සමහර මිනිස්සුන්ට තියෙන අහලවත් නැති භීතිකාවන් (Phobias) මේවා තමයි!

  • October 30, 2022
  • No Comment
  • 47

දැන් භීතිකාවක් කිව්වහම සාමාන්‍යයෙන් ඔළුවට එන්නේ, අපි මොනවා හරි දේකට තියෙන බයනේ. සමහරු හොල්මන් වලට බයයි, සමහරු සර්පයන්ට බයයි, සමහරු කළුවරේ ඉන්න බයයි, සමහරු අසාර්ථක වෙනවට බයයි, සමහරු මැරෙන්න බයයි, සමහරු උස තැන් වලට බයයි. ඔන්න ඔය වගේ. දැන් ඔය බයවෙන දේවලින් සමහර දේවල් අයිති වෙන්නේ භීතිකාවන් නැතිනම් ෆෝබියාස් (Phobias) කියන කාණ්ඩෙට. සරලවම නිර්වචනය කරනවා නම්, ෆෝබියා එකක් කියන්නේ, යම් කිසි දේකට තියෙන තාර්කික නොවෙන අසීමිත භීතිය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය සර්පයන්ට බයයිනේ. එතකොට සර්පයෙක්ව දැක්කහම පොඩ්ඩක් කෑ ගහගෙන ඈතට පනියි. හැබැයි ඒක භීතිකාවක් නෙවෙයි. භීතිකාවක් කියන්නේ සර්පයෙක්ව දැක්කහම පිස්සුවෙන් මොර දීලා, පැනික් ඇටෑක් එකක් ඇවිල්ලා, මැරෙන්න තරම් බය වෙන එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඒ දේට තියෙන බයට එහා ගියපු අසීමිත බයකට. හැබැයි තව දෙයක් තමයි, කවුරුහරි කෙනෙක්ට කුකුළන්ට ඔය විදියේ භීතිකාවක්, ෆෝබියාවක් තියෙන්න පුලුවන්. හැබැයි එයා සර්පයෙක්ට ඒ විදියට බය නොවෙන්න පුලුවන්. තව කෙනෙක් ආවරණය වුණු පොඩි තැනක ඉන්න ඔය විදියේ භීතිකාවක් තියෙන්න පුලුවන්, හැබැයි එයා උස තැනකට පොඩ්ඩක්වත් බය නොවෙන්න පුලුවන්.

ඉතින් අපි මේ ෆෝබියාවන් ගැන දැනගත යුතු වෙන්නේ මේකයි. කෙනෙක් යම් කිසි දේකට කිසිම තාර්කික භාවයක් නැතුව අසීමිතව බය වෙනවා නම්, අපි අවබෝධ කරගන්න ඕන ඒක ඩ්‍රාමා එකක්වත්, පිස්සුවක්වත් නෙවෙයි, ෆෝබියා එකක් කියලා. උදාහරණයක් විදියට, කෙනෙක් ලයිට් බල්බ් එකකට එහෙම බය වෙන්න පුලුවන්. සමහරුන්ට සෙක්ස් සම්බන්ධ ෆෝබියාවන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා, ලෝකේ මිනිස්සු අතර තියෙන සමහර වෙලාවට විකාරයි කියලා හිතෙන ෆෝබියා ලැයිස්තුවක් අරගෙන එන්න.

01. Arachibutyrophobia – උඩු තල්ලේ පීනට් බටර්!

10 most bizarre phobias

පීනට් බටර් කාලා තියෙනවද? අර ඝනකම, ඇලෙන සුළු රස බටර් ජාතිය? සාමාන්‍යයෙන් පීනට් බටර් ඇලෙන සුළු නිසා කනකොට කටේ එහේ මෙහේ, දත් වල ඇලෙනවනේ. හැබැයි පීනට් බටර් උඩුතල්ලේ ඇලිලා තියෙනවද? අන්න එතකොට ඒක ගලවගන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ඒක කිසිසේත්ම භයානක තත්වයක් නෙවෙයි. හැබැයි මේ ෆෝබියා එක තියෙන අයට නං, උඩු තලේ පීනට් බටර් ඇලෙන එක භයානක හීනයක් වගේ. ඒ නිසා මේ ෆෝබියා එක තියෙන කෙනෙක් පීනට් බටර් අල්ලන්නවත් බය වෙන්න පුලුවන්. සමහරු නම් පීනට් බටර් ප්‍රවේසමෙන් කන්න තරම් නිර්භීත වෙන්න පුලුවන්!

02. Arithmophobia – බුදු අම්මෝ අංක!

10 most bizarre phobias

අපි එදිනෙදා ජීවිතේදී කොයි තරම් අංක එක්ක වැඩ කරනවද? උදාහරණයක් විදියට, බස් එකක් එනකොට අපිට යන්න ඕන රූට් එකේ බස් එකක්ද කියලා දැනගන්න අපි රූට් නම්බර් එක බලනවා. ඩිජිටල් ඔරලෝසුවක් තියෙනවා නම්, ඒකේ වෙලාව අංක වලින් බලනවා. කඩේකට ගියහම හාල් කිලෝ එකේ ගාණ මෙච්චරයි කියලා ගහල තියෙන බෝඩ් එක අනුව, අපිට ඕන හාල් කිලෝ හතරට කීයද කියලා ගණන් හදලා බලනවා. හැබැයි ඒක අපිට අමුතුවෙන් හිතන්න පවා අවශ්‍ය නැති සරල දෙයක් වුණාට, අංක කියන්නේ බුදුඅම්මෝ සීන් එකක් කියලා දැනෙන මිනිස්සු ඉන්නවා. ඒ තමයි Arithmophobia ෆෝබියා එක තියෙන අය. මේ අය එක්කෝ පොදුවේ අංකත් එක්ක කටයුතු කරන්න හෝ ගණිතයට බියක් දක්වනවා. එහෙම නැතිනම් තවත් මේ ෆෝබියා එක තියෙන කොටසකට අංක දකින එකත් මානසික වදයක් වෙන්න පුලුවන්.

03. Nomophobia – ෆෝන් එක මගෙ ජීවිතේ!

10 most bizarre phobias

දැන් කාලේ හැමෝගෙම අතේ ස්මාට්ෆෝන් එකක් තියෙනවනේ. ගොඩක් වෙලාවට අලුත් පරම්පරාවල අය කන්න ගියත්, වොෂ් රූම් ගියත් ෆෝන් එක අතේම තමයි. දැන් නිකමට හිතන්න, තමන්ගේ ෆෝන් එක කැඩිලා දවසකට දෙකකට රෙපයාර් සෙන්ටර් එකට දෙන්න වුණොත් මොකද වෙන්නේ? ටිකක් අමාරුයි වගේ දැනෙයි, හුරුපුරුදු විදියට සෝෂල් මීඩියා ඔස්සේ, මෙසේජස් ඔස්සේ අනික් අයත් එක්ක සම්බන්ධ වෙන එක බ්ලොක් වුණු නිසා. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එක අතේ නෑ කියලා කෙනෙක් මැරෙන්න යන්නෙ නෑ. එහෙම වුණාට, Nomophobia තියෙන කෙනෙක්ට නම්, ෆෝන් එක අතේ නැති නම්, බැටරි ඩෙඩ් වෙන්න ඔන්න මෙන්න නම් දැඩි මානසික ආකූලතාවයක් දැනෙනවා. ඇත්තටම මේ ෆෝබියා එක එන්නේ තමන්ගේ ෆොන් එකට ඇබ්බැහි වීමෙන් කියලා තමයි අහන්න ලැබෙන්නේ.

04. Globophobia – බය හිතෙන බැලුම්!

10 most bizarre phobias

දැන් ඔය අපි පුම්බන බැලුම් බෝල තියෙන්නේ. සාමාන්‍යයෙන් පුංචි කාලේ නං අපි බැලුම් බෝල වලට ආසයිනේ. හැබැයි සමහරු ඉන්නවා, බැලුම් බෝලයක් දැක්කත් බය වෙන. ආන්න ඒ ෆෝබියා එකට තමයි Globophobia කියන්නේ. මෙහෙම කෙනෙක් බැලුම් බෝල විතරක් නෙවෙයි, බැලුම් බෝල තියෙන තැන් පවා මඟ හරින්න උත්සාහ කරනවා. හේතුව බැලුම් බෝල තියෙන තැනක හිටියොත්, ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට ටීවී එකේ බැලුම් බෝල දැක්කොත් පවා පුදුමාකාර විදියේ මානසික අසහනයකට, දැඩි අපහසුතාවයකට පත් වෙනවා. දැන් මේ ෆෝබියා එක තියෙන දරුවන්ට එහෙම නම් ඒක හරිම කරදරයක් වෙන්න පුලුවන්. මොකද ළමයින්ගේ පාටි වල එහෙම බැලුම් බෝල අනිවාර්ය අංගයක් වීම නිසා.

05. Hippopotomonstrosesquippedaliophobia – හිත කළඹන දිග වචන!

10 most bizarre phobias

සාමාන්‍යයෙන් ඔය භාෂාවත් එක්ක නිතර වැඩ නොකරන කෙනෙක්ට සාමාන්‍ය දිග වචනයක් වුණත් එක පාරටම කියාගන්න බෑ. හැබැයි ඔය ප්‍රාචීර්ණවත්ථුප්පකරණය වගේ වචනයක් දුන්නහම භාෂා දැනුමක් තියෙන කෙනෙක් වුණත් එක පාරටම හොල්මන් වෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට කෙනෙක් දිග වචන වලට බය වෙන්නෙ නැහැනේ. ඒත් එහෙම බය වෙන අයත් ඉන්නවා. ඒ තමයි Hippopotomonstrosesquippedaliophobia එක තියෙන අය. බලන්න ඒ වචනේ දිග. ඔය ෆෝබියා එක තියෙන කෙනෙක් ඒ ෆෝබියා එකේ නමටත් බය වෙන එක පුදුමයක් නෙවෙයි. කොහොම නමුත් මේ වගේ ෆෝබියා එකක් තියෙන කෙනෙක් එදිනෙදා ජීවිතේදී සුලභව කැළඹීමට පත් වෙන්නෙ නෑ, ඇත්තටම එදිනෙදා අපි භාවිතා කරන භාෂාවේ අසාමාන්‍ය විදියට දීර්ඝ වචන නැහැනේ.

06. Optophobia – ඇස් ඇරියොත් මං ඉවරයි!

10 most bizarre phobias

මේක නං සෑහෙන්න කෙනෙක්ට ගැටළු ඇති කරන්න පුලුවන්, ඒ තරම් අහන්න ලැබෙන්නේ නැති ෆෝබියාවක්. සරලවම කිව්වොත් මේ ෆෝබියා එක තියෙන කෙනෙක් තමන්ගේ ඇස් අරින්න බයයි. උදාහරණයක් විදියට කිව්වොත්, නිදාගෙන නැගිටලා ඇස් අරින්න මේ අය පුදුම බියක් දක්වන්නේ. එතකොට ඇසිපිය ගහනකොට වුණත් ඇස් අරින එකට මේ අය බයයි. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් දෙනෙක්ට ඇස් වහනවා ඇස් අරිනවා කියන්නේ එහෙම හිතලා සිද්ධ කරන දේකුත් නෙවෙයිනේ. ඒක නිකම්ම වෙන දෙයක්. ඒත් හිතන්නකෝ මේ ෆෝබියා එක තියෙන කෙනෙක්ට ජීවිතේ කොයි තරම් අසීරුද කියලා. වාසනාවකට කරදරයක් නැතුව ඔබ මේ ආටිකල් එක කියවනවා නම්, ඔබට මේ ෆෝබියාව නෑ.

07. Geliophobia – හිනාව විනාසයක්!

10 most bizarre phobias

හිනාව කොයි තරම් වැදගත්ද කියලා ගී සිංදු පවා හැදිලා තියෙනවනේ. “හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ” කියලත් කියනවා. හිනාව අපිට සමාජ සම්බන්ධතා ඇති කරගන්න, සුහදත්වය පෙන්නන්න වගේ දේවල් වලට සෑහෙන්න වැදගත් වෙනවා. එහෙම වුණත්, සමහරුන්ට නම් හිනාව කියන්නේ භයානක හීනයක් වගේ. Geliophobia ෆෝබියාව තියෙන අය හිනාවෙන්න පුදුම බයයි. ඒ අයත් එක්ක තවත් කෙනෙක් හිනාවෙනවටත් බයයි. ඒ වගේම, හිනාවෙන අය අහල පහල ඉන්නත් බයයි. මේ ෆෝබියා එක් එක් අයට එක් එක් විදියට බලපාන්න පුලුවන්. උදාහරණයක් විදියට, මේ ෆෝබියා එක තියෙන කෙනෙක් හිනාවෙන්න බය නැති වෙන්න පුලුවන්, ඒත් තවත් කෙනෙක් තමන්ට හිනාවෙනවට පුදුමාකාර විදියට බය වෙන්න පුලුවන්.

08. Syngenesophobia – නෑයෝ නිකං වේයෝ වගේ!

10 most bizarre phobias

මේකත් ටිකක් පුදුම සහගත ෆෝබියා එකක් තමයි. හැබැයි හිතලා බැලුවහම අමුතු එකක් නෙවෙයි කියලත් කෙනෙක් කියයි. දැන් අපි හැමෝටම වගේ නෑදෑයෝ ඉන්නවනේ. අම්මගේ නංගි, තාත්තගේ අයියා, අම්මගේ පුංචි අම්මගෙ පුතා, තාත්තගේ සීයගෙ සහෝදරයගෙ පුතාගෙ පුතා වගේ ඔය එක එක විදියේ දුර සහ ලඟ නෑයෝ අපි ගොඩක් දෙනෙක්ට ඉන්නවා. ඒ සමහර නෑයෝ මාරම වාත වෙන්න පුලුවන්. සමහර නෑයෝ අපිට පෙන්නන්න බැරි වෙන්න පුලුවන්. තවත් සමහර නෑයන්ට අපි ඇත්තටම බයක් දක්වන්නත් පුලුවන්. හැබැයි මේ Syngenesophobia ෆෝබියා එක තියෙන අය පොදුවේ තමන්ගේ නෑදෑයන්ට අසීමිත බයක් දක්වනවා. ඒ අය මුණගැහෙනවට, කතා කරනවට, සම්බන්ධ වෙනවට මේ අය අසීමිතව බයයි.

09. Heliphobia – හිරු එළිය මාරාන්තික විය හැකියි!

10 most bizarre phobias

ලෝකේ මොන රටේ හිටියත් අපි හිරු එළිය අත්විඳිනවනේ. ලංකාව වගේ ඝර්මකලාපීය රටක ඉන්න අපිට නං හිරු එළිය කියන එක අතිශයින්ම සාමාන්‍යයි. එතකොට දැඩි හිරු රශ්මිය වගේ දෙයක් කෙනෙක්ට සමහර වෙලාවට අපහසුවක් වෙන්න පුලුවන්. එතකොට ඇස් වල දුර්වලතා, ඉරුවාරදය වගේ තියෙන අයට හිරු එළිය සෘජුව දරන්න අමාරු වෙන්න පුලුවන්. හැබැයි කෙනෙක් හිරු එළියට අසීමාන්තිකව බය වෙනවා නම්, ඒක ප්‍රශ්නයක්. Heliphobia ෆෝබියාව තියෙන අයට ඒක තමයි තියෙන ගැටළුව. ඒ අය ඉර එළිය තියෙන පැත්ත පළාතක යන්න බයයි. මේ ෆෝබියාව වඩාත් තීව්‍රව තියෙන කෙනෙක් හිරු එළියට විතරක් නෙවෙයි, වෙනත් ඕනෑම දීප්තිමත් ආලෝකයකට වුණත් බය වෙන්න පුලුවන්.

10. Decidophobia – කොහොමද තීරණයක් ගන්නේ?

10 most bizarre phobias

අපිට එදිනෙදා ජීවිතේදී එක එක විදියේ තීරණ ගන්න වෙනවනේ. උදාහරණයක් විදියට, එළියට යනවා නම් මොකක්ද ඇඳගෙන යන්නේ? දවල්ට කන්නේ මොනවද? මේ වැඩේ දැන් කරනවද, පස්සෙ කරනවද? ඔය වගේ සරල එදිනෙදා තීරණ අපිට නිතරම ගන්න වෙනවා. ඒ වගේම ටිකක් සීරියස් තීරණත් ගන්න සිද්ධ වෙනවා අපිට ජීවිතේ ගෙවනකොට. අපි විවාහ වෙනවද? උසස් අධ්‍යාපනයට තෝරගන්නේ මොන පාරද? මේ රස්සාවෙන් වෙනත් රස්සාවකට යනවද? මෙන්න මේ වගේ ඒවා. දැන් Decidophobia තියෙන අය තීරණ ගන්න බයයි. ඒ කියන්නේ ඒ අය තමන්ගේ මතය විශ්වාස කරන්නෙ නෑ. හරි තීරණයක් ගන්න තමන්ට පුලුවන් කියලා විශ්වාස කරන්නෙ නෑ. මේ ෆෝබියා එක තියෙන සමහරුන්ට එදිනෙදා පොඩි පොඩි තීරණ ගන්න පුලුවන්, ඒත් සීරියස් තීරණ ගන්න බෑ වෙන්නත් පුලුවන්. කොහොම වුණත් මේ විදියේ ෆෝබියා එකක් තියෙන අය එක්කෝ තමන් වෙනුවෙන් තීරණ ගන්න එක අනික් අයට භාර දෙනවා. එහෙම නැතිනම් ජ්‍යාතිෂය, සාස්තර වගේ දේවල් මත තමන්ගේ තීරණ පදනම් කරගන්නවා.

දැන් අපි ඔය ෆෝබියා ගැන කතා කලානේ.මේ ටිකක් විතරයි. තව දුර්ලභ සහ සුලභ ෆෝබියාස් ගැන අපි කතා කරනවා ඉස්සරහට. ඊලඟ කාරණාව. ඇත්තටම ඔය ෆෝබියා වලින් මිදෙන්න බැරිද? අපොයි පුළුවන්. ඒකට ප්‍රතිකාර සහ ප්‍රතිකර්ම තියෙනවා. අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරනවා

Lifie

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *