උතුරේ ප්‍රශ්න දෙස අලුත් ඇසකින් බලමු

උතුරේ ප්‍රශ්න දෙස අලුත් ඇසකින් බලමු

  • November 17, 2022
  • No Comment
  • 52

දෙමළ ජනතාව මුහුණදෙන උතුරේ ගැටලු‍ ලබන වසරේ යෙදෙන 75 වැනි නිදහස් සමරු උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ වනවිට ද අත්අඩංගුවේ සිටි ද්‍රවිඩ සිරකරුවන් පිරිසක් නිදහස් කර තිබෙන බව ද ලේඛකයකු ඇතුළු තවත් සිරගතව සිටින ද්‍රවිඩ සිරකරුවන් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු වී ඇති බව ද ජනපතිගේ ප්‍රකාශයේ සඳහන් වූයේ ඒ ගැන ධනාත්මක ප්‍රවේශයක් ගැනීමට විය යුතුය.

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු‍ මේ රටේ දේශපාලනය තුළ ‘හෝද හෝදා මඩේ දමන’ ව්‍යාපෘතියක් බවට පත් කරනු ලැබුවේ මේ රටේ දේශපාලනඥයන් විසිනි. උතුරේත් දකුණේත් සියලු‍ දේශපාලන නායකයෝ අඩු වැඩි වශයෙන් මේ ව්‍යාපෘතියේ සක්‍රීය මෙහෙයුම්කරුවෝ වෙති.

මේ උතුරු- දකුණු බලලෝභී දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලැබූ දැඩි ජාතිකවාදී දේශපාලන බල ව්‍යාපෘතිවලින් කුළු ගන්වනු ලැබූ රටේ ද්‍රවිඩ සිංහල තරුණයන් ඇතුළු ජනතාව මේ ගැටලු‍ව දෙස බැලු‍වේ කැකෑරෙන උණුසුම් ලේ ගත පුරා දිවයන තත්ත්වයකිනි. ඒ මතින් බලයට පත්වූ උතුරේ මන්ත්‍රීවරු විසඳුමක් සෙවීමේ අරමුණකට වඩා තල්ලු‍ වූයේ තරුණයන් අවි සටනකට යොමුකරවා ගැටලු‍ව විසඳා ගැනීමේ බල ව්‍යාපෘතියකටය.

දකුණේ නායකයෝ එම ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිළිතුරු දිය යුතු ස්ථාවරයක පිහිටා කටයුතු කළහ. දකුණේ දේශපාලන වේදිකාවේ එය ජනතාවගේ දැඩි ආකර්ෂණය දිනාගත් සටන් පාඨයක් බවට පත්විය. උතුරේත් දකුණේත් පූජ්‍ය පක්ෂය දැරූ ස්ථාවරය ද එයින් වෙනස් වූයේ නැත. මේ සියලු‍ බල ව්‍යාපෘතිවල ප්‍රතිඵලය වසර 30කට ආසන්න කාලයකට රට යුද්ධයකට පැටලීමය.

කල්ගත වී හෝ උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු‍ කිසියම් නිශ්චිත දිනයකට පෙර විසඳීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයේ වැදගත්කම සියලු‍දෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. එය කැපී පෙනෙන්නේ ඔහු ද්‍රවිඩ නායකයන් සමඟ මෙන්ම ජාත්‍යන්තරය සමඟ ද දේශපාලන ගනුදෙනු කිරීමට නොපැකිළිව ඉදිරිපත් වූ කෘතහස්ත පළපුරුදු නායකයකු බැවිනි. එවැනි නායකයකුගේ ප්‍රකාශයක විශ්වාසනීය බව කෙරෙහි වැඩි බරක් තැබිය හැක.

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන විටම එහි යටි පෙළෙන් කියැවෙන්නේ ද්‍රවිඩ ජනතාවට බලපාන ප්‍රශ්න තිබෙන බව පිළිගන්නා බවය. ද්‍රවිඩ ජනතාවට බලපාන්නා වූ සැබෑ ප්‍රශ්න තිබේ ද යන ගැටලු‍වට පැහැදිලි පිළිතුරක් ලබාදීමට බොහොමයක් නායකයන් මගහරින තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ප්‍රබල පිළිතුරකි. එය ද්‍රවිඩ ජනතාවගේ ගැටලු‍ විසඳීමට තබන්නා වූ අර්ථවත් ඉදිරි පියවරක් බව සැකයකින් තොරව පැවසිය හැක.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පත්වීමෙන් පසුව ද්‍රවිඩ ජනතාවට ප්‍රශ්න තිබෙන බව පිළිගෙන එය ප්‍රතිපත්තිමය වශයෙන් විසඳීමට උත්සාහයක් ගත් නායිකාවකි. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ද්‍රවිඩ සටන්කාමියෝ ඒ වෙනුවට යුද්ධය තෝරා ගත්හ.

රනිල් වික්‍රමසිංහ මහතා ද 2001 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වී ජාත්‍යන්තරය හවුල් කර ගනිමින් සාම සාකච්ඡා අරඹා සටන් විරාමයක් ද පවත්වා ගනිමින් යුද්ධය වසර දෙකකට නවත්වා ගැනීමට සමත් විය. එහෙත් ද්‍රවිඩ කොටි සංවිධානය තෝරාගත්තේ සාමය වෙනුවට යුද්ධයයි. 2005දී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා ද මුලින්ම ද්‍රවිඩ ජනාතාවගේ ගැටලු‍ විසඳාදීමට අවස්ථාවක් උදාකර ගැනීමට උත්සාහ දැරුවේය. එහෙත් කොටි සංවිධානය යළිත් තෝරාගත්තේ යුද්ධයයි.

යුද්ධය ජයග්‍රහණයකින්ම අවසන් කර ගැනීම ඒ වනවිට ජනවාර්ගික ගැටලු‍ව වශයෙන් හඳුන්වනු ලැබූ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු‍ උතුරේත් දකුණේත් සම්මුතියකින් විසඳා ගැනීමට මේ රටට ස්වර්ණමය අවස්ථාවක් විය. එය ගිලිහී යාමට ඉඩදීම මේ රටේ ඓතිහාසික වැරැද්දක් විය.

රටේ ඉතිහාසය වෙනස් කිරීමට තිබූ එම අවස්ථාව මගහැරීම හේතුවෙන් මේ වනවිට ද ද්‍රවිඩ ගැටලු‍ ඉතිරිව තිබේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසඳීමට සූදානම් බව ප්‍රකාශ කරන්නේ එම ගැටලු‍ය. එය කළ හැක්කේ ද රටේ දේශපාලන ඉතිහාසය සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක් ඇති රනිල් වික්‍රමසිංහ වැනි නායකයකුට පමණි.

ජනාධිපතිවරයා දිගු කරන මේ අවබෝධාත්මක හස්තය උණුසුම්ව පිළිගැනීමට උතුරේ නායකයන්ට හැකි නම් මේ ලබාගත් ආරම්භය ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක. ඒ සමඟ කිවයුත්තේ ජනාධිපතිගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණේ දේශපාලනය තුළ ද මධ්‍යස්ථ අදහස් මෙන්ම දැඩි අන්තගාමී අදහස් ද පළවිය හැකි බවය.

මේ ගැටලු‍ව විසඳීමට ගන්නා උත්සාහයට එය බාධාවක් කරගත යුතු නැති බවත් උතුරටත් දකුණටත් එකඟ විය හැකි තැනක සිට විසඳුම් සෙවිය යුතු බවත් පෙන්වාදීමට කැමැත්තෙමු. උතුරේ ප්‍රශ්න දෙස රටේ සියලු‍ නායකයන් අලු‍ත් ඇසකින් බැලිය යුතු කාලයයි මේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *