අරගලයේ පරිච්ඡේදයක් ඉවරවුණා විතරයි

අරගලයේ පරිච්ඡේදයක් ඉවරවුණා විතරයි

  • August 11, 2022
  • No Comment
  • 46

අරගලය ඉවරයි කියන අය බලාගෙන ඉන්න

 

ගෝල්ෆේස් අරගල භූමියේ ක්‍රියාකාරීව කටයුතු කළ දේශපාලන සංවිධාන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද විය. අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත්වීමත් සමගම අරගලයේ දිශානතිය කොයිබට ද? අරගලකරුවන් ඉදිරිපත් කළ මහජන සභාවට සිදුවූයේ කුමක් ද? මේ ඒ පිළිබඳව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ‘අරුණ’ට පැවැසූ දේය.

ගෝල්ෆේස් අරගල භූමියේ තියෙන ඉදිකිරීම් ඉවත් කර ගැනීමත් සමග අරගලයේ ක්‍රියාකාරීව හිටපු කොටස් ඉන් ඉවත් වෙමින් සිටිනව. පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ගෝල්ෆේස් අරගලයට මුල සිටම සම්බන්ධවෙලා හිටිය. අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීමත් එක්ක දැන් අරගලය ඉවරයි ද?

පළමුවැනි කාරණය තමයි අරගලය තාම අවසන් නෑ. හැබැයි ඕනෑම අරගලයක යම් පරිච්ඡේද, උස්පහත්වීම් තියෙනව. දැන් අරගලයෙ එක පරිච්ඡේදයක් ඉවරයි. ඒ ගෝඨාභය රාජපක්ෂ පළවා හැරල තියෙනව. ආණ්ඩුව ඇද වැටිල තියෙනව. හැබැයි බලය, අවස්ථාව පාවිච්චි කරල නැවත කුමන්ත්‍රණයක් කරල තියෙනව. ඒක සම්පූර්ණයෙන්ම පොහොට්ටුව මැදිහත්වෙලා කරපු කුමන්ත්‍රණයක්. ඒ නිසා දැන් ගොඩනැගිල තියෙන පාලන තන්ත්‍රයට ජනවරමක්, සුජාතභාවයක් නෑ. ඒ නිසා දැන් මේ සුජාතභාවයක් නැති ජනාධිපති නැවත වතාවක් සාමාන්‍ය ජනතාවට එල්ල කරන විශාල ආර්ථික ප්‍රහාරයක් තියෙනව. ඒත් එක්කම අරගලයේ ඊළඟ හේතුව කුසගින්න වෙන්න පුළුවන්. පළමු අරගලයෙ කුසගින්න තිබුණ. නමුත් ඊට වඩා ප්‍රබල ලෙස මතුවුණෙ විදුලිය, ගෑස්, තෙල් වගේ ප්‍රශ්න. ඊළඟට ඒව එන්නත් පුළුවන්, ඒව විස`ඳිල කුසගින්න විතරක් එන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නෙ අරගලය ඉවරයි කියන අයට බලාගෙන ඉන්න කියල.

හැබැයි දැන් සමාජයේ මතයක් ගොඩනැගිල තියෙනව රනිල් වික්‍රමසිංහ කියන්නෙ අරගලයෙන් පත්කරගත්ත ජනාධිපතිවරය කියල. රනිල් ජනාධිපති වූ ගමන් අරගල භූමියෙන් ඇතැම් පිරිස් ස්වෙච්ඡාවෙන් ඉවත්වීම, අරගලයෙ හිටපු ඇතැම් වෘත්තීය සමිති නායකයන්ට තනතුරු පිරිනැමීම ආදිය ඒක සාධාරණීය කරන්න හේතු විදිහට ඉදිරිපත් කරනව. එහෙම නම් පෙරටුගාමී පක්ෂයත් වක්‍රව හෝ රනිල් ජනාධිපති කරන්න දායක වුණාද?

