ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන්ත ජීවන්තට නිදහස

ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන්ත ජීවන්තට නිදහස

  • October 7, 2022
  • No Comment
  • 35

අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් භාරයේ සිටි ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත ගුණතිලක අද (ඔක්තෝබර් 7) වැනිදා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුදා හැරිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, රැඳවුම් නියෝගය ඉවත් කර, ඔහු තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි.

රඳවාගෙන දින 50යි !

වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රඳවා තබා ගෙන ඔක්තෝබර් 7 වැනිදාට අදට දින 50ක් සපිරෙයි.

මහියංගනය, දඹාන, උල්පත නිවාස පදිංචි මුදලිගේ වසන්ත කුමාර සහ මාතුපොල, පල්ලම පදිංචි ගුණතිලක සිරිවර්ධනලාගේ හෂාන් ජීවන්ත ගුණතිලකගේ කැලණිය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ නව හෙට්ටි වීදියේදී යතුරු පැදියකින් පලා යමින් සිටියදී අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත බවට පොලිසිය පැවසීය.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට වරදක් කළ බවට සැකය මත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතහි විධිවිධාන යටතේ ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලිසිය සඳහන් කළේය.

හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි.

අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගත් උන්වහන්සේ එදිනම කොටුව පොලිස් ස්ථානයේ භාරකාරත්වයට පත් කෙරිණ.

අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 50948ට අදාලව පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි තලංගම පොලිස් ස්ථානය භාරයට මාරු කර යැවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර වසන්ත කුමාර මුදලිගේ සහ හෂාන් ජීවන්තට එරෙහිව, කැලණිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පැය 72ක කාලයක් පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගැණුනි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේහි 6(1) වගන්තිය ප්‍රකාරව වැඩිදුර විමර්ශන පැවැත්වීමේ අදහස මත පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයෙන් මෙම සැකකරුවන් දෙදෙනා දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තේය.

එමෙන්ම පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් පැය 72ක කාලසීමාවක් තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබන ලෙසට මුළින් නියෝග කෙරුණු අතර, සැකකාර හිමිනමට එරෙහිව කෙරෙන විමර්ශන වලින් මතුව ඇති කරුණු අනුව පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත දින 90 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මොවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසියට අනුමැතිය ලබාදී තිබුණි.

වසන්ත මුදලිගේ ගේ ජීවිතය අනතුරකද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බොහෝ පාර්ශව මේවන විට සැක මතු කරයි.

ඔහුගේ ජීවිතයට ඇති තර්ජනය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද පසුගිය දින කිහිපය තුළදී අවධානය යොමුවිය.

මේ වන විට දින 50කට ආසන්න කාලයක් ඔහු ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රඳවා සිටින්නේ තංගල්ල පැරණි බන්ධනාගරයේය.

වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවයි.

වසන්ත මුදලිගේ ගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඔක්තෝබර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසා සිටියේය.

“රෑට රෑට වසන්ත මුදලිගේව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව ප්‍රදේශවලට ගෙනිහිල්ලා මන් දන්නෑ මොනවද කරන්නේ. රෑට රෑට ඇයි? මේක දවල්ට කරන්න බැරි ” යැයි ඔහු විමසා සිටියේය.

විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍යවරයා වෙත පවසා සිටියේ මෙය විහළුවක් සේ නොසලකන ලෙසයි.

“අවසානයේ මොකක් හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා ඒක හින්ද වෙඩි තිබ්බා කියලා.” විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මෙහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේ මෙම කරුණු ආරක්ෂක අංශවල අවදානයට යොමු කරන බවයි.

“චෝදනාවක් නැත්නම් පරීක්ෂණ ඉවරනම් රැඳවුම් නියෝග මත තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි නීතිමය තත්ත්වය.” ඔහු සඳහන් කළේය.

සහෝදරයාගේ සටහන

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවසට ගෙනිහින් ඇතැයි කියන බරපතළ තත්ත්වය සියලු දෙනාට දැනගැනීම සඳහා තබන සටහනක් යනුවෙන්, වසන්ත මුදලිගේ ගේ සහෝදරයෙකු වන අනුර මුදලිගේ ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මෙසේය.

“මම (2022/10/03) තංගල්ල පැරණි නාවික හමුදා කදවුර තුළ දී අයියව බලන්න ගියා. අයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා හැමෝටම කියන්න කිව්වා. ඒ වගේම මානසිකව වැටිලා නෑ. වට්ටන්න තවදුරටත් ආණ්ඩුව විවිධ මැදිහත්වීම් අඛණ්ඩව කරමින් සිටින බවත් පැවසුවා.”

“මල්වානේ සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් අයියා ලබා දුන්නා. ඒ තමා අත්අඩංගුවට ගත් මුල් සතිය තුළ රාත්‍රී කාලවල මල්වාන බැසිල්ට අයත් යැයි පවසන ඉඩමට රැගෙන ගොස් තිබෙන බව.”

“තවත් නවගමුවේ ස්ථානයකටත්, කඩවත ප්‍රදේශයේ ස්ථානයකට හා ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට වශයෙන් ස්ථාන කිහිපයකටත් මුහුණ වසා ඉතා රහසිගතව රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ යැයි සඳහන් කළා.”

“කලකට පෙර සිදු වූවක් වුවත් ගිනිගත් නිවස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් බාහිරෙන් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව අධිකරණයතුළ දී ඒවා ජනතාව වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව භාවිතා කිරීමට දරන උත්සාහයක් බව ඉතා පැහැදිලිය.”

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනයට, ගෙවල් ගිනි තැබීමට හිතාමතා සම්බන්ධ කර සහ එවැනි සිද්ධි බලයෙන් හෝ ඇඟේ ගසා ජනතාව වෙනුවෙන් හඬ නගන අය සහ නායකත්වය දෙන නායකයන් නිහඬ කිරීම ආණ්ඩුවේ උපක්‍රමය වේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවට ජනතාව පීඩාවට ලක් කොට කටවල් වසා ගෙන සිටින තත්ත්වයට සමාජය පෑගීමේ බරපතළ තත්ත්වයට ආණ්ඩුව කටයතු කරමින් සිටී.”

“රනිල් ජනාධිපති ,ආරක්ෂක ලේකම් ,පොලිස්පති, හමුදාපති ,නාවුක හමුදාපති හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ද සියලු දෙනාට මම කියනවා වසන්ත මුදලිගේ කියන්නේ ඔබල වන්දනා කළ ගෝඨාභය වගේ පැනල යන නායකයෙක් නෙවෙයි.”

“වෙඩි උණ්ඩ වලට බය එකෙකුත් නෙවෙයි. මරලා අයින් කරලා උඹලට අහක දාන්න පුළුවන් එකෙකුත් නෙවෙයි. ජනතාව ලක්ෂ ගණනක් වසන්ත වෙනුවෙන් පාරට ආව දවසට ආයෙත් දුවන්න පාරවල් මදිවෙයි. ඒ නිසා උඹලා උඹලාගේ පණට කොයිතරම් ආදරෙයිද, අන්න ඒ වගේ මුදලිගේ කැඳවුම්කරු ව උඹලා යටතේ ඉදිද්දී ආරක්ෂා කරපල්ලා……. පරණ නාට්‍ය කෑලි ඝාතන උප්පරවැට්ටි නොදා. කලින් නිදහස් චතුරස්‍රයේ නිළදාරියෙක් තුවක්කිවෙන් වෙඩි තියා ගත්තා වගේ වෙඩි තියන් වසන්ත මැරෙන්නේ නෑ. ජනතවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියෙදිත් වඩා ශක්තිමත්ව අරගල කරනු ඇත.”

“අධිකරණය මගහැර රැඳවුම් නියෝග යටතේ තබාගනිමින් සිටින වසන්ත, හෂාන්ත, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු දෙනා වහා නිදහස් කරනු!” යනුවෙන් අනුර මුදලිගේ තම මුහුණු පොතේ තැබූ එම සටහනේ සඳහන්ය.

පොලිසිය වගකීමෙන් ක්‍රියා කළ යුතුයි !

දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර වසන්ත මුදලිගේගේ ජීවිත ආරක්ෂාව සහ සුරක්ෂිත බව සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිසිය වගකීමෙන් ක්‍රියා කළ යුතු බවටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත්තේ පළව ඇති මාධ්‍ය වාර්තා පදනම් කරගෙනය.

මානව හිමිකම් කොමිසම අවධාරණය කළේ, සියලුම පුද්ගලයන්ට නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස් කොට සැලකීම නොකළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමකදී නිශ්චිතව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වසන්ත මුදලිගේව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදරිපත් කර ඇති බවත්, නීතිඥවරුන්ට ඔහු බැලීමට ඉඩ ලබා දී ඇති බවයි.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *