මෙරට දේශපාලනයේ උණුසුම් මාතෘකාව සර්ව පාක්ෂික ආණ්ඩුවයි..!
- August 8, 2022
- No Comment
- 69
දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ
මෙරට දේශපාලනයේ මේ දිනවල උණුසුම් මාතෘකාව සර්ව පාක්ෂික ආණ්ඩුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවට ආරාධනා කළද, ඒ සඳහා පොදු එකඟතාවක් තවමත් ඇතිවී නැත. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිචාරය කුමක්ද? මේ ඒ පිළිබඳව එම පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් දැක්වූ අදහස්ය.
දෙමළ ජාතික සංධානය (ටී.එන්.ඒ.) ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන්න හිතුවේ ඇයි?
රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය සහ ඒ තුළින් නිර්මාණය වූ දේශපාලන අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, මේ ඇතිවෙලා තියෙන ගැටලුවලින් ගොඩ ඒමට වැඩපිළිවෙළක් සකස් කිරීම පමණයි. එවැනි වැඩපිළිවෙළක් සකස් කරන්න නම් අපිට මේ වෙලාවේ අමාරු තීන්දු තීරණ පවා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තීරණ ගද්දී ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා බෙදෙන්නේ නැතුව සියලු දෙනාම එකතු වුණොත්, ඒ තීන්දු තීරණ පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි කරවීමට පවා පහසුයි. පුද්ගල අභිමතාර්ථ මත, අත්තනෝමතික තීරණ ගනිමින්, වාද විවාද කරමින් මේ ගැටලුවලට විසඳුම් ලබා ගන්න බැහැ. ඩලස් අලහප්පෙරුම මැතිතුමා හතළිහක් පමණ වන පොහොට්ටුවේ කණ්ඩායමක් සමග ඉදිරිපත් වෙද්දී, ඔහුට සජබේ සහයත් ලැබෙද්දී, ස්වාධීන වූ කණ්ඩායමේ සහයත් හිමිවද්දී, සර්වපාක්ෂිත ආණ්ඩුවක අවශ්‍යතාව වන වැඩිම පක්ෂ ගණනක් ඒකරාශී කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා ඔහුය කියන විශ්වාසයෙන් තමයි අපි ඩලස් අලහප්පෙරුම මැතිතුමාට සහයෝගය දක්වන්න තීරණය කළේ.
රනිල් වික්‍රමසිංහට සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ ඔබ තවමත් සිටිනවාද?
අද තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක්. වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඒකට බිලී බාගෙන තියෙනවා. නමුත් එවැනි දේ සිදු නොවිය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් පොහොට්ටුවේ බහුතරයක් තියාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කතා කරන එක ඒ තරම් සාර්ථක නැහැ. දැන් හදන්න උත්සාහ කරන සර්ව පාක්ෂික ආණ්ඩුව සැබෑම සර්වපාක්ෂික ආණ්ඩුවක් ද කියන ගැටලුව අපිට තියෙනවා.
නමුත් ජනාධිපතිවරයා කියූ පරිදි මේ ගැටලුවෙන් ගොඩ ඒම සඳහා හදන වැඩපිළිවෙළට අපිත් සහයෝගය දෙනවා. ඊට පස්සේ කරන්නේ මොකක්ද කියලා ඊළඟට තීරණය කරනවා.
පසුගියදා ඔබ ඇතුළු ටී.එන්.ඒ. පිරිස ජනපති මුණගැසුණු අවස්ථාවේ, ඔබ අතරින් කිහිපදෙනෙකුත් ජනපති වීමට තමන්ට සහය දුන්නාය කියලා ඔහු කියපු කතාව විහිළුවට කියපු දෙයක් නෙමෙයි නේද?
ජනාධිපතිවරයා ඒ කතාව දෙවතාවක්ම කිව්වා. ඒක එතුමාට වැරදිලා කියවුණ දෙයක් නෙමේ. හිතාමතාම තමයි එතුමා එවැනි ප්‍රකාශයක් කළේ.
ඒ කියන්නේ පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න ජනාධිපතිවරයා උත්සාහ කළා කියන එක ද?
පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න එතුමා ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්න හේතුව ඇත්තටම මට තවමත් පැහැදිලි නැහැ. නමුත් පක්ෂ තුළ බෙදීමක් ඇති කරන්න නම් මීට වඩා දේවල් කරන්න ඔහුට හැකියාව තියනවා. රහස් ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශයක් කරන්න තොරතුරු ලැබුණේ කොහොමද කියන එකත් ගැටලුවක්. ඒ ප්‍රකාශය පිළිබඳ අපි බාහිරින් එතරම් තැකීමක් කරන්නේ නැති වුණත් පක්ෂය අභ්‍යන්තරයේ අපි මේ ගැන දැඩිව සොයා බලනවා.
ජනපති තෝරාගැනීම වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරද්දී ටී.එන්.ඒ. එකට ඉන්දියාවෙන් බලපෑමක් තිබුණද?
ඉන්දියාවෙන් අපිට කිසිම බලපෑමක් වුණේ නෑ. අප නිතරම රාජතාන්ත්‍රික සබඳතා පවත්වනවා. විවිධ රටවල පුද්ගලයින් මුණගැහෙනවා. ඒ කිසිම රටක්, පුද්ගලයෙක් කිසිම දවසක දේශපාලනික වශයෙන් තීන්දු තීරණ ගන්න අපිට බලපෑම් කරලා නැහැ. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ කතාබහෙන් ඔවුන් වක්‍රව හඟවන දේවල් තිබෙනවා. ඒ වුණත් මේ වෙලාවෙ එහෙම මොකුත්ම වුණේ නැහැ.
ජනාධිපතිවරයා මුණ ගැසුණු වෙලාවේ ඔබ ඇතුළු පිරිස කළ ඉල්ලීම්වල සාධාරණ පදනමක් තිබෙනවාද නැතිනම් එය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තැත්කිරීමක්ද?
ජනාධිපතිවරයාට අපි කළ ඉල්ලීම් අතර අපි අවුරුදු 74ක් තිස්සේම කරන ඉල්ලීම් පවා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත හැකි තත්ත්වයට ගේන්න කියලා ඒ පනත ගෙනා මුල් කාලයේ ඉඳලම අපි කියනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි 2009 වර්ෂයේ සිටම ඉල්ලීම් කරනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන්න කියලත් අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා. එවැනි සාධාරණ ඉල්ලීම් තමයි අපි ඉදිරිපත් කළේ. එවැනි ගැටලුවලට ජනතා නියෝජිතයින් හැටියට අපි විසඳුම් ලබා දෙයි කියලා අපිට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ ඔබලා කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා නෙමෙයි?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා අපි කිසිම අවස්ථාවක කියලා නැහැ. රටකට ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පනතක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. හැම රටකටම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා සකස් කළ පනත් තියෙනවා. අපේ රටේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එපා කියලා තමයි අපි කියන්නේ. මේ පනත නිසා අසාධාරණයට ලක් වූ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ තියෙන පනත හරහා කරන්නේ ත්‍රස්තවාදය වළක්වනවාට වඩා මිනිස්සු මර්දනයට ලක් කිරීම. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පනතක් හදන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සකස් කරන පනත ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් විය යුතු අතර දේශපාලන බලපෑම් කිරීමට, ජනතාව මර්දනයට, එක් ජන කොටසකට පමණක් වරප්‍රසාද ලබාදීමට හෝ දඬුවම් ලබා දීමට හෝ භාවිත නොකළ යුතුයි.
උදාහරණයක් විදියට ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කටයුතු ලෙස අත්අඩංගුවට ගත් තුන් සියයක් පමණ පිරිසක් අදටත් හිරගත වෙලා ඉන්නවා. සහරාන් කොළඹට එන්න බස් ටිකට් එක වෙන් කරවාගත්ත අලෙවිසැලේ සේවකයා අවුරුදු තුනක් තිස්සේ අදටත් ඉන්නේ හිර භාරයේ. ඒ සේවකයා කළේ තමන්ගේ රැකියාව. සහරාන් මෙවැනි විනාශයක් කරනවා කියලා ඔහු දැනගෙන ඉන්නත් නැතිව ඇති. සමහර විට ඔහු සහරාන්ට සහයෝගය ලබාදුන්නා නම් සාක්ෂි සහිතව සනාථ කරගෙන ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. එහෙම නැතිව නිකරුණේ හිරගත කරලා තිබ්බාට ප්‍රයෝජනයක් නැහැ.
මේ විදිහටම සමහර දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ ඉන්නවා.
අද දෙමළ මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි මේ පනත නිසා සිංහල ජනතාවත් අසාධාරණයට ලක් වෙලා. ගෝල්ෆේස් පිට්ටනියේ අරගලකරුවන් පවා අත්අඩංගුවට ගත්තේ මේ පනත යටතේ. මේ පනතේ බලපෑම තියෙන්නේ එක ජන කොටසකට පමණක් නෙමෙයි. ජාති ආගම් පාට පක්ෂ භේදයකින් තොරව මේ පනත සියලුදෙනාට බලපෑම් කරනවා.
නමුත් මේ වෙලාවේ ඉක්මනින්ම කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළක් ගැන කතා කිරීම නේද? කෝ ඔබලාගෙන් එවැනි යෝජනා…
1948 සිට 1970 අග භාගය වන තුරුම ලංකාවෙ කිසිම යුද්ධයක් තිබුණේ නැහැ. ඒ කාලයේ අපේ රට වෙනත් රටවලින් ණය අරගෙනත් නැහැ. 1980 කාලයේ සිට 2009 වනතුරු ගත්ත තීරණ නිසා අදටත් ලංකාව ඇමරිකන් ඩොලර් බිලියන පනස් දෙකක් ණයයි. මහින්ද රාජපක්ෂලා අනවශ්‍ය සංවර්ධන වැඩසටහන්වලට ගත් ණයවලට අමතරව, යුද්ධය මෙහෙයවීම සඳහා තමයි වැඩිපුරම ණය ලබාගෙන තියෙන්නේ. යුද්ධය අවසන් වුණාට පසුවත් අද වනතුරු ලක්ෂ පහකට ආසන්න හමුදා නිලධාරීන් සඳහා වැටුප් ලබා දෙනවා. ලංකාවේ අයවැයෙන් වැඩි කොටසක් වෙන් වෙන්නේ යුද්ධය හා සම්බන්ධ කාරණාවලට.
1948 සිට 1970 දක්වා කාලය තුළ කිසිම පුද්ගලයෙක් ආයුධ අරගෙන ගැටුම් ඇතිකර ගන්න උත්සාහ කළේ නෑ. දෙමළ දේශපාලනඥයින් එවකට සිටි පාලකයින් සමග සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ගේ දේශපාලන ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට උත්සාහ කළා. 1972 නව ව්‍යවස්ථාව සකස් කරන තුරුම ඔවුන් ඒ උත්සාහය අත්හැරියේ නෑ. නමුත් ඒ උත්සාහයන්ට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු නිසා දෙමළ තරුණයන් අවි ආයුධ අරගෙන දෙමළ දේශපාලනඥයන්ව පවා ඝාතනය කරන්න පටන් ගත්තා. අවුරුදු තිහකින් පස්සේ 2009දී යුද්ධය අවසන් වුණාට අදටත් ඒ ඇතිවුණු දේශපාලන අර්බුදය අවසන් වෙලා නෑ. උතුරු නැගෙනහිර දේශපාලන අයිතිය සහ බලය බෙදාහැරීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක්.
මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන දේශපාලන අර්බුදය විසඳීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ලංකාව පිළිබඳව දැඩි සෝදිසියකින් සිටින අවස්ථාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දේ නිසා ජී.එස්.පී. ප්ලස් සහනය වැනි දේවල් පවා අපේ රටට අහිමි විය හැකි අවදානමක් පවතිනවා. එවැනි දේ ආර්ථික අර්බුදයට සෘජුවම බලපානවා. මේවාට ව්‍යවස්ථාමය විසඳුමක් ලැබුණොත් එය දිගුකාලීන ආර්ථික ස්ථාවරයකට හේතුවෙනවා.
ඇත්තටම අපි එතැනට විතරක් සීමා වුණේ නැහැ. ඩයස් පෝරාවේ ආයෝජනය ගේන්න උතුරු නැගෙනහිර වෙනම ආර්ථික කලාපයක් හැටියට නම් කරමු කියලා අපි යෝජනා කළා. ඒ විදිහට නම් කිරීම තුළින් විශාල ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ගෙන ඒමට හැකියාව තියෙනවා. ඒ යෝජනාවල වාසිය ලැබෙන්නේ මුළු ලංකාවටම.
විශේෂයෙන්ම පලාලි, මඩකලපුව ගුවන්තොටුපල, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කරන්නේ කොහොමද? තොරතුරු තාක්ෂණය මේ වැඩපිළිවෙළට යොදාගන්නේ කොහොමද? ආදී කාරනා විශාල ප්‍රමාණයක් අපි යෝජනා හැටියට ඉදිරිපත් කළා.
ඉදිරියේ බිහිවෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමතිවරයෙක් සමගද මා මේ කතා කරමින් සිටින්නේ..
ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂය ස්ථාවර තීන්දුවක් අරගෙන නැහැ. වත්මන් ජනාධිපතිවරයා හදන ජාතික වැඩපිළිවෙළ අනුව තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවාද? නැතිද? සහයෝගය ලබාදෙනවා නම් මොන මට්ටමෙන් ද? කියලා තීරණය කරන්නේ. ඒ හදන ජාතික වැඩපිළිවෙළ තුළ අපේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් නැත්නම් අපි ඔය කියන සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙලා සහයෝගය දීලා ප්‍රයෝජනයක් නැහැ.
දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂයක් විදිහට අපේ ජනතාව අපිට ඡන්දය ලබා දීලා තියෙන්නේ ඔවුන්ට සුවිශේෂී වූ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින්. 1948 සිට අද වන තුරුම දිගින් දිගටම හැම දිස්ත්‍රික්කයකම නියෝජනයක් ලැබිලා තියෙන්නේ අපේ පක්ෂයට විතරමයි. ආණ්ඩුකරන අය මොනතරම් වියදම් කළත්, දේශපාලන පොරොන්දු දුන්නත්, අපේ ජනතාව ඔවුන්ට ඡන්දය දෙන්නේ නෑ.
සංවාදය – නිරෝෂා වාසල