කොහොමටවත් නෑ. අපි ඔක්කොම එදා ඇස් පනාපිට දැක්ක පාර්ලිමේන්තුවෙදි වෙච්ච දේ. සල්ලිවලට විකිණෙන දේශපාලන වෛශ්‍යාවො ටිකක් එදා විකිණුනෙ රනිල් වික්‍රමසිංහට. ඒක පිටුපස්සෙ තියෙන්නෙ බැසිල් රාජපක්ෂලගෙ සල්ලි. ඒ නිසා ඒ වගකීම අපිට පැවරීම විහිළුවක්. පාර්ලිමේන්තුව ඇතුළෙ විකිණිලා පත්වෙච්ච ජනාධිපතිවරයෙක් කකුල් ලෙවකන්න අරගලයෙ ඉන්න කවුරු හරි යනව නම් ඒ අය ඉතිහාසයට, ජනතාවට වගකියන්න ඕන. ඒව අරගලයෙ ප්‍රශ්න නෙමෙයි. යහපත් දෙයක් වුණාම කොහොම හරි තියෙන අලකලංචියක් අරගලයේ ප්‍රශ්නයක් විදිහට පටලවන්න හදනව නම් ඒක දුර්වල තර්කයක්. තාවකාලිකව එක එක තැන්වලට ගොඩවෙන අම්බලම්පාරුවො කොහෙත් ඉන්නව.

ගෝඨා ගෙදර ගියාට පස්සෙ නායකත්වයට ගේන්නෙ කවුද කියන නිශ්චිත වැඩපිළිවෙළක් නැති නිසා පැත්තක හිටිය කෙනෙක් ගොඩගියා කියලත් අරගලයට චෝදනා නැගෙනවා නේද?

ඔය කියන තර්කය අදාළයි අප්‍රේල් මාසයෙ මුල් සතියට. මේ අරගලය පටන්ගනිද්දි තිබුණෙ ගෝඨා ගෝ හෝම් කියන එක විතරයි. ඒක ඇත්ත. ඒ නිසා ඒ වෙලාවට ඒ ප්‍රශ්නය අදාළයි. හැබැයි ජුනි 9 වෙද්දි අරගලය මෝරලා, ඒ වෙද්දි එහි හිටපු කණ්ඩායම් විසින් ඉදිරිපත් කළා යම්කිසි ක්‍රියාකාරී සැලැස්මක්. ඒ සැලැස්මෙ ඔය ප්‍රශ්නයට උත්තරයක් දීල තියෙනව. ඒකෙ තියෙනව මේ අර්බුදයට වගකිව යුතු ගෝඨාභය, රනිල් සහ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් ඉවත්විය යුතුයි කියල. දෙවැනි එක අන්තර් වාර පාලනයක් ගොඩනගන්න, හැබැයි ඒ පාලනය ජනතාවගෙ දැවෙන ප්‍රශ්න එක්ක සම්මුතියකට එන්න ඕන. ඒ සම්මුතියෙ තියෙනව මේ ප්‍රශ්නයට අදාළ විසඳුමක්. අරගලයට සම්බන්ධ පිරිස තමන්ට ලැබෙන බලය කොහොමද යොදාගන්නෙ කියල ආකෘතියක් ඉදිරිපත් කළා. ඒ මහජන සභාව කියල. ඒ හරහා රාජ්‍යයට මැදිහත්වෙන්න, දේශපාලනයට මැදිහත්වීමේ බලය තමයි ජනතාව විසින් ඉදිරිපත් කළේ. ඒ නිසා අරගලය ඒ ප්‍රශ්නයට විසඳුම් දුන්න.

එතකොට ඔබ ඇතුළු අරගල කණ්ඩායම් ඉදිරිපත් කරපු මහජන සභාවට දැන් මොකද වෙලා තියෙන්නේ…? කෝ ඒක…?

ඒ මහජන සභාව එක සන්දර්භයකදි ඒ කියන්නෙ ගෝඨාභය පළවා හැරල, රනිල් වගෙ කුමන්ත්‍රණකාරයෙක් ජනාධිපති වුණෙ නැත්නම් ගොඩනගන්න තිබුණ යම් එකඟතාවන් එක්ක. එතකොට මහජනයාගේ හඬට කන්දෙමින් ජනතාවගේ ප්‍රශ්න විසඳන දිසාවට එය ගමන් කරනව. ඒත් දැන් වෙන්නෙ අරගලකරුවන්, ජනතාව බිමට සමතලා කරමින් යන ගමනක්.

ඒ තත්ත්වයත් එක්ක මහජන සභාව ගොඩනැගීමේ කටයුතු දැන් ආරම්භවෙමින් තියෙනව. තව නොබෝ දිනකින් මහජන සභාව ජනතාවට ඉදිරියට එයි. ඒ මහජන සභාවේ කාර්යයභාරය අරගලයට මැදිහත්වෙන එක. තව පැත්තකින් මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැදිහතවෙන එක.

මේ වෙද්දි පසුගිය දිනවල අරගලය ඇතුළෙ ප්‍රචණ්ඩ විදිහට හැසිරුණු පිරිස අත්අඩංගුවට ගනිමින් ඉන්නව. එයත් අරගලය අවසන් වෙන්න හේතුවෙලා තියෙනවද?

ඒක මේ අරගලයට ආපු ජනතාව බියවද්දන්න කරන දෙයක්. ඒ වගේම රනිල්ව ජනාධිපති කරන්න ඡන්දය දුන්න පොහොට්ටුවේ සාමාජිකයන් සතුටුකරන්න කරන දෙයක්. පොහොට්ටුව නගාසිටුවන්න රනිල් වික්‍රමසිංහ ගහපු ගිවිසුමේ කොටසක්. මර්ධනය එන්නෙ එහෙම. අපි බලමු මේ මර්ධනයෙන් ඒගොල්ලන්ට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියල. දැන් මේ මර්ධනය කරන්න එකට ළැගල ඉන්න නයි, පොළොන්ගු එකට කාකොටා ගන්න කොට බලන්නකො වෙන දේ. ඒක තමයි ඉදිරියට එන්න නියමිත. අපි ජනතාවට කියනව ඒ දිහා බලාගෙන ඉන්න කියල. එතකොට ඔය හැමදේම වෙනස් වෙනව. හැබැයි මර්ධනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නව.

අරගලය ඇතුළෙ වුණු රාජ්‍ය දේපළ ගිනි තැබීම්, පුද්ගල මරණවලට පෙරටුගාමීන් සම්බන්ධයි කියන චෝදනාව දැන් ආණ්ඩුව පාර්ශ්වයෙන් පමණක් නෙමෙයි විපක්ෂයේ ඇතැම් කොටස් පවා ප්‍රසිද්ධියේම එල්ල කරනවා…

ඔය චෝදනාව ඉතාම තක්කඩි, අභූත චෝදනාවක්. අපි දේශපාලන පක්ෂයක් විදිහට කිසිමාකාරයකින් මනුෂ්‍ය ඝාතනවලට හෝ දේපළ ගිනිතැබීම්වලට සම්බන්ධ නෑ . නමුත් මේ අරගලය ඇතුළෙ හිටපු ජනතාව ඒ ප්‍රචණ්ඩත්වයට තල්ලු කළේ කවුද කියල සියුම් විදිහට පරීක්ෂා කරල බලන්න කියල අපි ඉල්ලා සිටිනව. උදාහරණයකට ගෝල්ෆේස් එකේ තිබ්බ සාමකාමී අරගලයට ගහල මිනිස්සුව කුපිත කළේ කවුද? කවුද බස් ලිස්ට් එක ෆේස්බුක් එකට දැම්මෙ. ඒක හොයන්න. ප්‍රචණ්ඩත්වයට තල්ලු කරපු දේවල් බොහොම සැලසුම්සහගත විදිහට සිද්ධවුණෙ. අපි අදත් අභියෝග කරනව රඹුක්කන තෙල් බවුසරයට ගිනි තියන්න ගිය පුද්ගලය කවුද කියල කියන්න. ඒ නිසා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අපට එල්ල කරන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනව.

ඒ වගේම අද වෙද්දි අරගලය ඇතුළෙ ක්‍රියාකාරීව හිටපු ඇතැම් පුද්ගලයන් අරගලයේ නාමයෙන් තමන්ගෙ පුද්ගලික ගිණුම්වලට මුදල් ගෙන්ව ගත්ත කියල චෝදනා නැගෙනව…

ඕක විතරක් නෙමෙයි තව අවලාද තිබුණ. අරගලය භූමියෙ කුඩු ගහනව, අයිස් ගහනව වගේ දේවල්. මේ වගේ චෝදනා කරන නාමල් රාජපක්ෂම වරක් කිව්ව අරගලයෙ ඉන්නෙ අපිට ඡන්දය දුන්න මිනිස්සු කියල. එදා කිව්වෙ එහෙම. එහෙම චෝදනා කරන්නෙ මේ අරගලයෙ තියෙන සදාචාරාත්මක බැඳීම සමාජය ඉදිරියේ බිඳවට්ටන්න.

අනෙක අපි ජීවත්වෙන සමාජයේ මුදල් පාවිච්චි නොකර කිසිම දෙයක් නොවන සමාජයක. කඩේට ගිහින් බත් පැකට් එකක් වතුර බෝතලයක් ගන්න සල්ලි වියදම් කරන්න වෙනව. ඒ නිසා අරගලය තියෙන අවස්ථාවෙදිත් යම් යම් අවශ්‍යතාවලට මුදල් වියදම් කරන්න වෙනව. ඒවට මුදල් යම් යම් පාර්ශ්වයන්ගෙන් ලැබෙන්න ඇති. ඒ මුදල් අරගලයේ අවශ්‍යතාවලට විවිධ තැන්වලදි විවිධ විදිහට යොදාගන්න ඇති. ඒක ගැටලුවක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. මේ චෝදනා කරන්නෙ හරියට මෙහෙ මුදල් පාවිච්චි නොකරන සමාජයක් තියෙනව වගේ.

අනෙක ගිණුම් කියන්නෙ රටේ ලෝකෙ ප්‍රසිද්ධ නීත්‍යාකූල දෙයක්. ඒක රහස් දෙයක් නෙමෙයි. ගිණුම්වලට මුදල් දාල නම් තමයි ඒවා හොයන්න පුළුවන්වෙන්නෙ. මුදල් ගිණුම්ගතවෙනව ගනුදෙනු බොහොම පැහැදිලියි. නිරවුල්. ඒව ගැන බයවෙන්න දෙයක් නෑ.

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය පිළිබඳ සංවාදය නැවතත් සජීවී වෙලා තියෙනව. පෙරටුගාමී පක්ෂය විදිහට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන මොනවගේ විසඳුමක්ද ඉදරිපත් කරන්නේ…

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරනව නම් ඒවා විකුණද්දි ගන්නෙ කවුද? ඒ ගන්න අයටත් පාඩුවෙනව නම් අපි කරන්නෙ මහා පාපකර්මයක් නේද? මෙතන තියෙන්නෙ එක වටයකට මේ පාලකයො ඇමැතිකම් අරගෙන මේව කාල කාල ඉවර කරනව. ඊට පස්සෙ දෙවැනි වටයෙදි කන්න ඉල්ලනව එළියෙ ඉඳල. පෞද්ගලීකරණය කියන්නෙ දේශපාලනඥයන් දෙපාරක් කන ක්‍රමයක්. ඒකට හොඳම උදාහරණය තමයි පැල්වත්ත සීනි සමාගම. සීනි සමාගම දයා ගමගේ ඇමැතිවරයෙක් වෙලා ඔහු යටතේ තියෙද්දි පාඩුයි. හැබැයි පැල්වත්ත සීනි සමාගම පෞද්ගලීකරණය කරල දයා ගමගේම මිලදී ගත්තට පස්සෙ ලාබයි.

අපි විකුණනවට විරුද්ධයි. හැබැයි අපි කියන්නෙ ඔයගොල්ල විකුණනව නම් විකුණන්න කලින් පාඩු වෙච්ච හේතුව ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයෙ සමාගමක් පාඩු ලබනව නම් ඒකෙ අධ්‍යක්ෂ මණ්ඩලයට තමයි චෝදනාව එන්නෙ. අධ්‍යක්ෂ මණ්ඩලය අයින් කිරීම තමයි එතනදි කරන්නෙ. හැබැයි ලංකාවෙ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලවලට විශාල වැටුපක් ලබාදෙනව. ඒවා පාඩු ලැබීම ගැන ආණ්ඩුවට කම්පනයක් තියෙනව නම් මුලින්ම කරන්න ඕන ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ගැන තීරණයක් ගන්න එක. ඔවුන් ගන්න වැටුපට සේවයක් වෙලා තියෙනවද කියල හොයල බලන එක. එහෙම නැතිව විකුණන එක නෙමෙයි හරි දේ.

සංවාදය – සුරංග ඉන්දික

ස්තුතිය අරුණ පුවත්පත

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *