අද නාවලපිටියේදී මොකද වුණේ ?

අද නාවලපිටියේදී මොකද වුණේ ?

  • October 16, 2022
  • No Comment
  • 34

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් අද(ඔක්තෝබර් 16 වැනිදා) පැවැත්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඉහල යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.

ඔවුන්ගේ ප්‍රධාන උද්ඝෝෂණ පාඨයක් වුයේ “හොරා කාපු සල්ලි දියව්” යන්නයි.

‘පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව’ සහකාර පොලිස් අධිකාරිවරයෙකු නිවේදනය කිරීමත් සමඟ විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් අතුළු 15ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.ඒ අතර නාගරික මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වෙති.

පොලිසිය විසින් පිරිස බස් රථයක දමා එම ස්ථානයෙන් රැගෙන ගිය අතර, එක් උද්ඝෝෂකයෙකු කියා සිටියේ “අපි වතු සේවකයෝ, පිටි කිලෝ එකක් කියද ? මට ගැහුණු ළමයි 3 දෙනෙක් ඉන්නවා. අපි කොහොමද ජීවත් වන්නේ.” යනුවෙනි.

පසුව එම පිරිස රුපියල් ලක්ෂය බැවින් වූ ශරීර ඇපමත මුදා හැරිණි.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අතරතුර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි. එය නම් කර තිබුණේ ‘එක්ව නැගිටිමු – නාවලපිටිය’ ලෙසය.

පොහොට්ටුව මැතිවරණයකට සූදානම්…!

ඕනෑම මැතිවරණයකට තමන් සූදනම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (ඔක්තෝබර් 16 වැනිදා) නාවලපිටියේදී කියා සිටියේය.

“අපිටත් වැරදුණු තැන් තියෙනවා.ඒක අපි පිළිගන්නවා.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.

එහෙත් අද මැතිවරණයක් පවත්වනු ලැබුවත් තම පක්ෂය ජයග්‍රහණය කරන බව මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටියේදී පැවතී රැලිය අතරතුර

රැළිය ඇමතූ මහින්දානන්ද අලුත්ගමගේ “අපි ජනාධිපතිතුමාට කියනවා ඕනෑම වෙලාවක මැතිවරණය තියන්න.ඒක පළාත් සභා වෙන්න පුලුවන්. ඒක ප්‍රාදේශීය සභා වෙන්න පුලුවන්,පාර්ලිමේන්තු වෙන්න පුලුවන්.ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන පණිවිඩය අද අපි නාවලපිටියේදී දෙනවා.” පැවසුවේය.

රැළිය අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අවධාරණය කළේ, ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “හැම කෙනාටම හොරා හොරා කිය කිය යන්නේ නැතිව, යම් කිසිකෙනෙක්ගේ වැරද්දක් තියෙනවා නම් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කිව්ව බොහෝ අය අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමා කළු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව බැලුවාම අපි හැර හැමෝම ඉන්නවා. අපිට හොරා කිව්වා. අපි ගාව කලු සල්ලි තියෙනවා කිව්වා.” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ “අපිට වහල්ලු කියනවා. විවිධාකරයෙන් චෝදනා කරනවා. සමාජ මාධ්‍ය වලින්. කුලියට ගත්ත කූලි කාරායෝ ටිකක් යොදා ගෙන ඉන්නවා. මේක සංවිධානත්මක වැඩක්. සමාජ මාධ්‍යවල යන කාරණා ගැන අපි කලබල විය යුතු නැහැ” යනුවෙනි.

ඔහු “අද නාවලපිටියේ ජනතාව මෙතනට රැස්වෙලා පෙන්නලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නේ ජනතාව එක්කයි,. ජනතාව ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කයි කියන එක.” යනුවෙන් අවධාරණය කළේය.

පොහොට්ටුවේ චෞර වළල්ල යලි නැගී සිටීමේ උත්සාහයක- විපක්ෂ නායක

පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සාමාන්‍යයෙන් ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ රට ගොඩනගන්නට එම ජනාධිපතිවරයාට ඇති වැඩ පිළිවෙල මත බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේ වර්තමාන ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත් කර ගත්තේ පොරොන්දු තුනක් මත බවයි.

ගිනිබත් වූ නිවාස වලට වන්දි ලබා ගැනීම,ආරක්ෂාව සලසා දීම,වසර හතරකට මැතිවරණ සිතියම හකුළුවා දීම ඒ පොරොන්දු බව පැවසූ විපක්ෂ නායකවරයා,වත්මන් ජනාධිපතිවරයා විසින් ඒවා ඉටු කරමින් සිටින බව ද පැවසීය.විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද(ඔක්තෝබර් 16)පොල්ගහවෙලදී පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

Sajith Premadasa
සජිත් ප්‍රේමදාස පොල්ගහවෙල පැවතී රැලිය අතරතුර

‘අද ලෝක ආහාර දිනය බවත්,මේ රටේ ජනතාවට කන්න නැති කරමින් ගොවියා නැති භංග කළ ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් නැවතත් පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කොට ඇති බවත්, මෙය දෛවයේ සරදමක් බවත්’ විපක්ෂ නායකවරයා පැවසීය.

රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේය.

සැමවිටම හිඟයකින් තොර ප්‍රමාණවත් භෞතික ආහාර තොග පවත්වා ගැනීම, සියලු‍ ආහාර වර්ග මහජනයාට මිලදී ගත හැකිවන පරිදි මිල මට්ටම පවත්වා ගැනීම, ගෘහස්තයක සිටින සියලු‍ දෙනාගේම පෝෂණ අවශ්‍යතා ඉටුවන පරිදි ආහාර ලබාගැනීමේ හැකියාව පවත්වා ගැනීම සහ අඛණ්ඩ ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පවත්වා ගැනීම යන ඒවා සියල්ලෙන් වර්තමාන ආණ්ඩුව අසමත්ව ඇති බවද පැවසීය.

‘අළු පිස දමා නැගිටින්නට හදන රැස්වීම සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය පොලීසියෙන් වටකොට සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, අද පවත්වන රැස්වීමෙන් පසුව තමන් ද නාවලපිටියේ රැස්වීමකට පැමිණෙන බව’ එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *