස් Success කරගන්න කරන පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි. පුංචි කාලේ ඉදන්ම ජීවිතේ සාර්ථක කර ගන්න උගත්කම කියන ලේබල් එක ගහගන්න අපි හැල හැල්මේ දුවනවා. එතනදී ජීවිතේ බොහෝ දේ මහ හැරෙනවා. කවුරුත් හිතාමතාම ජීවිතේ නන්නත්තාර කරගන්නේ නෑ. ඒත් හැම ජීවිතයකම Weak Point එකක් තියෙනවා. පීඩාවක උච්චතම අවස්ථාවේ ජීවිතය අත හරින්නේ තනිකම, දුක, තරහව, වරදකාරී හැඟීම නිසා. ඒ නිසා ” එයාට කොහොමහරි දරාගෙන ඉන්න තිබුණා” යන පසුතැවීම් වචන කියන්න ඉඩ නොතබා ආදරණීයයන්ගේ පුංචි වෙනසකට සංවේදී වෙන්න, ඇහුම්කන් දෙන්න, අගයන්න ඔවුන්ට ආදරය කරන්න ඔවුන් තනිවෙලා නැති බව දැනෙන්න දෙන්න.
ස්තුතිය News 1st