පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය අවසන් වෙයි
- October 5, 2022
- No Comment
- 45
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් නොසැලකිලිමත් ආකාරයෙන් සහ එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයේ වාචක දේශන ඉදිරිපත් කිරීම අද (05) අවසන් කෙරුණි.
ඉන් අනතුරුව නඩුවට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා සති තුනක් තුළ ගොනු කරන මෙන් පාර්ශ්වකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ වින්දිතයින් හා ඔහුගේ ඥාතීන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කිතුණු පියතුමන්ලා ඇතුළු පිරිස් විසින් පෙත්සම් 13 ක් ගොනු කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටී.