තනතුරු පුදලා මා නිහඬ කරනවා නම් බොරු…!

තනතුරු පුදලා මා නිහඬ කරනවා නම් බොරු…!

  • August 10, 2022
  • No Comment
  • 38

මේ අරගලය මර්දනය කරන්න බෑ

ආණ්ඩුව පැත්තෙන් කියැවෙන විදහට ඔබව අත්අඩංගුවට ගන්නේ පොලිසියේ ක්‍රියාමාර්ගයක් හැටියට මිසක් ආණ්ඩුවේ අවශ්‍යතාවක් හැටියට නෙමෙයි

සැලසුම් සහගතව අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවල දිගුවක් හැටියට තමයි මාව අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මේ වෙද්දී විවිධාකාරයේ මර්දනයන් සිදුවෙනවා. අරගලයේ ප්‍රතිඵලය කොල්ලකාගෙන බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ විසින්ම දැන් මේ අරගලය මර්දනය කරන්න උත්සාහ කරනවා.

රාජපක්ෂවරුන්ගේ වුවමනාවට තමයි රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණේ.කවුරුන් විසින් කුමන ක්‍රියාමාර්ග ගත්තත් මේ අරගලය මර්දනය කරන්න බෑ. අපි තව තවත් ශක්තිමත්ව ඉදිරියටම යනවා කියලා මේ මර්දනය කරන්න උත්සාහ කරන පිරිසට අපි කියනවා.

ඊයේ ඇප අරන් එළියට ආවා විතරයි. ජෝසෆ් ස්ටාලින්ට අදත් (මෙම සාකච්ඡාව සිදුවන ඊයේ දිනය හෙවත් අගෝස්තු 9 වැනිදා ) නඩුවක්. ඔබ නඩු ඉල්ලගෙන යනවාද?

උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා කියලා මම,දමිතා අබේරත්න,ධම්මික මුණසිංහ ඇතුළු අට දෙනෙක්ට පමණ නඩු පවරලා තියෙනවා. ඇත්තටම උද්ඝෝෂණය කරපු අහලක උසාවියක් තිබුණේ නැහැ. නමුත් අපි උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණය කළා කියලා තමයි නඩු පවරලා තියෙන්නේ. මේ විදියට නඩු පැවරීම ආණ්ඩුව නීතිය උපයෝගී කරගෙන කරන මර්දනයක් හැටියට අපි දකිනවා. මේ වෙද්දි ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට,අරගලයට සම්බන්ධ පුද්ගලයන්ට විවිධාකාරයේ නඩු පවරලා තියෙනවා. ඒ සියලු දේ ආණ්ඩුවේ සැලසුම් සහගත ක්‍රියාකාරකම්.

ආණ්ඩුව මේ මර්දනය සැලසුම් සහගතව කරනවා කියන කාරණය මම බන්ධනාගාර ගත වෙලා හිටිය කාලය තුළ හොඳින්ම අවබෝධ කර ගත්තා. තමන්ගේ සෙල්ෆි ඡායාරූපය හැර වෙන කිසිම සාක්ෂියක් නැති පුද්ගලයන් පවා බන්ධනාගාරය තුළ රඳවලා ඉන්නවා. ජනාධිපති මන්දිරයට,අරලියගහ මන්දිරයේදී ගත්ත ඡායාරූපය නිසා අත්අඩංගුවට පත්වුණු පුද්ගලයන් ඉන්නවා. මේ විදියට අත්අඩංගුවට ගන්න ගියොත් මිලියන ගාණක් අත්අඩංගුවට ගන්න සිද්ධ වෙයි. මේ මර්දන,අත්අඩංගුවට ගැනීම්,නඩු පැවරීම් ආණ්ඩුවේ සැලසුම්සහගත ක්‍රියාකාරකම් කියලා මම කියන්නේ ඒ නිසා තමයි.

ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉද්දි මෙවැනි දේවල් සිදු වුණේ නැහැනේ. අරගලය හරහා ඔහුව ඉවත්කරගෙන දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක්ද සිද්ධ වෙලා තියෙන්නේ.

මේ සිද්ධ වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක් නෙමෙයි. රටේ ජනතාව පෙරට ඇවිල්ලා කළ අරගලය නිසා හිටපු ජනාධිපතිවරයාට තනතුරෙන් ඉවත් වෙන්න සිදු වුණා. ආණ්ඩුවේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා පීඩා විඳින ජනතාව ඊට එරෙහිව සංවිධානය වෙද්දී, කිසිම ප්‍රචණ්ඩකාරීත්වයක් නැතිව ගල් කැටයක්වත් ගහන්නේ නැතිව ජනතා බලයෙන් ගෝඨාභය රාජපක්ෂ රටෙනුත් පැන්නුවා .ඒ නිසා රාජපක්ෂ කල්ලිය එකතුවෙලා තමන් ආරක්ෂා වෙන්න ගත්ත උපායේ ප්‍රතිඵලය තමයි එක ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීම. දැන් රාජපක්ෂ පාලනයේ දිගුවක් හැටියට රනිල් වික්‍රමසිංහ පළිගැනීමටත් මර්දනය කිරීමටත් උත්සාහ කරනවා. ඒ වගේම ඉදිරියේ දී ඇතිවිය හැකි ජනතා විරෝධයන් මර්දනය කරමින් බිය ගැන්වීමටත් ඔවුන් කටයුතු කරනවා. නමුත් ඔවුන් මෙය දකින්නේ පීලි පනින්න ගියපු, රටේ ව්‍යවස්ථානුකූල පාලන බලය යළි පීල්ලට ගැනීමක් ලෙසයි

පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්ද එකසිය තිස් හතරකින් තමයි රනිල් වික්‍රමසිංහ බලයට පත් වුණේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට ඉඩ ලැබීම නිසා තමයි රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය ලැබුණේ. නමුත් පාර්ලිමේන්තුවෙන් පිට තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන බලය නෙමෙයි. තවමත් පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ 2020 ජනමතයමයි. පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන්නේ 2022 ජනමතය. මේ ජනමතයන් දෙක අහසට පොළොව වගේ. කොහොම වුණත් ව්‍යවස්ථාවේ පිහිටෙන් කූට ලෙස බලයට පත්වෙලා,දෙපිරිසගේම එකතුවෙන් මොවුන් තීරණ ගන්නවා. ඔවුන් ඒකට ව්‍යවස්ථාව පිහිට කර ගත්තා.

හදවතට එකඟවම උත්තරයක් දෙන්න. ජෝසප් ස්ටාලින් කියන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක් ද?

මම කිසිම දේශපාලන පක්ෂයක ආධාරයෙන් නඩත්තු වෙන පුද්ගලයෙක් නෙමෙයි කියලා අවධාරණයෙන්ම කියනවා. ලංකා ගුරු සංගමය මේ රටේ ස්වාධීන ගුරු සංගමයක්. එය දීර්ඝ ඉතිහාසයක් තියෙන වෘත්තීය සමිතියක්. මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න මෙන්ම ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් අපි ඕනෑම මොහොතක පෙනී සිටිනවා. ඒ කැපවීම අපි ඉතිහාසයේදීත් කරලා තියෙනවා. අදත් කරනවා. අනාගතයේදීත් කරනවා. සරලම කියනවා නම් අපි දේශපාලන පක්ෂවල වුවමනාවට නටන රූකඩ නෙමෙයි.

නමුත් ජෝසප් ස්ටාලින් කියන්නේ තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන කෙනෙක් හැටියටලු දෙමාපියන් දකින්නේ…

ඒ, පිරිසකගේ සැලසුම් අනුව සිදුවන දේවල්. අපි සෑම අවස්ථාවකම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳද්දී දරුවන්ගේ පැත්තට මුල් තැන දෙනවා. උදාහරණ විදියට ගත්තොත් ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් වන නඩුවට අපි පෙනී සිටියා. එයින් දරුවන් දහස් ගණනකට සෙතක් වුණා. දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම වෙනුවෙන් පාසල් විවෘත කරවීමට අපි මූලිකත්වය අරගෙන කටයුතු කළා. හැම අවස්ථාවකදිම අපිට අධ්‍යාපනය වෙනුවෙන් යම්කිසි සැලසුම් සහගත වැඩසටහනක් තිබුණා. ගුරු අරගලයෙදි පවා දරුවන්ට අධ්‍යාපනය නොකළේ දවස් දෙකක කාලයක් පමණයි. ලංකා ගුරු සංගමය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිමයෙන් පෙනී සිටිනවා. ආණ්ඩුව සහ ඔවුන් වෙනුවෙන් වැඩ කරන පිරිස් අපිට විරුද්ධව මතවාද පැතිරුවත් සැබෑ තත්ත්වය තේරුම් ගන්න ජනතාව කවදාවත් අපිට චෝදනා කරන්නේ නැහැ.

අද පාසල ගැන විශ්වාසය දරුවා තුළ නැහැ. ඒ තැන ටියුෂන් පන්තියට අයත්වෙලා. පාසල් ගුරුවරයා ගැන ගෞරවය අඩුවෙලා. ඇයි ඔබ මේවාට පිළියම් ලැබිය යුතුයි කියලා උද්ඝෝෂණ ​නොකරන්නේ?

මේ රටේ අධ්‍යාපන ක්‍රමය බරපතළ ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතුයි කියලා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් හැටියට අපි නිරන්තරයෙන් ම අවධාරණය කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරනවා ඒ සඳහා මූලිකත්වය දෙනවා කියන පොරොන්දු පිට තමයි බලයට පත්වන සියලුම ආණ්ඩු තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ. නමුත් මේ ආණ්ඩුවවත් ඉන් පෙර පැවැති කිසිම ආණ්ඩුවක්වත් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිවැරදි තීරණ අරගෙන ක්‍රියාත්මක කරලා නැහැ.

මේ රටේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නිසා ටියුෂන් ක්‍රමය වඩාත් ජනප්‍රිය වෙලා,දෙමාපියන්ගේ මුදල් අසීමිත ලෙස වියදම් වෙනවා. නමුත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට දරුවාට අවශ්‍ය වෙන්නේ නිපුණතා මූලික කරගත් අධ්‍යාපනය ක්‍රමයක්. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී ඉඳලා තියනව.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම කරන්න කියලා ලංකා ගුරු සංගමය අදාළ පුද්ගලයන්ට නිරන්තරයෙන් බලපෑම් කරනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ පවතින විකෘතිය නිවැරදි විය යුතුමයි කියන මතයේ අපි දිගටම ඉන්නවා. ආණ්ඩු මාරු වුණත්,අපි අපේ ප්‍රතිපත්තිවල රැඳෙමින් දිගටම සටන් කරනවා.

සටන කියන්නේ එක්තරා ආකාරය ගැටුමක්නේ. එතැනටම හැමදාම රැඳෙන්නෙ නැතිව, මේ ජනතා නැගිටීම ඔස්සේ ඔබලාට ලැබී ඇති වටපිටාව යොදාගෙන මේ ආණ්ඩුවත් සමගවත් සාමයෙන් ඔය කියන තැනට යන්න හිතෙන්නෙම නැද්ද?

මේ ආණ්ඩුව පැහැදිලිවම කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක්. ඒ නිසා අපි මේ ආණ්ඩුවට විරුද්ධයි. රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ දේපළ වත්කම් ආරක්ෂා කරමින් හොරකම් පිළිබඳ තොරතුරු වසන් කිරීම තමයි ආණ්ඩුවේ බලාපොරොත්තුව. එළියේ තියෙන ජනමතය කුමන ආකාරයෙන් හෝ තමන්ගේ පැත්තට හරවා ගන්න ඔවුන් සැලසුම් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවටත් පැවැත්මක් නැහැ. අද රටේ කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියක් සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. රටට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා විදේශ ආධාර ලබා ගත යුතුයි. ඒ හැර මේ අවස්ථාවේදී වෙනත් විකල්ප ක්‍රමවේද අත්හදා බැලීම අපහසුයි. කොහොම වුණත් මේ ආණ්ඩුවටත් මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබා දෙන්න හැකියාවක් නැහැ. රට බංකොලොත් කළ ආණ්ඩුව වහාම ඉවත් වෙලා ජනතා මතයට ඉඩ ලබා දිය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසා. කුමන්ත්‍රණකාරීව බලයේ රැඳෙන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

හැබැයි ඔබ එහෙම කිව්වට, අරගලයේ ඔබත් සමග සිටි ඔබේ සටන් සගයා සමන් රත්නප්‍රිය අද ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්. ඔබටත් එවැනි අවස්ථා ඉදිරියේදී ලැබෙයිද.?

අපි තනතුරු,වරදාන,වරප්‍රසාද වෙනුවෙන් කිසිම අවස්ථාවක අපේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. එවැනි තනතුරු භාර ගත් පුද්ගලයන් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අද වගේම ඉතිහාසයේත් තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් සටන පාවා දුන් පිරිස් හිටියා. ඔවුන්ට තනතුරු ලැබීම ගැන අපිට ඊර්ෂ්‍යාවක් නැහැ. නමුත් ඒ තනතුරු අවභාවිත කරමින් අනෙක් පිරිසට පරිභව කිරීම ගැටලුවක්. සමහරු අපේ වෘත්තීය සමිති ව්‍යාපාර ගැනත් බොළඳ කතා කියනවා. ඇත්තටම ඒ පුද්ගලයන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

ඔබ දැන හෝ නොදැන සමන් රත්නප්‍රියලාට අවශ්‍ය වුණු නායකයා බලයට ගෙන ඒම වෙනුවෙන් යෙදවුණා කියලා හිතෙන්නෙ නැද්ද?

සමහරු බලයට ඒම සඳහා වගේම බලය රැකගැනීමටත් විවිධ වූ කුමන්ත්‍රණ සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් අපි කිසිම අවස්ථාවක ඔවුන්ගේ අතකොළු බවට පත් වෙලා නැහැ. පත්වෙන්නෙත් නෑ. යෙදවෙන්නෙත් නෑ. අපේ ප්‍රතිපත්ති ඔස්සේ අපි ඉදිරියට යනවා කියලා මම මේ අවස්ථාවේදීත් පැහැදිලිවම කියනවා. මේ රටේ ඇතිවුණු අරගලය කාගෙවත් මෙහෙයවීමෙන් ඇතිවුණ දෙයක් නෙමෙයි. එය ඇති වුණේ ජනතාවගේ බලයෙන්මයි. අරගලයේ මෙහෙයුම්කරුවන්,නායකයන් වගේම උරුමකරුවන් වන්නේත් ජනතාවමයි. ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට නොවුණොත් නැවතත් ජනතා බලය එකතු වෙනවා.

සමහරක් වෘත්තීය සමිති නායකයන්ගේ ‘කාර් පර්මිට්’ වගේම හිතාගන්න බැරි වත්කම් ගැනත් සමාජය කතා වෙනවා. වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කරලා ඔබ මොනවාද උපයාගත්තේ?

අපි කරන ගුරු රැකියාවට අදාළව ලැබෙන වැටුප මට ලැබෙනවා. ඒ හැර මේ වෙනතුරු වෙනත් දෙයක් උපයාගෙන නැහැ.

ඔබ අරගලයේ කැපී පෙනුණු චරිතයක්. අරගලයේ අනාගතය මොන විදිහට විසඳෙයිද?

අද මේ අරගලය බරපතළ විදියට මර්දනය කරමින් ඉන්නවා කියලා අපි දන්නවා. නමුත් මර්දනයට ජනතා බලය යටපත් කරන්න හැකියාවක් නැහැ. එදා වගේම අදත් ජනතා බලය ශක්තිමත්. මේ රටේ ආර්ථික,දේශපාලන,අධ්‍යාපනික සංස්කෘතික, ආගමික අර්බුද වලට විසඳුම් ලබා දීමට පාලකයන් අපොහොසත් වන තත්ත්වයකදී නැවතත් ජනතා නැගිටීම,ජනතාවගේ බලය බලාපොරොත්තුවෙන් ඉන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

අරගලයේ පෙරමුණේ රැඳී සිටි චරිතයක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඉකුත් 3 වැනිදා අත්අඩංගුවට පත්ව, පෙරේදා (08 වැනිදා) ඇප පිට නිදහස් විය. මේ ඔහු සමග ඊයේ අප කළ සාකච්ඡාවකි.

සටහන – ඉන්ද්‍රජිත් සුබසිංහ

ස්තුතිය අරුණ පුවත්පත

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *