කටාර් ලෝක කුසලානය: කටාර්හි සේවයට ගොස් හදිසියේ මියගිය තම ආදරණියන්ගේ මරණ වලට පිළිතුරු සොයන පවුල්

කටාර් ලෝක කුසලානය: කටාර්හි සේවයට ගොස් හදිසියේ මියගිය තම ආදරණියන්ගේ මරණ වලට පිළිතුරු සොයන පවුල්

  • November 18, 2022
  • No Comment
  • 209
Umesh Kumar Yadav

ඡායාරූප මූලාශ්‍රය,UMESH KUMAR YADAV

ඡායාරූප ශීර්ෂ වැකිය,උමේෂ් කුමාර් යාදව් ඔහුගේ TikTok ගිණුමෙහි නිරන්තර යාවත්කාලීනකිරීම් පළකිරීමට කැමැත්තෙන් සිටියෙකු විය

ඉරිදා ආරම්භවන ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාර් රාජ්‍යය සිය යටිතල පහසුකම් මහා පරිවර්තනයකට ලක්කර ඇත. නේපාලය ද ඇතුළුව දකුණු ආසියාවේ මිලියන පහක ජනතාවක් ගොඩනැගිලි ව්‍යාපෘතිවල සේවයේ යොදවා ඇති අතර, එහිදී ඔවුන්ගේ පවුල් BBCට පවසා සිටියේ එහි ආරක්ෂක විධිවිධානයන්හි අසාර්ථකත්වය තම ආදරණීයයන්ගේ මරණයට හේතුවූබව යි.

නොවැම්බර් 10 වැනිදා අලුයම කටාර් ගුවන් සේවයට අයත් QR 644 දරන ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොළට ඇතුළුවිය.

යානයෙන් ගොඩබාන ලද බඩුබාහිරාදිය අතර සුදු පැහැ විශාල ලී පෙට්ටියක් ද විය. “Human Remains of late Umesh Kumar Yadav, 32 years male, Nepali” (අභාවප්‍රාප්ත උමේෂ් කුමාර් යාදව්ගේ දේහය, අවුරුදු 32 පිරිමි, නේපාල ජාතික) යනුවෙන් එහි පිටත ලියා තිබුණි.

නේපාලයේ කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 250ක් ගිනිකොණ දෙසින් පිහිටි ගෝල්බසාර්හි, ඔහුගේ පියා සිය ගඩොල් නිවසින් පිටත මී හරකුන් බැඳ තබයි. ඔහු ජීවත්වන්නේ රැකියා අවස්ථා හිඟ, ලෝකයේ දුප්පත්ම ජාතියක දුප්පත්ම දිස්ත්‍රික්කයක ය.

ඔහුගේ පුත් උමේෂ්හට ලොව ධනවත්ම රටක් වන කටාරය වෙත ගොස් රැකියාවක යෙදීමේ අවස්ථාවක් ලබාදෙනබව පැවසූ විට, ලක්ෂ්මන් යාදව් එසේ පොරොන්දුවූ රැකියා නියෝජිතයෙකුට මී හරකුන් කීපදෙනෙකු ඩොලර් 1500කට (ලංකාවේ මුදලින් රු. 553 000ක් පමණ) විකිණීය.

Umesh's parents
ඡායාරූප ශීර්ෂ වැකිය,උමේෂ්ගේ දෙමාපියන් වන ලක්ෂ්මන් සහ සුමිත්‍රා තම පුත්‍රයාට කටාර්හි රැකියාවක් ලබාදීම සඳහා සිය ගවයින් විකුණා දැමූහ

දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රදේශවල සංචාරය කරමින්, වාසිසහගත විදේශ රැකියාවක් තරුණයින්ට ලබාදෙන පොරොන්දුව මත වීසා බලපත්‍රයක් ලබාදීම සඳහා ඔවුන්ගෙන් විශාල මුදලක් අයකරන නියෝජිතයින් නේපාලයේ පමණක් නොව, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ද සුලබ ය.

මෙසේ බඳවාගන්නා කම්කරුවන් බොහෝවිට කොන්ත්‍රාත්තුවකින් කොන්ත්‍රාත්තුවකට මාරුකෙරෙන අතර, මෙනිසා සිය ඥාතීන් රැකියාවේ යෙදෙන්නේ කොතැන, කවුරුන් සඳහා ද යන්න දැනගැනීම පවුල්වලට අපහසු වේ.

එතැන සිට පැය දෙකක ගමනක යෙදීමෙන් පසු ධනුෂා දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණා මණ්ඩල්ගේ නිවසට ළඟාවිය හැකි ය. ඔහුගේ පියා සිතේෂ් කටාර් රාජ්‍යයේ රැකියාවට පිටත්ව ගියේ මීට සිව්වසරකට පෙර ය.

Sitesh mandal

ඡායාරූප මූලාශ්‍රය,SITESH MANDAL

ඡායාරූප ශීර්ෂ වැකිය,මීට සිව්වසරකට පෙර කටාර් ගිය සිතේෂ්, රැකියා ස්ථානයේ සිට තම පුතාට සෙල්ෆි එවීමට හුරුව සිටියේ ය

1px transparent line

සිතේෂ් ඇතැම්විට රැකියාවේ යෙදී සිටිය දී සිය පුත්‍රයාට සෙල්ෆි ඡායාරූප එවීය. “තාත්තා මට කිව්වා එයා වතුර ටැංකිවල වැඩ කරනව කියලා. ඒ වුණාට එයා කරන දේ ගැන අපට වැඩිය කිව්වේ නැහැ,” ක්‍රිෂ්ණා පවසයි.

සිතේෂ් සංචාරයක් සඳහා ඔක්තෝබර් 12 දා නැවත පැමිණීමට නියමිතව තිබුණි. නමුත් ඊට දින කිහිපයකට ප්‍රථම ක්‍රිෂ්ණාට දුරකථන ඇමතුමක් ලැබුණේ තම පියා හදිසි අනතුරකින් මියගියබව පවසමිනි.

පවුලේ හිතවතෙකු පවසා තිබුණේ, සිතේෂ් දෝහා අගනුවර පොළව මට්ටමට අඩි හතක් යටින් පිහිටා තිබූ අපවහන නල සම්බන්ධයෙන් වැඩෙහි යෙදී සිටිය දී විශාල පස් කන්දක් ඔහු මතට කඩාවැටුණුබව යි. “ඝන වස්තූන්ගෙන් එල්ලවූ පහර නිසාවෙන් මොට තුවාල කීපයක්” සිදුව ඇතැ යි ඔහුගේ මරණ සහතිකයේ සඳහන් විය.

ක්‍රිෂ්ණා පවසන්නේ තම පියාගේ සේවායෝජකයාගෙන් තමාට එකදු දුරකථන ඇමතුමක් හෝ වන්දි මුදලක් ලැබී නොමැතිබව යි. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට BBCය සිතේෂ් සේවය කළ සමාගම සම්බන්ධකරගත් නමුත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

ගෝල්බසාර්හි විසූ ලක්ෂ්මන් කටාර්හි තම පුත්‍රයා ගෙවූ දිවිය ගැන වැඩියමක් දැන සිටියේ නැත – ඔහු සතුව ස්මාර්ට් ජංගම දුරකතනයක් නොතිබියෙන්, උමේෂ්ගේ දෛනික TikTok යාවත්කාලීනයන් ෆොලෝ කිරීමට ඔහුට නොහැකිවිය.

කටාර්හි බැබලෙන උස් ගොඩනැගිලි යාය ඉදිරිපිට හෝ වෙනත් සංක්‍රමණික කම්කරුවන් සමග ඔහුගේ නවාතැනේපොළේ දී ඔහු නර්තනයේ යෙදෙන අයුරු ඔහුගේ වීඩියෝ හරහා දැකගත හැකි ය.

උමේෂ් ඉදිකිරීම් ස්ථානවල වැඩෙහි යෙදෙන විට ඉණිමඟක් මත සිට සිනාසෙන හෝ, සැබෑ TikTok විලාසිතාවට අනුව බර කොන්ක්‍රීට් කුට්ටි එසවීමේ අභියෝගයක යෙදෙන විඩියෝ පටයන් ද බෙදා ගත්තේ ය.

ඔක්තෝම්බර් 26 වන දා, එළඹෙන ලෝක කුසලානය සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කෙරෙන ඇතැම් උස් ගොඩනැගිලි ඉදිරිපිට රාත්‍රියේ දී නර්තනයේ යෙදෙන වීඩියෝවක් උමේෂ් පළකර තිබුණි.

එය ඔහු තැබූ අවසාන සටහනවිය.

උමේෂ්ගේ ඥාති සොහොයුරු ද (ඔහුගේ නම ද ලක්ෂ්මන් ය) කටාර්හි සේවය කරන අතර, උමේෂ් මියගියබව පවසමින් ඔක්තෝබර් 27 වන දා ඔහුට ඇමතුමක් ලැබුණි. ඔහු අතවත් කීපදෙනෙකු සමග ඉදිකිරීම් භූමියට ගියේ මරණය සිදුවූ අයුරු සොයාබැලීමට ය.

“ඒ අය අපිට කිව්වා උමේෂ් ස්කැෆෝල්ඩ් ලිෆ්ට් එකේ උඩට යමින් සිටියා, ඒක මොකක හරි ගෑවිලා කැඩුනා, එතකොට එයා බිම වැටුණා කියලා,” ඔහු පැවසීය.

Accident site
ඡායාරූප ශීර්ෂ වැකිය,උමේෂ්ගේ ඥාති සොයුරා වෙත යවන ලද ඡායාරූපයක දැක්වෙන්නේ තට්ටු කිහිපයක් උස ගොඩනැගිල්ලක පැත්තෙන් කැඩුණු පලංචියක් එල්ලෙමින් ඇති ආකාරය යි

“ඒ අය වැඩ කරන තැන ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙනේ,” ලක්ෂ්මන් පවසයි. “ඔක්කොම පරීක්ෂා කරාට පස්සේ තමයි මිනිසුන්ට වැඩ කරන්න ඉඩදෙන්න තිබ්බේ.”

උමේෂ් සේවය කළ ඉදිකිරීම් සමාගම සමග සම්බන්ධවීමට BBCයට හැකිවිය – ඔහුගේ මරණයට හේතුවූයේ ආරක්‍ෂාවේ මඳකමක් ය යන්න ඔවුන් දැඩිසේ ප්‍රතික්ෂේප කරයි.

“ඔහුගේ නොසැලකිලිමත්කමේ සහ අප්‍රවේශමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුව ඇතැ”යි ඔවුන්ගේ ප්‍රකාශයෙහි සඳහන් ය. “මියගිය සේවකයා වැඩබිමේ දී ඉතා නොසැලකිලිමත්වූ අතර, සෙසු සගයන් මෙන් ආරක්ෂිත කොන්දේසිවලට අනුකූලවන්නැ යි ඔහුට බොහෝ වාරයක් දැනුම්දී ඇතත් පලක් නොවීය.”

කටාර්හි ලෝක කුසලානය සඳහා වන ඉදිකිරීම් ආරම්භවූ දා සිටම, සංක්‍රමණික සේවකයින් මුහුණපානා දුෂ්කර තත්ත්වයන් සහ මරණයන් පිළිබඳ වාර්තාවී තිබේ.

කටාර් රජය පවසන්නේ, “අපගේ ව්‍යාපෘතිවල සේවය කරනා සියලුම සේවකයින්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය සහතික කිරීමට” තමා කැපවී සිටිනබවකි. තමා සෞඛ්‍ය සහ ආරක්ෂක රෙගුලාසි වැඩිදියුණුකර ඇතිබවට එය BBCය සමග පැවසීය.

Funeral pyre
ඡායාරූප ශීර්ෂ වැකිය,උමේෂ් කුමාර් යාදව්ගේ දෙණ නේපාලයට රැගෙන ඒමෙන් පසු ඔහුගේ පවුල ඔහුගේ අවසන් කටයුතු සිදුකළහ

නමුත් ව්‍යාපාර සහ මානව හිමිකම් සම්පත් මධ්‍යස්ථානයෙන් BBCය වෙත ලබාදී ඇති නව සංඛ්‍යාලේඛනවලින් පෙනීයන්නේ, කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් 140කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර තුළ සිදුවී ඇති අතර එයින් අඩක් පමණම සෞඛ්‍යය සහ ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු වනබව ය.

මෙහි සත්‍ය සංඛ්‍යාවන් මීට වඩා වැඩිවිය හැකි නමුත්, පළිගැනීමේ බිය ද හේතුවෙන් ඒවා වාර්තා වී නැතැ යි ඔවුන් විශ්වාස කරයි.

වසර හයක කාලයක් තුළ නිකුත්කෙරුණු දකුණු ආසියාතික කම්කරුවන්ගේ මරණ සහතික දුසිමකට වඩා BBCය දැක තිබේ. ඉන් බොහෝදෙනෙකුගේ මරණයට හේතුව ලෙස සඳහන්වන්නේ “මොට තුවාල රැසක්” ය. ඔවුන්ගේ පවුල් පවසන්නේ ඔවුන් තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටිනබව යි.

උමේෂ්ගේ දෙණ ගුවන් තොටුපොළේ සිට ගෝල්බසාර් දක්වා ගමන් කරන අතරතුර, ඔහුගේ පියා ලක්ෂ්මන් සහ තවත් ගම්වැසියන් දුසිම් ගණනක් චිතකය ඇවිලවීමට දර සහ පිදුරු ගොඩවල් එකතු කරමින් ඔහුගේ අවසන් කටයුතු සඳහා සූදානම් වූහ.

නේපාලයේ සම්ප්‍රදාය වන්නේ යමෙකු මළ විට ඔහුගේ වැඩිමහල් පුත්‍රයා චිතකය දැල්වීම යි. ලක්ෂ්මන්, උමේෂ්ගේ මාස 13ක් වයසැති පුත්‍රයා වන සුෂාන්ත් වඩාගෙන, දරුවාගේ කුඩා අතට ගිනි පෙනෙල්ල බර වැඩි නොවන පරිදි අල්ලාගෙන ගින්න ඇවිළවීමට උපකාර කළේ ය.

“පුතා අපිට උදව් කරන්න හුරුවෙලා හිටියා. අපිට ගෙවන්න ණය තියෙනවා, එයාගේ පොඩි දරුවෝ නඩත්තු කරන්නත් තියෙනවා,” උමේෂ්ගේ මව සුමිත්‍රා කීවේ හැඬු කඳුලෙනි. “පුතා තමයි මගේ වීරයා වෙලා හිටියේ.”

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *