කැමරා ඇසින් කවි ලියූ අපූරු කවියා ඩොනල්ඩ් කරුණාරත්න..

කැමරා ඇසින් කවි ලියූ අපූරු කවියා ඩොනල්ඩ් කරුණාරත්න..

  • September 4, 2022
  • No Comment
  • 55

පෙරළිකාර සිනමාවේ පුරෝගාමී භූමිකාවක අවසානය

COINS 2014 - Donald Karunarathne - YouTube

චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා ළඟට සිටින්නේ කැමරා අධ්‍යක්ෂවරයා යයි Bill Butler නම් ඔස්කා සම්මානයට නිර්දේශිත වූ කැමරා අධ්‍යක්ෂ්වරයා වරක් ප්‍රකාශ කොට තිබිණ. බිල් යනු Jaws, One flew over the Cuckoo’s nest වැනි ප්‍රකට චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයා ය. මේ ප්‍රකාශය කෙතරම් අර්ථවත් කියමනක් ද යන්නට මෙරට සිනමාවෙන් දැක්විය හැකි අපූරු ම නිදර්ශනය වන්නේ ඩොනල්ඩ් කරුණාරත්න නම් වූ පෙරළිකාර කැමරා අධ්‍යක්ෂවරයා යයි පවසමි.

සිනමා ඡායාරූපයේ ඉතා වැදගත් අංශුවක් සේ සැලකෙන අවකාශීය හා කාලීය අඛණ්ඩත්වයට කැමරාවේ ස්ථාවර බව, පෙර – පසු ධාවන, තිරස්,හෝ සිරස්කරණ ආදී විවිධ චලන බලපෑමක් කරන බව හඳුනාගත් නව පරපුරේ පුරෝගාමී කැමරා අධ්‍යක්ෂවරයා ඩොනල්ඩ් කරුණාරත්න ලෙසට චිත්‍රපට ඉතිහාසය තුළ ලියැවුණේ 1974 තරම් ඈත වකවානුවක ය. 1974 දී ධර්මසේන පතිරාජ ගේ අහස්ගව්ව චිත්‍රපටය සමඟ මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යක් සටහන් වූයේ එය මූලික වශයෙන් ම තරුණ පෙරළිකාර පිරිසකගේ කලාත්මක නිර්මාණයක් වීම නිසා ය. ඩොනල්ඩ් කරුණාරත්න මෙම පෙරළිකාර තරුණ නිර්මාණකරුවන් නියෝජනය කරමින් චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණයට අත්පොත් තබන්නේ එකී කලාව පිළිබඳ එවකට ප්‍රකට දෙටු නිර්මාණකරුවන්ගේ ආශ්‍රය, මඟ පෙන්වීම හා ඔවුන් සමඟ ලැබූ ප්‍රායෝගික පුහුණු පසුබිමක් සහිත ව ය.

හැත්තෑව දශකයේ සිනමාව මතු නොව වේදිකා නාට්‍යය පිළිබඳ ව කතාබහක දී කැලණියේ ගුරුකුල විද්‍යාලයේ නම නොකියවුණ හොත් පුදුමයකැයි සිතුණු වාර බොහෝ ය. ගුරුකුලය ඒ වන විට මෙම කලාවන් හි පසුකාලයක කීර්තියක් ලැබූ බොහෝ පිරිසකගේ විදුබිම බවට පත් ව තිබිණ. මාලිනී ෆොන්සේකා, පතිරාජ එල්. එස්. දයානන්ද, එච්. ඩී. ප්‍රේමරත්න, ඩොනල්ඩ් කරුණාරත්න, විමල් කුමාර් ද කොස්තා හා තවත් බොහෝ කලාකරුවන් ගුරුකුල නිෂ්පාදන ලෙස සිනමාව හා වේදිකාව ප්‍රමුඛ කලා මාධ්‍ය තුළ ජනගත වී සිටි බව නොරහසකි. කැමරාව පන්හිඳක් සේ භාවිත කරමින් එතුළින් අපූරු කවි සංකල්පනා සිතුවමට නැංවූ සිනමාකරුවා ලෙස ඩොනල්ඩ් කරුණාරත්නගේ නම මෙරට සිනමා වංශ කතාවෙහි ලිය වී හමාර ය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා කැමරා අධ්‍යක්ෂ සුසංයෝගයේ අතිශය මිහිරි ඵල මෙරට සිනමාලෝලීන් අත් වින්දේ ඩොනල්ඩ් පතිරාජ, ඩොනල්ඩ් ඔබේසේකර ඩොනල්ඩ් සුමිත්‍රා, ඩොනල්ඩ් ලෙස්ටර් ඩොනල්ඩ් තිස්ස, ඩොනල්ඩ් සුනිල් ආදීන්ගේ සිනමා නිර්මාණ ඔස්සේ බව මෙරට සිනමා රසික විචාරක පර්ෂදය හොඳින් දනී. ඩොනල්ඩ් කරුණාරත්න නම් කැමරා අධ්‍යක්ෂවරයා ගේ දායකත්වයෙන් පිරිනැමුණු කලාත්මක සිනමා කෘති රැසක් පිළිබඳ සිහියට නැගේ.අහස් ගව්ව,බඹරු ඇවිත්, පාර දිගේ, දඩයම, අහසින් පොළොවට,කලියුගය, ක්‍රිස්තු චරිතය,ගඟ අද්දර,සාගර ජලය මදි ඇඬුවා, යහළු යෙහෙළි,කරුමක්කාරයෝ,මලට නො එන බඹරු,සහරාවේ සිහිනය, පොන්මනී, වැනි මෙරට සිනමා වංශ කතාවෙහි සුවිශේෂී ව සිහියට නැගෙන නිර්මාණාවලියක් සමඟ ඩොනල්ඩ් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්ෂණ ප්‍රතිභාව දිදුළමින් පවතිනු අපට පෙනේ. කැමරාවට කිසියම් වස්තුවක් දෙස බලා සිටීමට සැලැස්වීමෙන් එම වස්තුවේ සැබෑ ස්වරූපය අප ඉදිරියේ ක්‍රමයෙන් නිරාවරණය වන්නට පටන් ගන්නා බව ප්‍රංශ සිනමා විචාරකයකු වූ අන්ද්‍රෝ බැසෑන් කල ප්‍රකාශයෙහි වූ අභියෝගයට මුහුණ දෙමින් කැමරාව සතු වූ අපූර්ව හැකියාවන් වටහා ගනිමින් එහි සැබෑ ස්වරූපය, ශක්තීන් හා දුබලතා ප්‍රේක්ෂක රස නිෂ්පත්තිය උදෙසා යොදා ගැනීමේ අභියෝගය ජයගත් කැමරා අධ්‍යක්ෂවරයකු බව ඩොනල්ඩ් කරුණාරත්න හැඳින්වීමට කැමැත්තෙමි.

ඩොනල්ඩ් කරුණාරත්න තරුණයා සෙරෙන්ඩිබ් කලායතනයට සම්බන්ධවන්නේ සිනමාවට එක්වීමේ අරමුණින් නොවූව ද එහිදී ඔහුට හමුවන මයික් විල්සන්, සුමිත්ත අමරසිංහ ආදී එදවස සිනමාවෙහි දැවැන්තයන් ඇසුරෙහි ලැබූ ප්‍රායෝගික පුහුණුවෙන්, ලද දැනුමින් වර්ධනය කර ගන්නා ලද නිසග හැකියාවන් ඔප් නංවාගැනීමට ඩොනල්ඩ් තුළ වූ නොතිත් ආශාව සිහිනයකින් සැබෑවක් බවට පත්කර ගැනීමෙහි ලා ඔහු පසෙකින් සිටි මෙරට සිනමාවේ විශිෂ්ටයන්ගෙන් ඩොනල්ඩ් ලැබූ දැනුම, පුහුණුව, මඟපෙන්වීම ඔහුගේ ජයග්‍රහණයේ පළමු සාධකය ලෙස දැක්විය හැකි ය. එම පිරිස අතර වූ ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර ආදීන් වෙසෙසි වේ. සිනමා කැමරා අධ්‍යක්ෂණය යනු කාර්මික ශිල්පියකුගේ කටයුත්තකින් එහා ගිය නිර්මාණ ශිල්පියකුගේ කාර්යයක් ද බව වටහාගත් අධ්‍යක්ෂවරුන් විසින් ඩොනල්ඩ්ට දෙන ලද නිදහස ඔස්සේ ඔහු තම ඉන්ද්ජාලික දස්කම් කැමරාවෙන් අප වෙත පිරිනමන ලද්දේ අපූරු චලන චිත්‍රාවලියක් බවට පරිවර්තනය කිරීමෙනි. දඩයම, ගඟ අද්දර හා බඹරු ඇවිත් චිත්‍රපට ත්‍රිත්වය සඳහා ඩොනල්ඩ් කරුණාරත්න නිර්මාණය කළ සිනමා රූපාවලිය සිනමා රූපයේ මූලික ලක්ෂණය සේ සැලැකෙන ප්‍රේක්ෂක සිතෙහි විශ්වසනීයත්වය ගොඩ නංවන, යථාර්ථය යැයි ඔහු විසින් පිළිගනු ලබන දෘශ්‍ය අත්දැකීම නොඅඩුව ලබා දුන් නිර්මාණ ලෙස සිහිපත් කරමි.මෙම චිත්‍රපට ත්‍රිත්වය සඳහා අධ්‍යක්ෂවරුන් අපේක්ෂිත අරමුණු හඳුනාගත් රූපාවලියක් නිර්මාණය කිරීමේ අභියෝගය ඩොනල්ඩ් විසින් විශිෂ්ට ලෙස ජයගෙන ඇති බවට අප්‍රමාණ සාක්ෂි දඩයම, ගඟ අද්දර හෝ බඹරු ඇවිත් රූපාවලී අප හමුවේ ප්‍රදර්ශනය කොට ඇති බවට සාක්ෂි අනවශ්‍ය ය. දඩයමෙහි රත්මලී විසින් තමා රැවටූ පෙම්වතාගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනයට පහර දෙනු ලබන දර්ශනය හෝ ගඟ අද්දර චිත්‍රපටයේ තේමාව හා කතා පුවතින් ඉල්ලා සිටිනු ලබන සෞන්දර්යය, චමත්කාරය රූප මඟින් නිර්මාණයෙහි ලා ඩොනල්ඩ් දක්වන ප්‍රතිභාව විශිෂ්ට ය. එක් අතකින් ඔහු තම අධ්‍යක්ෂවරයාගේ අරමුණ මනාව වටහා ගනී. දෙවනුව ඔහු තම පරිකල්පනීය කුසලතාව ඊට එක් කර ගනී. අවසන ප්‍රේක්ෂක විශ්වසනීයත්වය සපිරුණු රූපාවලියක යථාර්ථවාදී ගුණය සිනමා නිර්මාණයට එක් වේ. මෙහි දී බඹරු ඇවිත් සඳහා ඩොනල්ඩ්ගේ දායකත්වය කිසිසේත් ම අමතක කළ නොහේ. මුහුද ආශ්‍රිත ව සිදුවන සිදුවීම් මාලාවක අතිශය සංකීර්ණ ජීවිත රැසක හැසිරීම් විලාස, ගති සොබා කැමරා අධ්‍යක්ෂවරයකු ගේ නෙතින් ඩොනල්ඩ් දැක ඇත්තේ පතිරාජ ගේ නිවුන් සොහොයුරකු ගේ දෘෂ්ටියෙන් ම නොවේ ද යන තරමට විශ්වසනීයත්වයකින් යුතුව ය.

සිනමාව මතු නොව රූපවාහිනී නිර්මාණ සඳහා ද ඩොනල්ඩ්ගේ දායකත්වය කැපී පෙනෙන ටෙලි නාට්‍ය කිහිපයකි. සමන් තැන්න, බෝඩිම, රන් දොරටුව, සිහින සිතුවම් ඉන් කිහිපයකි. ඩොනල්ඩ් කරුණාරත්න නම් චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණ භූමිකාවෙහි විශිෂ්ටයා අගයනු වස් පිරිනැමුණු ගෞරව සම්මාන ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජනාධිපති සම්මානය දක්වා ඈතට දිවේ. ගෞරව සම්මාන හැරුණු කළ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය විනිශ්චයට ලක් කරමින් පිරිනැමුණු සම්මාන විශාල ප්‍රමාණයකි. චිත්‍රපට විචාරක සංගමය FCJAC විසින් පිරිනමනු ලබන සම්මානයේ සිට ජනාධිපති සිනමා සම්මාන උළෙල, සරසවිය, OCIC සිනමා සම්මාන, දෙරණ සිනමා සම්මාන මතු නොව 1991 දී පැවැත්වුණු ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙලෙහි දී පවා ඩොනල්ඩ්ගේ සිනමා කැමරා භූමිකාව සම්මානයට පාත්‍ර වන්නේ ය.

සිනමාවේ නව පෙරළිකාර අධ්‍යක්ෂ සමාජය නියෝජනය කරන්නා වූ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි හා තවත් බොහෝ නව අධ්‍යක්ෂවරුන් හා තම දායකත්වය පළ කිරීමට වාසනාව නොලද ඩොනල්ඩ් කරුණාරත්න නිසැක වශයෙන් ම මෙරට සිනමාවෙහි කඩඉම් සටහන් තබා ඇති නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා කෘති රාශියක් සඳහා ම දායක වූ විශිෂ්ට ගණයේ සිනමාකරුවකු ලෙස ඉතිහාසයට එක් වේ.

බුද්ධදාස ගලප්පත්ති – සිළුමිණ

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *