ආණ්ඩුවට එරෙහිව කොළඹදී විරෝධතා..!

ආණ්ඩුවට එරෙහිව කොළඹදී විරෝධතා..!

  • November 3, 2022
  • No Comment
  • 56

රාජ්‍ය මර්දනය නතර කරව්..! ජීවන වියදම අඩු කරව්..!

මූලික මිනිස් අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටියා – විපක්‍ෂ නායක සජිත්

රට විනාශ කළ පාලකයෝ ඉවත් වනතුරු අරගලය නවතින්නේ නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අත්අඩංගුවට ගත් සහෝදරවරුන් වහා නිදහස් කරන්න – ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

අපි දෙන පණිවුඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්

ස්ටාලින්ගේ කතාව අතරමැදින් නවතී

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – කමල් බෝගොඩ, ජූඩ් ඩෙන්සිල් පතිරාජ සහ තුෂාර අතපත්තු

ත්‍රස්තවාදී පනත හකුළා ගනිව්! රාජ්‍ය මර්දනය නතර කරව් තේමා කරගනිමින් ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන ඇතුළු විවිධ සංවිධාන එක්ව ඊයේ (02 දා) කොළඹ පැවැති විරෝධතාවට විශාල ජනතාවක් එක්ව සිටියහ.

කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලට රැස්වූ විරෝධතාකරුවෝ ඊයේ (02දා) සවස 3.00 ට පමණ විරෝධතා පෙළපාලිය ආරම්භ කරමින් ටෙක්නිකල් හන්දිය පසුකර කොටුව දුම්රියපළ දක්වා ගමන් කරන්නට වූහ.

ජීවන වියදම අඩු කරව්, මර්දනය නවතපියව් ආදී සටන්පාඨ කියමින් ඔවූහු පෙළපාලියේ ගමන් කරන අයුරු දක්නට ලැබිණි.

ආරක්‍ෂාව සඳහා කැරලි මර්දන පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සීරුවෙන් තබා තිබූ අතර අධි පීඩන වතුර බවුසර්, කඳුළුගෑස් රථ ද ස්ථානගත කර තිබූ අයුරු දක්නට ලැබිණි.

විරෝධතා පුවරු රැගත් පෙළපාලිකරුවන් අතර ජාතික ධජය අතින් ගත් පිරිසක් ද දක්නට ලැබිණි. ඇතැම්හු ශබ්ද නැඟෙන බෙර ආදිය වාදනය කරමින් පෙළපාලියෙන් කොටුව දුම්රියපළ දෙසට ගමන් ගත්හ.

සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, ෆයිසර් මුස්තාපා, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන නියෝජිතයන් රැසක් ද ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඩලස් අලහප්පෙරුම කණ්ඩායම ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් ද මීට එක්ව සිටියහ. මෙහිදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත එක්තරා පිරිසක් කෑ කෝ ගසමින් විරෝධය පළකරන අයුරුද දක්නට ලැබිණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ඇතුළු වෘත්තීය සමිති

රැසක නායකයන් ඇතුළු සාමාජිකයන් ද විරෝධතාවට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි. මීට අමතරව විවිධ සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් ද විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී කතා කළ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

කිසිම අවසරයක් නොගෙන අපි අපේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. මේක පළමු පියවර පමණයි. බහුජන සංවිධාන විසින් පැවැත්වූ මෙම විරෝධතාවයට අපේ සහාය ලබාදුන්නා. භාෂණයේ නිදහස, පා ගමනක් යෑමේ නිදහස අවසරයක් නොගෙන බුක්ති වින්දා.

මෙම විරෝධතාව අතරතුර මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා:

මේ විරෝධතාව නතර කරන්න කියලා සියලුම වගන්ති දාලා අපිටත් ලියුම් එවලා තිබුණා. පොලිස් ආඥා පනතේ තියෙන නීති නෙමෙයි වැදගත් වෙන්නේ. ඊට ඉහළින් තියෙනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති. අපිට පුළුවන් මේ රටේ ඕනෑම තැනක හිඳගෙන අදහස් ඉදිරිපත් කරන්න. ඒකට බාධා කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා මර්දනය වහා නවත්වනු, අත්අඩංගුවට ගත් අපේ සහෝදරවරුන් වහා නිදහස් කරනු, ඒ වගේම රාජ්‍ය ත්‍රස්තවාදී පනත අහෝසි කරලා මේ රටේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උද්ඝෝෂණ කරන්න තියෙන අයිතිය නැවත ඇති කරන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. පොලිසියට කියනවා මේ මර්දනයට හවුල් වෙන්න එපා කියලා. එහෙම වුණොත් මුළු රටේම ජනතාව පාරට බහින දවස වැඩි ඈතක නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා –

මේ රට විනාශ කරන, විනාශ කරපු පාලකයෝ ඒගොල්ලෝ මේ රටේ කාර්යභාරයෙන් ඉවත් වනතුරු මේ රටේ ජනතාව අරගල කරන එක කවදාවත් නවතින එකක් නැහැ. දහඩිය කඳුළු හෙළපු අපිට දේශද්‍රෝහීන් කියලා තියෙනවා. මනුෂ වගේ පනික්කියෝ තමයි දේශප්‍රේමීන් වෙලා තියෙන්නෙ. ඒවා මේ රටේ ජනතාව තේරුම් ගනීවි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා –

අපි ආණ්ඩුවට කියනවා අද මේ දෙන පණිවිඩය තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ගය ඉස්සරහට යනවා. අද රටේ ජනතාවට කන්න නැහැ, ජීවත් වෙන්න විදිහක් නැහැ. රටේ ජනතාව වෙනුවෙන් හඬ නඟපු අය අද තාමත් හිර කරලා.

කොළඹ, කොටුව පාවෙන වෙළෙද සංකීර්ණයෙන් ඔබ්බට විරෝධතාකරුවන්ට යා නොහැකි ලෙස පොලිස් මාර්ග බාධක තර කර තිබිණි.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල සාමාජිකයන් පොලිස් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ ගත්තත් සමගි ජන බලවේගය ඇතුළු සෙසු විරෝධතාකරුවන් එම යෝජනාවට එකඟ නොවූ නිසා විරෝධතා පෙළපාලිය එතැනින් නිමාවට පත් කිරීමට සිදුවිය.

මෙහිදී විරෝධතාකරුවන් අතර මතවාදී වශයෙන් යම්කිසි වචන හුවමාරුවක්ද සිදුවන අයුරු නිරීක්‍ෂණයට ලක්විය.

මෙම විරෝධතාව මැද ජෝශප් ස්ටාලින් මහතා කතාව අරඹද්දී “අපි ඕක කරන්නද ආවේ”, “ඉදිරියට යන්නද ආවේ” කියමින් ඇතමෙකු ඝෝෂා කිරීම නිසාද ස්ටාලින් මහතාට කතාව නතර කර දැමීමට සිදුවිය. විරෝධතාව සීසීකඩ විසිර යෑමද සිදුවිය.

ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතා පෙළපාලිය නිසා දැඩි වාහන තදබදයක් කොළඹ හා ඒ අවට මාර්ගවල ඇතිවී තිබිණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *