ජනපති රනිල්ගේ මේ සූදානම ඡන්ද කල්දැමීමටද?

ජනපති රනිල්ගේ මේ සූදානම ඡන්ද කල්දැමීමටද?

  • October 10, 2022
  • No Comment
  • 28

පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමටත්, පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් පත් කිරීමටත් එම කාරක සභාව තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පැවැත්වීමටත් ජනාධිපතිවරයා ඉරිදා යෝජනා කර ඇත.

“මැතිවරණ ගැන මේ වෙලාවේ කතා නොකළ යුතුයි” යැයි, රජයේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පසුගියදා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධන සැලැස්ම මැතිවරණ කල්දැමීමේ උත්සාහයක් ද? මේවන විට විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් සැක මතු කරයි. විපක්ෂ දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ මෙය මැතිවරණ සිතියම හැකිලීමේ ප්‍රයත්නයක් බවටයි.

විචාරකයින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා යෝජනා කරන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට වසර කිහිපයක් ගතවිය හැකි බැවින් මෙය මැතිවරණ කල්දැමීමේ උත්සාහක් විය හැකි බවය.

ජනපති රනිල්ගේ මේ සූදානම ඡන්ද කල්දැමීමටද?

යෝජිත සංශෝධන

  • මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්
  • පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර
  • මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා
  • දේශපාලන පක්ෂ නීති ගැන අවධානය
  • මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට

ජනමත විචාරණයක් !

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ (ඔක්තෝබර් 09 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

“මම අධිකරණ අමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරනවා. ඒක රැස් වෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. මේක කල් දාන්න ඉඩ දෙන්න බැහැ. මොකද ජුනි, ජුලි මාසය වෙනකොට තීරණයක් ගන්න බැරි නම් මම ජනමත විචාරණයකට යනවා ජනතාවගේ අදහස් ලබා ගන්න කොයි ක්‍රමය ද හොඳ කියලා.” ජනපති පැවසීය.

“මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා, ඒ ක්‍රම ගැන කතා කරනවා. කතා කරලා එක ක්‍රමයක් තෝර ගන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඒ කටයුතු අවසන් කරන්න. නැත්නම් මම ජනතාවගේ අතට දෙනවා ඒ වැඩකටයුත්ත කරන්න. අපිට මෙවායින් ඉවත් වෙන්න බැහැ. අපි ඉදිරියට යා යුතුයි.” ජනපති අවධාරණය කළේය.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනාවරණය කළේය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බවයි.

මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මඟින් සීමාවන් පැනවිය යුතු බවත් ඔහු පැවසීය.

“මේ මනාප ක්‍රමයට බොහෝ දෙනෙක් කැමැති නැහැ. කවුරුත් මනාප ක්‍රමය ගැන ඉස්සෙල්ලා හිතුවේ නැහැ. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දීර්ඝව හිතලා 1975 යෝජනා කළා ලැයිස්තු ක්‍රමය, ඒක අනිත් පක්ෂත් පිළිගත්තා. මොකද ඒකෙන් ලැබුණේ අනුපාත. ඒ අනුව අපි නගර සභා ඡන්ද පැවැත්වුවා. මහනගර සභා ඡන්ද පැවැත්වුවා. දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඡන්ද පැවැත්වුවා, ඒ ක්‍රමය සාර්ථකව අපි ඉදිරියට ගෙන ගියා. එහෙත් 1988 වර්ෂයේ හදිසියේම පාර්ලිමේන්තුවේ පක්ෂ තීරණය කළා ලැයිස්තු ක්‍රමය වෙනුවට මනාප ක්‍රමය ගේන්න. එක මනාපයක් නෙවේ, මනාප 03ක් දෙන්න. ඒ වගේම තමයි 196ක්ව තිබුණ මන්ත්‍රි සංඛ්‍යාව 225 බවට පත් කළා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, “අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා.”

“අද මේ රටේ ජනතාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා” ජනපති පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “ප්‍රාදේශීය සභා ක්‍රමය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. බොහෝ ප්‍රාදේශීය සභාවලින් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒවත් යැපෙන්නේ බදු මුදල්වලින්. මුදල් ලබා ගන්න නගර සභා, ප්‍රාදේශීය සභා ඒවා පඩි ගෙවන්න යොදවනවා. එහෙනම් අපිට මේ ක්‍රමය ගැන හිතන්න තිබෙනවා.”

“නමුත් පසුගිය සැරේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හාරදහස, අටදහස කළා. රට ඉල්ලුවේ නැහැ, පක්ෂ නායකයින් එකතු වෙලා මේ වැඩකටයුත්ත කළා. එහෙනම් අපිට දැන් තිබෙන්නේ ඊළග ඡන්දයට කලින් මේ අටදහස, හාරදහස බවට අඩු කර ගන්න.”

“පාර්ලිමේන්තුවේ ඒ නීති සංශෝධනය කරන්න කටයුතු කරමු. එතනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම තවත් හදිසි සංශෝධනයක් තිබෙනවා. මේ ප්‍රාදේශීය සභාවල විධායක ප්‍රධානී ලෙස ඉන්නේ සභාපතිවරු. සමහර අය ඒකට විරුද්ධයි. ප්‍රාදේශීය සභා ක්‍රමයට පෙර නගර සභා, ගම් සභා තියෙන කොට එහෙම බලයක් තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ප්‍රාදේශීය සභාවේ විධායක බලය විධායක කමිටුවට දෙමු.” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියෙ “ඒකේ ප්‍රධානියා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. දැන් මුදල් කමිටු තිබෙනවා. ඒ වගේ විධායක කමිටුවක් ඇති කරමු. අපි මේ කරුණු දෙක ඉටු කර ගන්න ඕන ඊළග ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර. ඒක අපි කළ යුතු දෙයක් කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඊට අවශ්‍ය නීති කෙටුම්පත සකස් කරන්න කියලා අපි ඇමතිවරුන්ට දැනුම් දුන්නා.”

මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, “අද මැතිවරණවලට විශාල මුදලක් වැය කරනවා. මම 77දී පැරණි ක්‍රමයටයි ඡන්දය කළේ, එදා වියදම් සීමා කළා. අද සමහර අය ඡන්දය කරන්න මිලියන 20-30, 50 වැය කරනවා. කොහොමද මේවා ආපසු ගෙවන්නේ. මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරු හිර කරලා තිබෙනවා. එහෙම නම් අපි ඡන්ද නීතියෙනුත් ඡන්දයට වියදම් කළ හැකි මුදල් පිළිබඳ සීමාවක් දාන්න ඕන. මම 77 ඡන්දයට ඉදිරිපත් වෙද්දි එම සිමාවන් තිබුණා. ඒ අනුව තමයි අපිට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒ කාලේ පෝස්ටරයක් ගහන්න බැරි වුණා. එහෙම නම් මැතිවරණයට වැය කරන මුදල් ගැන සීමාවන් ගේන්න කටයුතු කරන්න ඕන.”

තව කාරණයක් තිබෙනවා අද අපේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැහැ. හුඟක් අය පරණ අය එක්ක නමින් වැඩ කරනවා. අලුත් සංවිධාන නැහැ. එහෙම නම් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැනත්, ඒවායේ වැඩකටයුතු ගැනත්, කොහොමද සාමාජිකයන් බඳවා ගන්නේ, කොහොමද මධ්‍යම කාරක සභා තෝරගන්නේ, කොහොමද අපේක්ෂකයන් තෝර ගන්නේ යන කරුණු ගැනත් වෙනම නීතියක් ඉදිරිපත් කරන්න ඕන.

දැනට ජර්මනිය වගේ රටවල දේශපාලන පක්ෂ නීතිය කියල නීති තිබෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. කොහොමද මුදල් එකතු කරන්නේ, මුදල් එකතු කරන්න බැරි අවස්ථා මොනවද මේ සියල්ල ගැන නීති තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට උසාවියට යන්න පුළුවන් ඊට විරුද්ධව.

විනිවිදභාවය තිබෙන නිසා, ඒ වගේම මැතිවරණ වියදම් සීමා කරන නිසා ඒ රටවල පාර්ලිමේන්තුවෙන් මුදල් දෙනවා දේශපාලන පක්ෂවලට.

ඡන්දයටත් මුදල් දෙනවා. පාර්ලිමේන්තුවෙන් දෙන එක වඩා හොඳයි පුද්ගලික ආයතනවලින් ගන්නේ නැතිව. ඒවා සීමා කරලා තිබෙන්නේ.

ඇමරිකාවෙත් මේ ක්‍රමය තිබෙනවා. එහෙම නම් අපිත් මේ නීති ගේන්න ඕන. ඒ ගැන යෝජනා ලබාදීමට මම වෙනම කොමිසමක් පත්කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ලබන වසර තුළ සිදු කළ යුතුයි.

අලුත් ආර්ථිකයක් සමඟ අලුත් ආකල්පයක් තිබෙන්න ඕන. ඒවගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ කියලා සමහරු දොස් කියනවා.

“මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් ඒ අය විනය කඩලා තිබෙනව නම්, කෙසේ හෝ මෙය වඩා ශක්තිමත් කිරීමට මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කරනවා වගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ, සාරධර්ම පිළිබඳ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්.”

“පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරන්න ඕන. එංගලන්තයේ තියෙනවා Parliamentary Standard Act ඒ අනුව ක්‍රියා නොකරනව නම් ඒ ගැන වාර්තා කරනවා. එහෙම වාර්තා කළාම ඒ අය ජනමතය නිසාම ඉවත් වෙනවා. වෙන පියවරක් ගන්න බැහැ. දැන් ළඟදි එක්කෙනෙක් ඉවත් කරලා තිබෙනවා විවාදයෙන්.”

“එහෙමනම් අපි මේ සියලු නීති රීති ගේනවනම්, මේ සංශෝධන කරනවනම් අපිට පුළුවන් ජනතා විශ්වාසය දිනා ගන්න. එතකොට ඊළග ඡන්දයෙදි බොහෝ දෙනෙක් ගිහින් ඡන්දය පාවිච්චි කරනවා. 85%ක් ඡන්දය පාවිච්චි කරන්න වුවමනයි.”

“අපි ආකල්ප වෙනස් කරගන්න ඕන. තවම පරණ විදියට පෙළපාලි ගිහින් හරියන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගිහින් අරගලයට හේත්තුවෙලා තිබෙනවා සහයෝගය ලබා ගන්න. අරගලය හේත්තුවෙලා නැහැ,දේශපාලන පක්ෂවලට. අපිට තිබෙන්නේ ජනතාවගේ අදහස් අනුව නීති රීති ගෙනල්ලා ජනතාව කැමති අය පාර්ලිමේන්තුවට පත් කරගන්න අවස්ථාව ලබාදීමයි. මේ වැඩකටයුතු තමයි අපි ඉදිරියට සිදු කළ යුත්තේ.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“මැතිවරණ ගැන මේ වෙලාවේ කතා නොකළ යුතුයි”

“මැතිවරණ ගැන මේ වෙලාවේ කතා නොකළ යුතුයි” යැයි, රජයේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අවධාරණය කළේය.

හම්බන්තොට සූරියවැව ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ ගැන කතා කළ යුත්තේ රටේ ආර්ථීක ප්‍රශ්නයට මුහුණ දී රට ස්ථාවර වීමෙන් අනතුරුව බවයි.

කෙසේවෙතත් පක්ෂයක් ලෙස සංවිධානයක් ලෙස ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

එහෙත් මේ අවස්ථාවේ පළමු කාර්ය ලෙස ප්‍රමුඛතාව වන්නේ “රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න ආණ්ඩුවට අතිගරු ජනාධිපතිතුමාට නැතිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන එක.” නාමල් රාජපක්ෂ පැවසීය.

දේශපාලන අනාගතයකට අවශ්‍යය විදිහට එලපු න්‍යාය පත්‍රයක්.

මැතිවරණ කල් දැමීට තැත් කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ,මීට පෙර අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ සිටම චෝදනා එල්ල විය. දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙය ද එවැනි උත්සාහයක් බවටයි.

පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අනාවරණය කළේ, “මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු සියල්ල දිහා බැලුවම අපිට ඉතාම පැහැදිලිව පෙනෙනවා ඔහු ජනාධිපති ධුරයට කෙසේ හෝ ආවා. දැන් ඒ ආවට පස්සේ ඔහුට අවශ්‍යයයි ඉතුරු දේශපාලන සිතියම තමන්ට ඕනෑ විදිහට සකස් කර ගන්න. ඉතුරු සියලු මැතිවරණ තමන්ට වාසි දායක විදිහට සකස් කර ගන්න. ඒ නිසා ඔහු නැවත බලාපොරොත්තු වෙනවා කුමන හෝ දේශපාලන වැඩ පිළිවෙලකට. ඔහු බලාපොරොත්තු වෙන දේශපාලන අනාගතයකට අවශ්‍යය විදිහට රටේ දේශපාලනය සම්පූර්ණයෙන් කළමනාකරණය කරන්න.”

මැතිවරණ ක්‍රමය සංශෝධනය ඒ සඳහා ඉදිරිපත් කළ සැලැස්මක් බවද ඔහු සඳහන් කළේය.

“ඒ සඳහා එලපු න්‍යාය පත්‍රයක් විදහට තමා අපිට මේක පෙන්නේ. ඒකට ඔහු මේ අරගලයේ තිබ්බ අභිලාශයන් ගැන එක එක තැන්වල කියලා තියෙනවා. මනාප ක්‍රමය සම්බන්ධයෙන් චෝදනා තිබුණා කියලා. අපි දැකලා නැහැ කවදාවත් ඔහු මනාප ක්‍රමය ගැන මීට කලින් මේ විදහට චෝදනාත්මකව කතා කරනවා.”

දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ “දැන් ඔහුට ඔහුගේ දේශපාලන න්‍යය පත්‍රය ඔහුගේ බල ව්‍යාප්තිය තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ සිතියම මැතිවරණ ක්‍රම සියල්ල සංශෝධනය කර ගන්න සැලැස්මක් තමා මේක ඇතුලේ පේන්නේ. ඒ නිසා අපිට පේනවා ජනාධිපතිවරයා පත්වෙද්දිත් අපි රටේ ජනතාවට කිව්වා මේක පැහැදිලිවම ඒකාධිපති වියරුවක් මේක පිටිපස්සේ තියෙන්නේ කියලා.”

“22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න සූදානම් වෙමින් තියෙද්දි ඔහු සූදානම් වෙලා තියෙනවා මැතිවරණ ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න. ඔහු එතනින් එහාට ගිහිල්ලා කියලා තියෙනවා. රටේ මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ තියෙන නීති වෙනස් වෙන්නේ නැත්නම් ඔහු සූදානම් කියලා කෙලින්ම ජනමත විචාරණයක් කරා යන්න.”

දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ “ඉතින් මේ හොර පාරෙන් බලය ගත්ත ජනාධිපතිවරයෙක් මුලු රටක ආර්ථිකය, දේශපාලනය තමන්ට ඕනෑ විදහට අතේ තියා ගෙන හසුරුවන්න හදන ක්‍රියාවලියක් මෙකෙන් පේන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ මේක ඇතුලේ මහජන අභිලාශයන්, අරගලයේ මතුකරපු අභිලාශයන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒවායේ නාමයෙන් තමන්ට පහසු තමන්ට ගැලපෙන තැනකට රටේ දේශපාලනය හසුරුව ගන්න, මැතිවරණ ක්‍රියාවලිය හසුරුව ගන්න දරණ උප්පරවැට්ටියත් හැටියට තමා අපිට මේක පේන්නේ”.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඩලස් පිලේ මන්ත්‍රී චරිත හේරත් පවසන්නේ පළාත් පාලන ජන්දය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 20 දින සිට මැතිවරණ කොමිසටම බලය ලැබී ඇති බවයි.

“එය කල් දමන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දරණ මේ උත්සාහය පරාජය කළ යුතුය. මේ කරන්නේ පළාත් සභා ජන්දයට කළ දේමය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ජනතා මතයකින් තොරව මෙවැනි ප්‍රතිපත්ති වෙනස්කම් නොකළ යුතු බව මගේ මතයයි.”

“සංශෝධන සැලැස්ම ඡන්දය කල් දාන්න හේතුවක් කර ගතයුතු නැහැ”

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම සඳහා නීත්‍යානූකූල ක්‍රියාමාර්ග කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේය.

“එහෙම සංශෝධන කරන්න පනත් ගේනවා නම් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළ යුතුයි. මේවා ප්‍රමාද වෙනවා නම් ප්‍රමාද වීමේ වගකීම පාර්ලිමේන්තුව භාර ගත යුතුයි.” මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

මෙම සංශෝධන සැලැස්ම ඡන්දය කල් දාන්න හේතුවක් කර ගතයුතු නැතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

“ඡන්දය තියලා අවශ්‍ය නම් ඊළඟ වතාවේ කරන්න පුලුවන්. “

මැතිවරණ කොමිෂන් සපළාත් පලාන මැතිවරණයට සූදානම් බවත්. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

එහෙත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මේ සැරසෙන්නේ පළාත් පාලන මැතිවරණය පමණක් නොව මහ මැතිවරණයද කල්දැමීමට බවයි.

ඡන්ද ක්‍රමය මාරු කළා කියලා රටට ඩොලර් එන්නේ නැහැ

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේ, මේ අවස්ථාවේ කළ යුතු වන්නේ ජනමත විචාරණයක් නොව මහා මැතිවරණයකට ගොස් ජනතා කැමැත්තෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බවයි.

එමඟින් අඩුම තරමේ විදෙස් රටවල සිටින පුද්ගලයින් යළි මෙරටට ඩොලර් එවනු ඇති බව ඔහු සඳහන් කළේය. ආයෝජකයින් තුළ විශ්වාසයක් ඇති වී නැවත ලංකාවට පැමිණෙනු ඇති බවත්, ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

“පොදු එකඟතාවකට එන්න පුලුවන් ඇත්තටම මෙච්චර කැබිනට් එකක් ඕනේද?, මෙච්චර මන්ත්‍රීවරු ඕනේද?, ඡන්දෙට වියදම් කරන සල්ලි සීමා කිරීම වගේ ඒවා හොඳ දේවල්, සාධනීය කරණු තියෙනවා.”

“නමුත් ඡන්ද ක්‍රමය මාරු කළා කියලා ඩොලර් එන්නේ නැහැ නේ අපට” මහාචාර්යවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ “ලංකාවේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් ද? ආර්ථික ප්‍රශ්නයක් කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. මේ රට වැටුණේ මේ දේශපාලන ක්‍රමයේ වැරැද්ද නිසා නෙමේ. අපි 77 ඉදලා ජේ.ආර් ජයවර්ධන ගෙනාපු ව්‍යවස්ථාවෙන් අපි විශාල සංවර්ධනයක් ලබා ගත්තා. මේකේ තියෙන්නේ හැන්ද තියෙන මනුස්සායාගේ වැරැද්ද. හැන්දේ වැරැද්ද නෙමේ. දැලි පිහියක් වුණොත් දුන්නොත් කපා ගන්න පුළුවන්නේ ” ඔහු සඳහන් කළේය.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *