එදා ලක්දිව හිස්වැසුම්
- October 6, 2022
- No Comment
- 53
ලක්දිව ඉපැරැණි රාජධානි යුගයේ සිටම අප මුතුන් මිත්තෝ විවිධ විසිතුරු ඇඳුම් ආයිත්තමින් සැරසී විසිතුරුව කල් ගත කිරීමට බොහෝ සේ ප්‍රිය කළහ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මෙන්ම සාහිත්‍යමය මූලාශ්‍රයද බොහෝය. අප මුතුන් මිත්තෝ සැරසුණු ඇඳුම් ආයිත්තම් අතර හිස්වැසුම්වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මේ ලිපියෙන් කියැවෙන්නේ අපේ රටේ අතීත මුතුන් මිත්තන් භාවිත කළ හිස්වැසුම් පිළිබඳය.
අතීතයේ ලක්දිව ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශ්වයම සිය හිසකෙස් මුහුණට වැටීම වළක්වා, හිසකේ අවුල් වීමකින් තොරව තබා ගැනීම සඳහා දුකුලපට්ට නම් රෙදි කඩක් භාවිත කර තිබේ. ඉන් ඔබ්බට ගොස් එම රෙදි පටිය හිස වටා රටාවකට බැඳීම සිදු කළ අතර, එහිදී හිසේ නිර්මාණය වන සැරසිල්ල ජටාව නමින් හඳුන්වන්නට විය. හිසේ ඇති කේශ කලාපය හිස් මුඳුුනට වන සේ බැඳ ජටාව පැලඳීමෙන් නිර්මාණය වූ සැරසිල්ල, ‘ජටා මකුටය’ ලෙස නම් කෙරිණි. මෝලිය, මුහුළ යන නම්වලින්ද එම සැරසිල්ල නම් කෙරුණි. අපේ රටේ නිර්මාණය කෙරුණු ඉපැරැණි බෝධිසත්ත්ව ප්‍රතිමා, රජවරුන්ගේ ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා රාශියක මේ ජටා මකුටය දැකගත හැකි විය. රුවන්වැලි සෑ භූමියේ දැක ගත හැකි දුටුගැමුණු රජතුමාගේ යැයි සැලකෙන ප්‍රතිමාවේද මේ ජටා මකුටය දැක ගත හැකිය. මේ ජටා මකුටය සහිත අවලෝකිතේෂ්වර ප්‍රතිමා කිහිපයක්ම අනුරාධපුරය, යටාල වෙහෙර ඇතුළු ස්ථානවල කැණීම්වලදී සොයා ගෙන තිබේ. එසේම පොළොන්නරුවේ ශිව දේවාල සහ තිවංක පිළිම ගෙය ආශ්‍රිත ප්‍රදේශවල සිදු කළ කැණීම්වලින් ජටා මකුටය සහිත දේව ප්‍රතිමා කිහිපයක් සොයා ගෙන ඇත. අතීතයේ නළඟනන්ද ‘මකුටය’ නම් හිස් සැරසිල්ල භාවිත කර තිබේ. පැලඳීමේ හැඩය අනුව ‘කරණ්ඩ මකුටය’, ‘කිරීට මකුටය’, ‘සිඛාබන්ධන’ ආදි නම්වලින් මේ මකුටය නම් කෙරිණි.
අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි යුගයට අයත් මුරගල්වල ඇති දොරටුපාල රූපවල හිස් ආභරණවලින් සරසා තිබෙනු දැක ගත හැකිය. ඒ අනුව ආභරණ ආදියෙන් හිස් සැරසීමද එකල ජනප්‍රිය විලාසිතාවක් ලෙස පවතින්න ඇතැයි සිතිය හැකිය. ජටාවට අමතරව සාමාන්‍ය මිනිසුන් පැලඳූ හිස්වැසුම් අතර තලප්පාව සහ ජගලත් තොප්පිය ආදි හිස්වැසුම්වලටත් ප්‍රධාන තැනක් හිමි විය. ජගලත් තොප්පිය යනු 18-19 සියවස්වලදී සාමාන්‍ය මිනිසුන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ කපු රෙද්දකින් සැකසූ හිස්වැසුම් විශේෂයකි.
කැලණි විහාරය සහ කුරුණෑගල රිදී විහාරය ආදි ඉපැරැණි විහාර සිතුවම්වල නාග මිනිසුන්ගේ හිස්, නයිපෙණ සහිත හිස් වැසුමකින් සරසා තිබෙන ආකාරයද දැක ගත හැකිය.
අතීතයේ පුරුෂ පාර්ශ්වය මෙන්ම කාන්තා පාර්ශ්වයද හිස්වැසුම් පැලඳි බවට ඓතිහාසික මූලාශ්‍රය සාක්ෂ්‍ය දරයි. ඉසුරුමුණි පෙම් යුවළ කැටයමේ සහ ඉසුරුමුණියේම පිහිටි රජ පවුල කැටයමේ කාන්තා රූ හිස් සරල හිස්වැසුමකින් සරසන්න කැටයම්කරුවා කටයුතු කර තිබීමෙන්, අනුරාධපුර යුගයේ කාන්තාව හිස්වැසුම් පැලඳි බව සනාථ වෙයි. එසේම අනුරාධපුර යුගයටම අයත් සීගිරි සිතුවම්වල දැක්වෙන සීගිරි ලලනාවන්ද හිස් පලඳනා සහිතව සිතුවම් කර තිබීමෙන්, එකල කාන්තාවන් අතර හිස්වැසුම් භාවිතයේ ජනප්‍රියත්වය පැහැදිලි කෙරෙයි. මහනුවර යුගයේ කාන්තාවන් හිස රෙද්දකින් ආවරණය කර ගැනීමට කටයුතු කළ අතර, එම සැරසිල්ල ‘මොට්ටැක්කිලි’ නමින් හැඳින්විණි. මහනුවර යුගයට අයත් දෙගල්දොරු රජමහා විහාරයේ සිතුවම්වල මොට්ටැක්කිලියෙන් හිස සරසා ගත් කාන්තා රූ සිතුවම් දැක ගත හැකිය. අතීතයේ විවිධ කුල ගෝත්‍රවලට අයත් පුද්ගලයන් හඳුනා ගැනීමේ සංකේතයක් ලෙසද හිස්වැසුම භාවිත කර තිබේ. උදාහරණයක් ලෙස රදා නම් කුලයේ මිනිසුන් සුදු පැහැති හිස්වැසුමකින් නිතරම සැරසී සිටි බව ඉපැරැණි පතපොතෙහි සඳහන්ය.
පසිඳු මිහිරාන් රැටියල