අපේ සුබවාදී බලාපොරොත්තුව මේ රටේ ජනතාවයි

අපේ සුබවාදී බලාපොරොත්තුව මේ රටේ ජනතාවයි

  • August 16, 2022
  • No Comment
  • 34

සර්වපාක්ෂික ආණ්ඩුව බොරුවක්

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා රට වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍යය බව ජනාධිපතිවරයා පැවසුවත්, ජාතික ජන බලවේගය පසුවන්නේ ඒ සඳහා සහයෝගය ලබා නොදෙනවා යැයි වන දැඩි තීරණයකය. මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය නොදැක්වීම සහ රටේ දේශපාලන පසුබිම පිළිබඳව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ‘අරුණ’ සමග කළ කතාබහයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වූ සාකච්ඡාවලට සහභාගිත්වයකින් තොරවම ජාතික ජනබලවේගය එය ප්‍රතික්ෂේප කරන්න තීරණය කළේ ඇයි?

දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා කරන්න යන්නේ බොරුවක්. වික්‍රමසිංහ සහ රාජපක්ෂ කියන කඳවුරු දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවාගෙන ඒ සඳහා සහයෝගය දක්වන්න අනිත් පක්ෂවලට ආරාධනා කරනවා. සර්ව පාක්ෂිකයි කියන්නේ ඔවුන් මේ කරන දේට නෙමෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන්නේ සියලු දෙනාගේම එකඟතාවය මත තෝරා ගත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් සමඟ එකඟ වූ වැඩපිළිවෙළක්, එකඟ වූ කැබිනට් තනතුරු අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් .එවැනි ක්‍රමවේදයක් මේ කියන සර්ව පාක්ෂික ආණ්ඩුව තුළ දකින්න නැහැ.

134 දෙනෙක්ගේ ඡන්දයෙන් බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරල, එය ක්‍රියාත්මක කරන්න දැන් අනෙක් පිරිසට ආරාධනා කරනවා. එය සර්වපාක්ෂික වැඩසටහනක් නෙමෙයි.

අපේ ප්‍රතිපත්ති පාවාදෙමින්, ජනතාවගේ අභිලාෂ පාවාදෙමින්, රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන රාජපක්ෂ ව්‍යාපෘතිය වෙනුවෙන් සහයෝගය දීමට අපේ කිසිම සූදානමක් නැහැ.

රටේ ආර්ථික අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්න නම්, දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයි කියලා ඔවුන් කියනවා. මේ වෙලාවේ ජනතාව සහ රට ගැන හිතල තීරණගත යුතු වෙලාවක් කියල තමයි බොහෝ දෙනා කියන්නේ…?

රට ගැන හිතන හින්දා තමයි අපි එවැනි දේවලට සහයෝගයද නොදී ඉන්න තීරණය කළේ. රටේ යහපතට කියලා වැරදි තීරණවලට සහයෝගය දුන්නොත් එහි අවාසිය වෙන්නෙත් රටටමයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි හැම වෙලාවකදීම උත්සාහ කරන්නේ හරි පැත්තේ හිටගන්න.

රටේ ආර්ථික ස්ථාවරභාවය ගැන කතා කළොත්, ආර්ථික අර්බුදයයි, දේශපාලන අර්බුදයයි එකිනෙකින් වෙන් කරන්න බෑ. ආර්ථික අර්බුදය විසඳන්න නම් පළමුවෙන්ම දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතුයි. ඒකට අවශ්‍ය වෙන්නේ ජනතාවට විශ්වාසය තැබිය හැකි ආණ්ඩුවක්.

දැන් තියෙන්නේ විකෘති පාර්ලිමේන්තුවක්. ඒ තුළින් එළියේ ඉන්න ජනතා මතය නියෝජනය වෙන්නේ නෑ. දේශපාලන ස්ථාවරභාවය මේ කියන සර්ව පාක්ෂික ආණ්ඩුව තුළින් ඇති කරන්න බැහැ. ඇත්තටම රට ගැන හිතනවා නම්, ජනතාවට සුදුසු පාලනයක් තෝරගන්න ඉතා ඉක්මනින් අවස්ථාවක් ලබා දිය යුතුයි.ඒ සඳහා මැතිවරණයක් පැවැත්විය යුතුයි.

රට තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක මැතිවරණයක් පැවැත්වීම ප්‍රායෝගිකද.?

ලෝකයේ වෙනත් රටවලත් අර්බුද පැවැති අවස්ථාවල පවා මැතිවරණ පවත්වලා තියෙනවා. අපේ රට ගත්තොත් දරුණු යුද්ධයක් පවතින අවස්ථාවේදී, සුනාමි වැනි ස්වභාවික විපත් සිදු වූ අවස්ථාවලදී, කෝවිඩ් වසංගතය අවස්ථාවේදීත් මැතිවරණ පවත්වලා තියෙනවා. මැතිවරණ පැවැත්විය යුතු වෙන්නේ සියල්ල හරියටම තියෙන අවස්ථාවලදී පමණමයි නීතියක් කොහෙවත් නෑ.

මේ අවස්ථාවේ මැතිවරණයක් තියන්න බෑ, ඒ සඳහා අවශ්‍යය මුදල් නෑ කියන්නේ ඡන්දයකට යන්න අකැමැති අය. ඔවුන් මැතිවරණයක් පවත්වනවට බය ඇති. මේ වෙලාවේ මුදල් වියදම් කරලා මැතිවරණයක් පැවැත්වීම ප්‍රතිඵල විරහිතයි කියලා කියන පිරිසකුත් ඉන්නවා.යම්කිසි මුදල් ප්‍රමාණයක් කිරීම තුළින් දේශපාලන ස්ථාවරභාවයක් ලබාගන්න පුළුවන් වුණොත් ඒකෙන් කරන්න පුළුවන් දේ ඊට වඩා වටිනව. මේ තියෙන දේශපාලන අස්ථාවරභාවය නිසා නිර්මාණය වෙන ආර්ථික අර්බුදයට ලොකු බරක් තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් වෙන් කරලා මැතිවරණයක් පැවැත්වීමෙන් ලොකු පාඩුවක් වෙන්නෙ නෑ .

මැතිවරණයක් ඉල්ලන්නෙ දැන් තියෙන ජනතා මතයක් ජාතික ජනබලවේගයට යම් වාසිසහගත තත්ත්වයක් උදාකරයි කියන විශ්වාසයෙන්ද?

ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් ඇතිකරගෙන අපි බලාගෙන ඉන්නේ නෑ. අවශ්‍යය ප්‍රතිඵලය ලබා ගන්න නම් අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වැඩ කරනවා. ජනතාවගෙත් දැන් පැහැදිලි වෙනසක් තියෙනවා. මේ අවුරුදු දෙකහමාර තුළ මේ රටේ දේශපාලනයෙන් ජනතාව විශාල පාඩම් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. 2019 හෝ ඊට පෙර සිටිය ජන්ද දායකයා නෙමෙයි අද ඉන්නෙ. ඒ නිසා මැතිවරණයකට යාම අවශ්‍යයමයි.

කල දුටු තැන වල ඉහගන්නවා වගේ ඔබේ පක්ෂයත් මේ කරන්න යන්නේ අර්බුදය ඉත්තෙක් කරගෙන බලයට එන එකද?

මේ වෙලාවේ රට වෙනුවෙන් ලබා දිය හැකි හොඳම විසඳුම එයයි.කොහොම වුණත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට දේශපාලන බලය වෙනුවෙන් අපිත් වැඩ කරනවා. නමුත් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රට වෙනුවෙන් අපි අපේ යුතුකම් වගකීම් හැම වෙලාවකදිම ඉටු කරනවා.

අධිකරණ ඇමැතිවරය ඉදිරිපත් කර තියෙන විසි දෙවැනි සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය ඉන්නෙ මොනවගේ තැනකද?

22 වෙනි සංශෝධනයට තව එකතු කළ යුතු යෝජනා කිහිපයක්ම අපි ළඟ තියෙනවා. කාරකසභා අවස්ථාවේ ඒ යෝජනාත් ඉදිරිපත් කරලා ඒ අනුව විසි දෙවැනි සංශෝධනයට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් තීරණය ගන්නවා.

පසුගිය මාස තුනක් වැනි කාලයක් තුළ, විදේශ රටවල ඉන්න ලාංකිකයන් ලංකාවට එවන මුදල් ප්‍රමාණයන් සෑහෙන්න අඩුවෙලා කියලා වාර්තා වුණා. විදෙස් ශ්‍රමිකයන්ට මෙරටට මුදල් එවන්න එපා කියල සමාජ මාධ්‍යවල සංවිධානාත්මක ප්‍රචාරය වුණා. එතනදි ජාතික ජනබලවේගයත් ඒ බලපෑම වෙනුවෙන් පෙනී හිටිය කියන චෝදනා තියෙනව…

මේ ලැබෙන මුදල් ප්‍රමාණයන් අඩු වුණේ අපේ හෝ අරගලයේ පිරිස්වල බලපෑම නිසා නෙමෙයි. විදේශ රටවල දුක් විඳින ශ්‍රී ලාංකිකයන් එවන සල්ලි නාස්ති කරනවා, හොරකම් කරනවා කියලා ඔවුන්ට දැනුණු නිසා ඔවුන් ඒ විදිහට මුදල් එවන එක අඩුකරලා තියෙනවා. දුක් මහන්සි වෙලා හම්බ කරන මුදල් දැන දැනම හොරකම් කරන්න දෙන්න කවුරුත් කැමති නෑ. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් බලහත්කාරයෙන් රුපියලේ අගය පහත් මට්ටමක තැබීම තමයි මේ ගැටලුවට ප්‍රධාන හේතුව. ඇත්තටම විදෙස් ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් ප්‍රමාණයන් අඩු වුණේ ආණ්ඩුවේ තීරණයක් නිසා.

ඔය විදිහට එවන මුදල් හොරකම් කරනවා, කියල කිව්වට ඒවට පදනමක් තියනවද? ඒ මුදල් නිසි නීතිමය ක්‍රමවේද ඔස්සේ නියාමනය කරනවා කියලා තමයි අදාල බලධාරීන් නම් කියන්නේ….

මේ රටේ නීති පද්ධතියක් තියෙද්දීත්, අදාල නියාමනයන් සිදුවෙනවා කියලා කියද්දිත් මොනතරම් හොරකම්, වංචා සිදු වෙනවාද? ඒ වගේ වටපිටාවක විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් නියාමනයට ලක් කරන නිසා හොරකම් කරන්න බෑ කියන එක තවදුරටත් මිනිස්සු පිළිගනීවි කියලා හිතනවද? මහ බැංකුවේ මුදල් වංචාවක් වුණේ නෑ කියලා හිතන්නේ කොහොමද? මේ රටේ බරපතළ අපරාධ, හොරකම් වංචා දූෂණ සිදු වුණේ නීති නැතුව නෙමෙයි. නීති රීති තියෙද්දි, නියාමනයන් වෙද්දි මහා පරිමාණයේ වංචා වෙලා තියෙනවා. මහා පරිමාණයෙන් දේශපාලනය දැනුම්වත් වීමෙන් හෝ දේශපාලන මැදිහත් වීම හරහා මේ හොරකම් සිද්ධ වෙනවා. ඒ ගැන මුළු රටම දන්නවා. ඒවා තහවුරු කරන්න අවශ්‍යය තරම් තොරතුරු තියනවා.

වයස අවුරුදු 16-20 අතර පිරිසට සතියකට පැය 20 ක උපරිමයකට යටත්ව අර්ධ කාලීන රැකියාවල නිරත විය හැකි පරිදි කම්කරු නීති සංශෝධනයටත් අවධානය යොමුවෙලා තියෙනවා. මොකද ජාතික ජනබලවේගය ඒ ගැන හිතන්නේ…

මේ රට පිළිබඳව තීරණ ගන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව පැහැදිලි අවබෝධයකින් නෙමෙයි කියලා මට හිතෙනවා. තරුණ ළමයින් සම්බන්ධයෙන් ගත්ත මේ තීරණයෙන් ඒ බව තවත් තහවුරු වුණා. මේ වෙලාවේ අපේ රටේ අධ්‍යාපනයේ මූලික ගැටලුවක් තියෙනවා.අපේ දරුවන්, විශේෂයෙන්ම පිරිමි නාමයෙන් බොහෝ දෙනෙක් අතර මගදී අධ්‍යාපනය ලබා ගැනීම නතර කරලා දානවා. එය මේ වෙද්දි විශාල ප්‍රශ්නයක්. මුලින්ම මේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙක් රඳවා ගැනීම සඳහා අවශ්‍යය වැඩපිළිවෙලවල් සකස් විය යුතුයි.

යම්කිසි වෘත්තියක් කිරීමට හැකියාව සහ සුදුසුකම් සම්පුර්ණ වනතුරු අධ්‍යාපන ක්‍රමය තුළ දරුවා රඳවා තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ළමයින්ට ඉගෙන ගන්න සුදුසු වටපිටාව හදලා දෙන්නේ නැතිව රැකියා හොයලා දෙන එක විසඳුමක් නෙමෙයි. අපේ රටේ රැකියා නැති උපාධිධාරීන් කීදෙනෙක් ඉන්නවද?

ලෝකයේ වෙනත් රටවල පවතින ආර්ථික තත්වයත් සමඟ ළමයින්ට ,තරුණ තරුණියන්ට පොඩි පොඩි රැකියා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඔවුන් එහෙම කරන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍යය සුළු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට. අපේ රටේ ළමයිට වැඩට යන්න වෙලා තියෙන්නේ පොකට් මනි හොයාගන්න නෙමේ. මේ රටේ වාතාවරණයත් එක්ක තමන්ගේ පවුලම නඩත්තු කිරීම සඳහා රැකියා කරන්න දරුවන්ට සිද්ධවෙලා. මේ තත්ත්වය මත අධ්‍යාපනය මගහැරෙන සංඛ්‍යාව තවත් ඉහළ යනවා. මෙවැනි තීරණ අපේ රටේ ප්‍රශ්න වලට හේතුව,ඒවායේ ස්වභාවය පිළිබඳව කිසිම දැනුවත් වීමකින් තොරව ගත්ත මෝඩ තීරණ විදිහට තමයි මම දකින්නේ.

දැන් තරමක් දුරට ඉන්ධන පෝලිම් අඩු වෙලා. ගෑස් ටික ජනතාවට ලැබෙනවා. විදුලිය කැපෙන්නේ පැයක් වැනි කාලයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවතින අර්බුදයට විසඳුම් ‌ෙගනඑමින් ඉන්නවා කියල තමයි ආණ්ඩුවේ කණ්ඩායම් කියන්නේ. පවතින තත්ත්වයන්ගෙ යම් සුබවාදී තත්ත්වයක් දකිනවද?

මේ රටේ පාලකයන්ගේ ක්‍රියාකලාපය ගැන නම් කිසිම සුබවාදී බලාපොරොත්තුවක් අපිට නෑ. තවමත් රටේ මිනිස්සු මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලා නෑ. ඒත්, අපි ඉතාමත්ම සුබවාදී තැනක සිට මේ රටේ ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත් වෙනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ රට පාලනය කරන පාලන තන්ත්‍රය ගැන නෙමෙයි. අපේ බලාපොරොත්තුව රැඳිලා තියෙන්නේ මේ රටේ ජනතාව මත. ජනතාව ඉතාමත් ම ශක්තිමත්, එඩිතරයි, දේශපාලනික වශයෙන් දැනුම්වත් සහ මැදිහත්වීමට සූදානම් කියලා පහුගිය කාලයේ ජනතාව විසින්ම තහවුරු කළා. මේ රටේ ජනතාව තමයි අපේ සුබවාදී බලාපොරොත්තුව.

සංවාදය – නිරෝෂා වාසල

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *