අධි ආරක්ෂක කලාප ස්ථාපිත කළ ගැසට්ටුව ජනපති හකුලාගනී

අධි ආරක්ෂක කලාප ස්ථාපිත කළ ගැසට්ටුව ජනපති හකුලාගනී

  • September 26, 2022
  • No Comment
  • 50
යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?
රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පසුගිය දින හය ඇතුලත සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබුණි. ඒ රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නිත්‍යානුකූල නොවන බවට පවසමිනි.

එපමණක් ද නොව සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන, රාජ්‍යතාන්ත්‍රිකයින් හා දේශපාලකයින් පැවසුවේ මෙම රාජ්‍ය රහස් පනතේ විධිවිධාන උපයෝගීකරගෙන කොළඹ නගරයේ ආරක්ෂක කලාප පිහිටුවීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

දින හතකට පසු ජනපති රනිල් අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රිවස් කරයි

රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (ඔක්තෝබර් 01 වැනිදා) සිට අහෝසි කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මීට ඉහත දී ගැසට් නිකුත් කිරීමට හා ඒවා රිවස් කිරීමට ප්‍රසිද්ධියක් ඉසිලූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. එවකට බොහෝ දෙනා එය උපහාසාත්මකව ‘ජෝතිපාල කැසට් ගහනවාටත් වඩා ගෝඨාභය ගැසට් ගහනවා’ යනුවෙන් හාස්‍යට ලක් කළේය.

නැවතත් එම තත්ත්වය ජනතාවට සිහියට නැගෙන්නේ මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ තමා සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් සතියක් ඉක්මවීමටත් පෙර නැවත හකුලගැනීමත් සමඟ ය.

රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටද විවිධ පාර්ශව ක්‍රියාකළ පසුබිමක් තුළ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය අහෝසි කර තිබේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුලු පාර්ශව මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්තවාදය තුරන් කර දශකයකටත් වැඩි කාලයක් ඉක්මාව තිබියදී රටට යළිත් අධි ආරක්ෂක කලාප අවශ්‍ය වන්නේ ඇයි දැයි බොහෝ පාර්ශව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර මෙය උද්ඝෝෂණ, විරෝධතා සහ අරගලකරුවන් මර්දනය කිරීමේ පියවරක් මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දුන්හ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ අධිආරක්ෂක කලාප පිහිටුවීම නියෝගයට අදාළ 2298/53 ගැසට් නිවේදනය සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කරනු ලැබීය.

මොනවාද මේ අධි ආරක්ෂක කලාප ?

  • පාර්ලිමේන්තු සංකීර්ණය

පොල්දූව මංසන්දියේ සිට කතානායක නිල නිවස, කුඹක්ගහදූව පාර, රජමල්වත්ත පාර, පර්ලිමේන්තු ක්‍රීඩාංගණය කිඹුලාවල හන්දිය දක්වා කොටස, මාදිවෙල මන්ත්‍රී නිවාස, පින්නියර හන්දියේ සිට බැද්දගාන හන්දිය දක්වා වන ප්‍රදේශ දියවන්නා ජලාශය ද ඇතුළුව අධිආරක්ෂිත කළාපයට අයත්ය.

  • ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව

වේල්ල වීදිය පාර, අලුත්කඩේ වීදිය, සාංචි ආරච්චි වත්ත පාර, පාර්සල් වට රවුම, ශාන්ත සෙබස්තියන් පාර හා මිහිදු මාවත දක්වා වන කොටසත් මෙම කලාපයට ඇතුළත් කර තිබේ.

  • ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය

මෙම අධිආරක්ෂිත කලාපයට අයත් වන්නේ, චෛත්‍ය පාර දෙසින්, පොලිස් මූලස්ථානය දක්වා ප්‍රදේශය සහ බේරේ වැව, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, වෙරළ තීරයද ඇතුළත්ව ගාලු මුවදොර වටරවුම දක්වා වන ප්‍රදේශයයි.

  • අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය

ආරක්ෂක අමාත්‍යාංශ මාවත, දියවන්නා උද්‍යාන මාවත, පාසල් මාවත, ඩී.ජී විජේසිංහ මාවත දක්වා වන කොටස් මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වේ.

  • ගුවන් හමුදා මූලස්ථානය

බේරේ වැව, චිත්තම්පලම් ඒ. ගාර්ඩ්න් මාවත, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, දක්වා වන ප්‍රදේශ අදාළ කලාපයට අයත්.

  • අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය

මල් පාර, ඇතුළත මල් පාර, 5වන පටුමග, 27 වන පටුමග දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කළාපයට ඇතුළත් ය.

  • අරලියගහ මන්දිරය

මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ, ගාලු පාර රොටුන්ඩා හන්දියේ සිට පෙරහැර මාවත, අල්විස් හන්දිය දක්වාද, ධර්මපාල මාවත, කොල්ලුපිටිය දුම්රියපොළ මුහුදු තීරය, ලිබර්ටි වටරවුම, ගාලු පාරේ කොටස සහ කොල්ලුපිටිය හන්දිය දක්වා වන ප්‍රදේශයයි.

  • ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස

බෞද්ධාලෝක මවත, තුම්මුල හන්දිය, සම්බුද්ධත්ව ජයන්ති මාවත හන්දිය, දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් ය.

ස්ටැමෝර් චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, පැජට් පාර හා මහගමසේකර මාවත ද මෙම ප්‍රදේශවයට අයත් ය.

අදාළ ප්‍රදේශ තුළ පිහිටි තානාපති මුක්තීන් හිමි ස්ථාන අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ නැත.

යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?

මේ අධි ආරක්ෂිත කලාපවල තහනම් ක්‍රියා මොනවා ද?

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරායගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රදේශවල කුමන ආකාරයක හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

බුද්ධි අංශ නිර්දේශය

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් කියා සිටියේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත් කර ඇත්තේ බුද්ධි අංශයේ නිර්දේශය මත බවයි.

එය කාලීන අවශ්‍යතාවක් බවද ඔහු සඳහන් කළේය.

බුද්ධි අංශ ලබාදෙන වාර්තා, ඔවුන් ලබා දෙන උපදෙස් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට නොසලකා කටයුතු කළ නොහැකි බවද ඔහු පැවසීය.

අධි ආරක්ෂක කලාප පිහිටුවීම මගින් ජනතාවගේ සාමාන්‍ය කටයුතුවලට බාධාවක් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද අවධාරණය කළේය.

ඔහු පැවසුවේ, ඉන් ගැටලු මතුවන්නේ වෙනත් කඩාකප්පල්කාරී දේවලට පමණක් බවයි.

ජාතික ආරක්ෂාව

අධි ආරක්ෂක කලාප නම්කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (සැප්තැම්බර් 26 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, අධි ආරක්ෂක කලාප රටට හෝ ලොවට අලුත් දෙයක් නොවන බවයි.

විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු තත්ත්වය සමාලෝචනය කර අධි ආරක්ෂක කලාපවල වෙනසක් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇතුලු වීමට අවසර පත්‍රයක්

සමගි තරුණ නීතිඥ සම්මේලනයේ කැඳවුම්කරු නීතිඥ හර්ෂණ එම්. ද සිල්වා කියා සිටියේ මෙම නියෝගය අනුව ජනතාවට මෙම අධි ආරක්ෂක කලාපවලට ඇතුලු වීමට නිසි බලධාරියාගෙන් විශේෂ අවසර පත්‍රයක් ගත යුතු බවයි.

“අධිකරණයට එන මිනිහත් ඒ අවසරය ගන්න ඕනේ. නැත්නම් අයුතු ඇතුලු වීමක් විදිහට සලකලා අත්අඩංගුවට ගන්න පුලුවන්. එහෙම මනුස්සයෙක්ව අවුරුදු 02ක සිර දණ්ඩනයකට යටත්වන විදිහට චෝදනා ගොනු කරලා නඩු දාන්න පුලුවන්.”

නීතිඥවරයා අවධාරණය කළේ, ආණ්ඩුවෙන් තම අයිතීන් ඉල්ලන්න එපා යන නිවේදනය මෙතුළින් රජය ලබා දී ඇති බවයි.

“රජයේ මර්දනය ඇති කරලා, ජනතාව බය ගන්වලා ඔබලා ගෙදරට වෙලා හිටපල්ලා කියන පණිවිඩය තමයි මේ රජය විසින් දෙන්නේ.”

“මිනිස්සුන්ට පාරේ යන්න තියෙන අයිතිය නැති කරන්න බෑ රනිල් වික්‍රමසිංහට මේ විදිහේ නියෝග ගහලා” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් අමාත්‍යවරයාට බලයක් ලබා දී නොමැති බවය.

රාජ්‍ය රහස් පනත යටතේ අධි අරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදිගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව අවධාරණය කළේ ය.

එහි දැක්වෙන්නේ, 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් කොළඹ ඇතැම් ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස නම් කිරීම ගැන සිය දැඩි කනස්සල්ල පල කරන බවය.

ජනාධිපතිවරයාගේ එම නියෝගයෙන් අදහස් කරන්නේ, පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අවසරයකින් තොරව එවැනි අධි ආරක්ෂක කලාප තුළ පිහිටි භුමියක වෙරළ හෝ වෙනත් ප්‍රදේශයක මහජන රැස්වීම් හෝ පෙලපාලි සියල්ල තහනම් කිරීම වන බවය.

නිසි බලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ වාහන නැවැත්වීම සඳහා වෙන්කර නොමැති නම් එම කලාපය තුළ වාහන නැවැත්වීම ද තහනම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක් නැවක් හෝ ගුවන් යානයක් “තහනම් ස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත්කිරීම ආරක්ෂක අමාත්‍යවරයාට බලතල හිමිවෙයි.

එහෙත් විශාල ප්‍රදේශයක් “අධි ආරක්ෂක කලාප” ලෙස ප්‍රකාශයට පත් කිරීම අමාත්‍යවරයාට බලයක් ලබාදී නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

පනතේ දෙවන වගන්තිය යටතේ නියෝග නිකුත් කිරීමේ පරමාර්ථය වන්නේ, තොරතුරු වඩා හොදින් ආරක්ෂාකිරීම බවත් ආරක්ෂක කටයුතු සඳහා වන සංවිධාන, ආයතන හා උපකරණ සුරක්ෂිත කිරීම බවය.

වෙනත් අරමුණු සඳහා දෙවන වගන්තිය යටතේ නියෝග කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එම නියෝග උල්ලංඝණය කරන පුද්ගලයින් රඳවා තබා ගැනීමේ විධිවිධාන සහිත එම නියෝග මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කරන බවත් එම සියල්ල ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධත්වය දැක්වීමට ඇති අයිතියේ වැදගත් අංගයක් බව නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප පිහිටුවීමේ විධිවිධාන හොදින් අධ්‍යනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවය.

නියෝගය වහාම ඉවත් කරන්න – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) පවසයි.

රටේ ආරක්‍ෂාව සඳහා රහස්‍ය තොරතුරු ආරක්‍ෂා කිරීම මූලික පරමාර්ථය කර ගත්, 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත සමීපව පරීක්‍ෂා කිරීමේදී මෙම නියෝගය, එම විෂය පථයට අයත් නොවන බව පෙනී යන්නේ යැයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කළේය.

එබැවින්, මෙම නියෝගය නීතිවිරෝධී මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

ඔවුන් අවධාරණය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් රාජ්‍ය රහස් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි මගින් සීමා කළ නොහැකි බව බවයි.

එබැවින් මෙම නියෝගය ඉවත් කරන ලෙසත් විරුද්ධ මතධාරීන් මර්දනය නතර කරන ලෙසත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“බයෙන් ජීවත්වන පාලකයින්ට ජංගම අධිආරක්ෂක කලාප දාන්න”

සමගි ජනබලවේගය බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කළේ, මේවන විට රටේ පාලකයින්ට මර බිය දැනී ඇති බවයි.

“රජය මර බියෙන් ජීවත්වෙන්නේ. ත්‍රස්තවාදයක් නැහැ. රටේ යුද්ධයක් නැහැ. නමුත් පාලකයින්ට මරබිය ඇවිල්ලා තියෙනවා. පාලකයින් පාරේ යන්න බයයි.”

සරත් ෆොන්සේකා කියා සිටියේ, “මං හිතන්නේ ඕක නෙමේ කරන්න ඕනේ, ඔය එක එක ස්ථානවල අධිආරක්ෂක කලාප දාල හරියන්නේ නැහැ. බයෙන් ජීවත් වෙන පාලකයින්ට ජංගම අධිආරක්ෂක කලාප දාන්න වෙනවා. යන යන තැන්වලදී එගොල්ලන්ට ආරක්ෂාව අවශ්‍ය වෙයි ඉදිරියේදී.”

“අපි මේක අනුමත කරන්නේ නැහැ. යුද්දේ තියෙන කාලේ යාපනය වගේ පැතිවල වුණත්හැම තැනම හැම හන්දියෙම අධිආරක්ෂක කලාප දැම්මේ නැහැ. මේක නිවට බියගුළු ක්‍රියාදාමයක් වගේම නීතිවිරෝධීයි.”

නැවතත් අරගලයට?

මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ අවධාරණය කළේ මුලු රටම අරගලයට පැමිණෙන දවස වැඩි ඈතක නොවන බවයි.

“ඕගොල්ලන්ට පුලුවන් ඕනේ නම් මුලු රටම අධිආරක්ෂිත කලාප කරලා ඔය තැන් ටික විතරක් අනාරක්ෂිත කලාප කරන්න පුලුවන්.”

“සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කළේ, අධි ආරක්ෂිත කලාප යන සංකල්පය ඇතිවුයේ ත්‍රස්වාදීන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට බවයි. දැන් මේවෙන කොට ත්‍රස්තවාදීන් කව්ද? රටේ මිනිස්සු කව්ද කියලා අපිට තේරුම් ගන්න වෙලා තියෙනවා”

“අපි මේ රටේ මිනිස්සුන්ට මතක් කරනවා අරගල නොකලොත් අපිට වෙන්නේ ත්‍රස්තවාදීන් විදිහට මිය යන්න. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඔබ මේ රටේ සියලු පුරවැසියෝ ත්‍රස්තවාදීන් ගණයට අයිති කරගෙන ඔබ මේ යන්න යන ගමන කෙටියි.” ඔහු අවධාරණය කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *