ආණ්ඩුව බයයි.. විරෝධතාව දියයි..!

ආණ්ඩුව බයයි.. විරෝධතාව දියයි..!

  • November 5, 2022
  • No Comment
  • 37

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ප්‍රධාන සටන් දෙකකට මැදිවී සිටියි. පළමුවැන්න ආර්ථික හා මූල්‍ය අර්බුදවලින් රට මුදා ගැනීමේ ක්‍රියාන්විතයයි. දෙවැන්න විපක්‍ෂය ප්‍රමුඛ වෙනත් දේශපාලන හා වෘත්තීය සංවිධාන විසින් එල්ල කරනු ලබන විරෝධතා හා විවේචන නිෂ්ක්‍රීය කිරීමය. ඉකුත් ගෝඨාභය සමයෙහි නන්නත්තාර වී ගිය ආර්ථික අර්බුදයෙන් රට යථාතත්ත්වයට ගැනීම සඳහා ජනාධිපති රනිල් දැඩි විශ්වාසයක් තබා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරෙහිය. ඔවුන්ගේ සාධනීය උපදෙස් අනුව යළිත් ආර්ථික පුනරුදයක් සඳහා ගමන් කළ හැකිය යන අපේෂාව ඔහු රටට ද ලබාදී තිබේ. මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීම වැනි කරුණු සඳහා උචිත යම් යම් පියවර, ක්‍රියාමාර්ග ආදිය ගැනීමට ද ඔහු සමත්ව සිටියි. ඉතා සැකෙවින් කිවහොත් එදා ජනතාව මුහුණ දුන් ඉන්ධන, ගෑස්, විදුලිය වැනි ගැටලු යම් ප්‍රමාණයකට අවමකර ගැනීමට ද ඔහුට හැකිවී තිබෙන බව පොදුවේ බොහෝ දෙනෙක් ද පිළිගන්නා කරුණකි. එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නැඟෙන විරෝධතා විවේචන සුළුපටු නැත. එනිසා ඔහු මුහුණ දී සිටින දෙවන අභියෝගය ඒවාට සක්‍රීය පිළිතුරු ලබාදීමය. එහෙත් මෙහිදී ඔහු වඩාත් යොමුවී ඇත්තේ විරෝධතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ දැඩි පිළිවෙතකටය.

විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන ස.ජ.බ. මෙන්ම ජ.වි.පෙ හා ආණ්ඩුවෙන් ඉවත්ව සිටින කණ්ඩායම් ද අද ඔහුගේ දේශපාලන පසමිතුරෝ වී සිටිති. දෙමළ සන්ධානය සහ වෙනත් වෘත්තීය හා බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීහු ආදී කොටස් අද මේ ආණ්ඩුව පරාජය කළ යුතුය යන ආස්ථානයේ පිහිටා ක්‍රියා කරති. එහි ආසන්නම ප්‍රතිචාරය වූයේ ඉකුත් 02 වැනිදා (ඔක්. 02) කොළඹ පැවැත්වුණු දැවැන්ත විරෝධතාවයි. එය ආණ්ඩුව තිගැස්සීමට ලක් කළ දේශපාලන ප්‍රතිචාරයක් බව ආණ්ඩුව එය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ගවලින්ම තහවුරු විය. විරෝධතාකරුවන්ගේ තේමාව වූයේ “ත්‍රස්තවාදී මර්දන පනත හකුළා ගනු”

“රාජ්‍ය මර්දනය නවත්වනු” යන්නයි. මේ තේමාව ආණ්ඩුවේ ප්‍රතිරූපයට දැඩි හානිදායකය. ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව වැනි මානව ධර්ම ඔස්සේ ගොඩනැඟෙන නූතන ශිෂ්ටාචාරය විසින් එබඳු මර්දන, පීඩා පිළිකුලෙන් හෙළා දකින බව ජනාධිපති රනිල් ද ඉඳුරා දනී.

ආණ්ඩුව සුපුරුදු ලෙස පොලිසිය හා ඔවුන්ගේ දායකත්වය මෙම විරෝධතාවට එරෙහිව යොදා ගත්තේය. විරෝධතාකරුවන්ගේ නිවෙස්වලට පවා ලිපි හා වාරණ කොන්දේසි බෙදා දී තිබුණි. කොළඹ මාර්ගවල ජන රැස්වීම් සිදුකිරීම වළක්වන නොයෙක් තර්ක විතර්ක ද පොලිසිය ඉදිරිපත් කළේය. එහෙත් කිසිවෙක් ඒවා තඹයකට මායම් නො කළහ. විපක්‍ෂ නායක ප්‍රමුඛ මන්ත්‍රීවරු කීපදෙනෙක්ම විරෝධතාවට එක්වීම පොලිසියට යම් පසුබැසීමකට හේතු වූවා විය හැකිය. මෙම විරෝධතාවට විශේෂ ධෛර්යයක් ලබා දුන් චරිතයක් ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කැපී පෙනුණි. වෘත්තීය සමිති නියෝජනය හා විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරු ද මෙම විරෝධතාවෙහි ප්‍රමුඛයෝ වූහ.

කෙසේ හෝ නීතීමය විධි විධාන අකුරට ම ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ එක් උපක්‍රමයක් විය. ඊට අමතරව ආණ්ඩුවට අනුග්‍රහය දක්වමින් වෙනම ප්‍රචාරක ක්‍රියාන්විතයක් ද දියත් විය. ඒ වෙනුවෙන් පෙනී සිටි අයගේ මූලික තර්කය වූයේ මෙබඳු උද්ඝෝෂණ නිසා සංචාරක ආකර්ෂණය දුර්වල වී ආර්ථිකය පසුබෑම්වලට ලක්වන බවය. වාණිජ මණ්ඩල විශේෂ නිවේදනයකින් ප්‍රකාශ කර තිබුණේත් විරෝධතාව අනුමත කළ නො හැකි බවය. එය වගකීම් විරහිත රට ගැන නො සිතන ප්‍රතිචාරයක් බව ඔව්හු අවධාරණය කළහ. එහෙත් එබඳු විරෝධතාවක් යනු නිත්‍ය දේශපාලන ප්‍රතිචාරයක් නොවේ. කිසියම් රටකට සංචාරකයන් ඒමට බලපාන මූලික හේතුවක් ලෙස එබඳු විරෝධතාවක් නම් කළ හැකිද? අනෙක් අතට ලංකාව සංචාරයට නුසුදුසු බව නිගමනය කරන්නේ ඒ ඒ රටවල්වල දෘෂ්ටිකෝණ අනුවය.

කෙසේ වුවද මෙම විරෝධතාවට හේතු වූ රාජ්‍ය මර්දනය, ත්‍රස්තවාදී පනත වැනි කරුණු ජාත්‍යන්තරව ද සංවාදයට ලක් වූවකි. එනිසා මෙම කරුණුවලින් වියුක්තව එම විරෝධතාව ගැන කෙරෙන විවේචන අපට සිහිපත් කරන්නේ ‘අලියා සහ අන්ධයෝ’ ජනකතාවය. මෙරටේ දේශපාලනය තුළ පමණක් නොව වෘත්තිකයන් අතර ද එබඳු පටු දෘෂ්ටිවාදී පක්‍ෂවලට වහල් වූ අය සිටිති. එනිසා විරෝධතාව ගැන කියවීම පැහැදිලිවම දේශපාලනිකය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මානව හිමිකම් නොතකන සමාජයක් යනු අන්ධ – ගොළු – බිහිරි ඒකකයකි. අප ඒ වෙනුවෙන් කැපකරන අවංක දේශපාලන ප්‍රතිචාර අගය කරන්නෙමු.

මෙම විරෝධතාවට ආණ්ඩුව බිය වුවත් එහි බලපෑම දුර්වල එකක් බව අපට හැඟුණි. මෙයට ඍජු නායකත්වයක් තිබුණි ද? අපට පෙනුනේ විසිරී ගිය පිරිසක් එක්ව සිටියත් ඔවුන් තුළ ද අභ්‍යන්තර ගැටුම් වූ බවය. ජ.වි.පෙ. මෙම විරෝධතාවට එක් නොවූයේ ද එහි දායකත්වය, අරමුණු ආදීන් ගැන වූ ප්‍රශ්න නිසා බව කියැවිණි. එය වෙනම කතාවකි. දේශපාලන පක්‍ෂ අතර සැඟවුණු න්‍යාය පත්‍ර තිබේ නම් පොදු අරගලවලට නියත පරාජයකි. විරෝධතාවට තුඩුදුන් රාජ්‍ය මර්දනය ඇතුළු කිසිදු කරුණක් තීව්‍ර ලෙස හුවා දැක්වීමක් පෙළපාලියෙහි නො තිබුණි. එය හුදු රංචු ගැසීමක් වැන්න. ඇත්තට ම ආණ්ඩුව බිය වුවද විරෝධතාව දිය වූ එකක් වැන්න. මෙය හුදු නිහඬතාවක් නොවූ නිසා සටන්කාමී ජීව ගුණයක් සහිත විරෝධතාවක් ලෙස එය වර්ධනය විය යුතුව තිබිණි. සජිත් ප්‍රේමදාසට හූ කී බවත් තවත් නායක චරිතවලට විරෝධතා නැඟුණු බවත් මාධ්‍යවල සඳහන් විය. එයම මෙම විරෝධතාව ලද පරාජයක් නොවේද? මෙම විරෝධතාව නැරඹූ පුරවැසියෙක් පවසා තිබුණේ පොලිසිය හා පෙළපාලිකරුවන්ගේ උණුසුම් ප්‍රතිචාර නොවූයේ නම් එය අවමඟුල් පෙරහැරකට වඩාත් සමීප බවකි. තවත් අයෙක් සඳහන් කළේ සමහරුන් එයට සහභාගි වූයේ දේශපාලන වසයෙන් ප්‍රතිලාභයක් ලබාගැනීමට විය හැකි බවය. කුමක් වුවත් සමස්තයක් ලෙස ගත්කල එම විරෝධතාව අසංවිධානාත්මක ව්‍යායාමක් බව පෙනුණි. මේ වනවිට බොහෝ දෙනකුගේ විවේචනය වී ඇත්තේ ද එයට විධිමත් නායකත්වයක් නොවූ බවය.

දේශපාලනයේදී මෙන්ම ජනතාව වෙනුවෙන් කෙරෙන අරගල නිසි ලෙස සංවිධානය නොවීම සාමාන්‍යයෙන් අප දකින පොදු දුබලතාවකි. එසේම සමාජ පීඩනය – මර්දනය ප්‍රජාතන්ත්‍රවාදී ජීවයට හානි කෙරෙන දේශපාලනය යනු පොදුවේ අප කාගේත් අවධානය යොමු විය යුතු මානව හිමිකම්ය. වරක් ජර්මානු කවියකු වූ මාර්ටින් නියොමලර් අවධාරණය කළේත් පොදු සමාජ යහපත සඳහා එක් නොවන කවර සමාජයක් රටක් වුවත් මහා විපතක හිරවී සිටින බවය. යුක්තිය හා සත්‍ය වෙනුවෙන් පෙනී නො සිටීම තරම් බියගුළු නිවටකමක් නැති බවය.

අද වනවිට රාජ්‍ය මර්දනයට ලක් වී ඇත්තේ ප්‍රධාන වසයෙන්ම පසුගිය ගාලු මුවදොර විරෝධතාව හා බැඳුණු අයත්, විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ක්‍රියාකාරීනුත් බව රහසක් නොවේ. වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් අද අඳුරු සිර කුටියක ගාල්කර ඇත්තේ මහා පරිමාණ දූෂණයකට, වංචාවකට හෝ අපරාධයකට නොවේ. ඔව්හු බිහිසුණු පාතාලයන් නොවන්නා සේම සිසු අයිතිය හා සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටියෝ වෙති. අපට අන්තරේ සමග, නොයෙක් විරසකකම් තිබේ. විවේචන තිබේ. එහෙත් මෙබඳු පීඩනයකට ඔව්හු ලක්විය යුතු නො වෙති. සාමාන්‍ය පන්තියට අයත් ඒ දරුවන්ගේ ජීවිතවලට ද වටිනාකමක් දිය යුතුය. ප්‍රචණ්ඩත්වය, භීෂණය හා ආයුධවලින් තොරව කරනු ලබන කවර සාමකාමී අරගලයකට වුවද මර්දනයේ කුළුගෙඩි පහර දෙන්නේ නම් එය නිහීණ, දුෂ්ට, අධම ක්‍රියාවකි.

මේ සියල්ල තුළින් අපට පෙනෙන යථාර්ථය නම් ආණ්ඩුව මුරණ්ඩු ලෙස රටේ දේශපාලන විරෝධතාවලට උඩින් පැනීමට සූදානම් බවය. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කරමින් දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමට ආණ්ඩුව යොමු වී සිටින බවය. එහෙත් මෙ රටේ බහුජන විරෝධතාවක් මතු වුවහොත් එදිනට මෙබඳු මර්දන, බියවැද්දීම් සාර්ථක නොවන බවද අප සඳහන් කළ යුතුය. මානවහිමිකම් කොමිසම මෙන්ම නීතීඥ සංගමය අද විවිධ මැදිහත් කිරීම් මගින් ආණ්ඩුවට පෙන්වා දෙන්නේ මහජනයාට පීඩා වන ආකාරයේ නීතිමය ක්‍රියාකාරකම් වුවද නොකළ යුතු බවය. ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පසුගිය දිනක නීතිපතිවරයාගේ අනිසි ප්‍රතිචාරයක් පිළිබඳ කනස්සල්ල ද පළකර තිබිණි. ඒ මෙරටේ පසුගියදා උද්ගත වූ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව පැවරූ එක්තරා නඩුවකට අදාළවය. නීතිපතිවරයා මෝසමක් මගින් නඩුව කැඳවා ඒකපාර්ශ්වීය ලෙස නියෝග ලබාගැනීම වැරදි පූර්වාදර්ශයක් බව නීතීඥ සාලිය පීරිස්ගේ චෝදනාව විය.

දේශපාලන විද්‍යාව පිළිබඳ කීර්තිමත් විශාරදයකු වූ හැරල්ඩ් ලැස්කි විසින් ප්‍රකාශයට පත් කරන ලද කුඩා කෘතියක් වන ‘දේශපාලන විද්‍යාව හැඳින්වීමක්’ යනු ජාත්‍යන්තරව ද අවධානයට ලක් වූවකි. (An Introduction to Politics – Harold J’ Laski) ඔහු පෙන්වා දෙන්නේ රජයක් හැමවිට ම තම අදහස් අනුව ම කටයුතු කරන බවය. සාමූහික ක්‍රියාකාරකම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්‍ෂණයක් වන අතරම පාලකයන් එයට අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති රනිල්ට තිබෙන ප්‍රධාන විවේචනයක් මෙන්ම චෝදනාවක් වන්නේ ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදීන් හා ඔවුන්ගේ විරෝධතාවන් මර්දනය කරන බවය. මේ ත්‍රස්තවාදී පනත එදා (1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) සම්මත කරන ලද්දේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඬලීමේ අරමුණ ඇතිවය. එය මුලදී තාවකාලික පනතක් ලෙස හැඳින් වුවද පසුව ස්ථිර පනතක් බවට පත් වූවකි. ඒ 1982 දීය. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් තිබෙන කවර විටෙක වුවද ඒ සම්බන්ධව ක්‍රියාකිරීමට බලය ලබාදුන් එම පනත කිසිසේත් සාමාන්‍ය නීතියක් ලෙස යොදාගැනීම නොමැනවි. නීති ක්‍ෂේත්‍රවල විද්වතුන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් මර්දනය සඳහා මෙබඳු දැඩි පනතක් භාවිත නො කළ යුතුය යන ඉල්ලීම ඉතා සාධාරණ වූවකි. එහෙත් ඒ විරෝධය ප්‍රබලව හා ශක්තිමත්ව දැක්වීමට කොළඹ විරෝධතාකරුවෝ අසමත් වූහ.

ජනාධිපති රනිල් මෙම පනතේ ස්වභාවය ඉඳුරා දන්නා අතර ම එදා ජේ. ආර්. ජයවර්ධන විසින් සිය ප්‍රතිවාදීන් මර්දනය කළ ආකාරය ද දැන සිටියි. ජයවර්ධන පාලන සමයෙහි ඉමහත් ජන ආකර්ෂණයක් ලැබූ විජය කුමාරතුංගට නැක්සලයිට් චෝදනා එල්ල විය. ඔහු සමග ශ්‍රී.ල.නි.පයේ ඇතැම් නායකයන් ද අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී. එහෙත් පසුව ඔවුන් කිසිවකුට නඩු පැවරීමක් හෝ සිදුව නැත. එබඳු චරිත සමග සසඳන විට වසන්ත හා සිරිධම්ම හිමි ඉතා සුළු චරිත නොවෙත්ද? අනෙක් අතට ඔව්හු විශ්වවිද්‍යාලයක තරුණ පුද්ගලයෝය. කිසියම් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වුවත් ඒ කිසිවකුට යම් ප්‍රමාණයක හෝ ජන බලයක් ද මුලදී නොවීය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ නිදහස පිළිබඳ සමාජයෙහි මෙන්ම දේශපාලන හා වෙනත් සිවිල් සංවිධානවල ද අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තරයේ ද ඔවුන්ගේ නිදහස ප්‍රශ්න කර තිබේ. ආදිවාසී නායක වන්නිල ඇත්තන් විසින් ද වසන්ත අත්අඩංගුවේ තබාගැනීම ප්‍රශ්න කරනු ලැබ ඇත.

ජනාධිපති රනිල්ට අනුව ඔහු විසින් භාර ගන්නා ලද ශ්‍රී ලංකාව නමැති ටයිටැනික් නෞකාව අයිස් පර්වතයක ගැටී විනාශ වී තිබුණු එකකි. එහෙත් ඒ ස්වභාවික විපතක් නොව, අප බොහෝ දෙනෙක් දන්නා දූෂණ, වංචා, අල්ලස් කොමිස් වැනි කඳු පර්වත සමග ගැටී විනාශ වූ නෞකාවකි. එනිසා ජනාධිපති ඒ විනාශකාරී පර්වත සමතලා කිරීමට ද පියවර ගත යුතුය. අපගේ අදහස වන්නේ ආණ්ඩුවට තිබෙන ප්‍රධාන විරෝධතාව මතු වන්නේ ද ඔවුන්ගේ මර්දන යාන්ත්‍රණය නිසාය. ගාලු මුවදොර විරෝධතාව තුළට රිංගූ පාදඩ ලුම්පන් කොටස් විසින් වපුරන ලද භීෂණයක් තිබුණු බව රහසක් නොවේ. මහජන මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්වීම හා මන්ත්‍රී නිවෙස් ගිනිතැබීම ඒ කල්ලියේ මෙහෙයුමකි. එහෙත් ඒ සියලු පව් ගාලු මුවදොර අරගල ව්‍යාපාරයට දැමීම සාධාරණ නැත.

ගාලු මුවදොර අරගලකරුවන්ට මුලින් ප්‍රහාර එල්ල වූයේ අරලියගහ මැඳුරේ එවක අගමැති මහින්ද සමග සිටි පාක්‍ෂිකයන්ගෙන් බවද ප්‍රකටය. ඒ වෙනුවෙන් අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරු අද නිදහස්ව සිටිති. එහෙත් අරගලකරුවන් ලුහුබඳින පොලිසිය මෙම ප්‍රහාරය මෙහෙයවූ පොහොට්ටුව සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද? එදා අරගලකරුවන් අතට පත් වූ ජනාධීපති හා අගමැති මැඳුරුවල අලාභය පුන පුනා කියන බලධාරීහු මේ වනවිටත් රාජ්‍ය ආයතනවල මුල් පුටු හොබවමින් මුදල් ගරන නිලධාරීන් ගැන පියවරක් ගනිත්ද? පරිසර සභාපති පරිසරය වනසමින් හෝටල් හදන බවත් භූ විද්‍යා ඛනිජ සම්පත් භාර සභාපති වැලි ජාවාරම් කරන බවත් පරිසරවේදීන් සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබේ. රූපවාහිනි නාළිකාවල ද ඒ විනාශය කෙබඳු දැයි දක්වා තිබුණි. සොබා දහමේ සුන්දරත්වය වනසන මේ අමන නිලධාරීන් රකින කිසිදු ආණ්ඩුවකට මේ රටට සංචාරකයන් නො ඒමට එකම හේතුව ලෙස පෙනී යන්නේ කොළඹ දී කෙරෙන විරෝධතා පා ගමනකි.!

මේ වනවිට ජනතා හිස මතට කඩා පාත්වී තිබෙන බදු බර ගැන හෝ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ගැන හෝ සහනසීලී වැඩපිළිවෙළක් නැත. එසේම ගෝඨාභයගෙන් බදු සහන ලද එදා සිදුවූ වංචා ගැන අද පෙරට පැමිණ සිටින වාණිජ මණ්ඩල නිවේදනයක් හෝ කර තිබේ දැයි ස.ජ.බ. ප්‍රශ්න කර තිබිණි. වකුගඩු රෝගීන් සඳහා රු.13.56කට මිලට ගත් බෙහෙත් පෙත්ත අද රු. 175/= කට මිලදී ගන්නා ඖෂධ මාෆියාවක් ගැන වෛද්‍යවරුම චෝදනා කරති. සැබැවින්ම රෝහල්වල බෙහෙත් හිඟය සෞඛ්‍ය බලධාරීන්ට දැනෙන දෙයක් ද නොවේ. මෙ රටේ සෞඛ්‍ය ඇමැතිවරුන් පවා සිය ප්‍රතිකාර සඳහා දිවයන්නේ සිංගප්පූරුව ඇතුළු වෙනත් විදෙස් රටවලට ය. හැම ජනතා සේවයක්ම අයාලේ යන රටක සුවසේවය පමණක් නිසි ලෙස ක්‍රියාත්මක වේ යැයි සිතීම ද මුළාවකි. එහෙත් පොදු ජනතාවට තිබෙන එකම පිළිසරණ පොදු බෙහෙත් ශාලා හා රෝහල් බවද මතක් කළ යුතුය.

ජනාධිපති රනිල් මෙරටේ ජනතාව විසින් තෝරා ගන්නා ලද රාජ්‍ය නායකයකු නොවන බවට කෙබඳු විවේචන එල්ල වුවත් ඔහු ව්‍යවස්ථානුකූලව පත්ව රටේත් ජනතාවගේත් ඉරණම භාරව සිටින්නා බව අපගේ අදහසය. එනිසා ඔහු මේ සියලු විරෝධතා, උද්ඝෝෂණ පිළිබඳව උපේක්‍ෂා සහගත විය යුතුය. දේශපාලන න්‍යාය පත්‍ර අතට ගත් විරෝධතාකරුවෝ ද සිටිති. එහෙත් මෙරටේ බහුතර ජනතාවට වුවමනා සන්සුන් ජීවිතයකි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ බැරක් ඔබාමා අවධාරණය කර ඇත්තේ ද ජනතාව නායකයන් විනිශ්චය කරන්නේ විනාශ කරන දේ අනුව නොව ගොඩනඟන දේ අනුව බවය. එසේම දූෂණය, රැවටීම, ප්‍රතිවාදීන් නිහඬ කිරීම වැනි දේ මගින් බලයේ එල්ලී සිටීමට කල්පනා කරන්නේ නම් ඔහු වැරදි පැත්තේ සිටගත් අයෙකු බව ද ඔබාමා පෙන්වා දෙයි.

ගාමිණි සුමනසේකර – Diviana

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *